කමල් හසන් පාර්ලිමේන්තුවට ? විජේගෙනුත් දේශපාලන පක්‍ෂයක්

දෙමළ සිනමාවේ සුපිරි නළු කමල් හසන් පාර්ලිමේන්තු එන්න ලෑස්ති වෙන බවට මේ දවස්වල කතාවක් තිබෙනවා. ඉන්දියාවේ පාර්ලිමේන්තු මැතිවරණය ලබන අප්‍රේල්-මැයි මාසවල පැවැත්වීමට නියමිත අතර කමල් ද ඊට තරග කිරීමට සූදානම් වන බව සඳහන්.

කමල් හසන් මැතිවරණයකට තරග කරන පළමු අවස්ථාව මෙය නොවෙයි. ඔහු 2017 වසරේ මක්කල් නීදි මයියාම් නමින් දේශපාලන පක්‍ෂයක් පිහිටුවා ගත් අතර එම පක්‍ෂය 2019 වසරේ මහා මැතිවරණයටත් තරග කළා. පක්‍ෂයේ වෙනත් අපේක්‍ෂකයන් තරග කළත් කමල් ඊට ඉදිරිපත් වුණේ නැහැ. කෙසේ නමුත් එම මැතිවරණයේ දී කැපී පෙනෙන ජයග්‍රහණයක් හිමි කරගැනීමට පක්‍ෂයට බැරි වුණා.

එයින් පසු 2021 වසරේ පැවැති තමිල්නාඩු ප්‍රාන්ත සභා මැතිවරණයටත් කමල් ගේ පක්‍ෂය ඉදිරිපත් වුණා. එම මැතිවරණයේ දී කමලුත් ආසනයක් වෙනුවෙන් තරග කළා. ඔහු තරග කළේ දකුණු කොයිම්බතෝර් ආසනය වෙනුවෙන්. නමුත් එහිදීත් කමල්ට සහ පක්‍ෂයට අත් වුණේ පරාජය යි. දකුණු කොයිම්බතෝර් ආසනය ජයගත්තේ අගමැති නරේන්‍ද්‍ර මෝදි ගේ භාරතීය ජනතා පක්‍ෂයෙන් ඉදිරිපත් වූ වානති ශ්‍රීනිවාසන් නැමැති අපේක්‍ෂිකාව යි. ඇය සියයට 34 ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගත් අතර කමල්ට හිමි වුණේ සියයට 33 ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.

තනිවම තරග කිරීමෙන් එතරම් ප්‍රතිඵලයක් නොලැබුණු නිසා දෝ මෙවර කමල් ගේ පක්‍ෂය තවත් පක්‍ෂයක් සමග හෝ සන්ධානයක් සමග හෝ එක්ව තරග කිරීමට සූදානම් වන බවකුත් පෙනෙන්නට තිබෙනවා. මේ වනවිට තමිල්නාඩු ප්‍රාන්තයේ බලය හොබවන්නේ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් නැමැති පක්‍ෂය යි. කමල්ගේ පක්‍ෂය මෙම පක්‍ෂය සමග එක්ව තරග කරනු ඇති බවටත් ආරංචි පැතිරෙනවා. මේ පිලිබඳව මේ වනවිට සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවයි සඳහන් වන්නේ. ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්‍ෂයේ නායකත්වය දරන්නේත් සිනමා පවුලක කෙනෙක්. එනම් දෙමළ සිනමාවේ දැවැන්තයකු වූ එම්. කරුණානිධිගේ පුත්‍රයා වන එම්.කේ. ස්ටාලින්.

කමල් 2021 ප්‍රාන්ත මැතිවරණයේ දී කොයිම්බතෝර් ආසනයෙන් පරාජය වුවත් මෙවරත් ඔහු එම ආසනයෙන් ම තරග කිරීමට කැමැත්තෙන් සිටින බවත් සඳහන්.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී අගමැති මෝදි ගේ පක්‍ෂය පරාජය කිරීම සඳහා මේ වනවිට පක්‍ෂ රැසක් එක්ව පුළුල් සන්ධානයක් පිහිටුවාගෙන තිබෙනවා. ඊට නායකත්වය දෙන්නේ සෝනියා ගාන්ධි. රහුල් ගාන්ධි වැනි නායකයන් අයත් වන කොංග්‍රස් පක්‍ෂය යි. මෙම සන්ධානය හැඳින්වෙන්නේ INDIA යන නමිනු යි. එහි තේරුම Indian National Developmental Inclusive Alliance යන්න යි. ස්ටාලින් ගේ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්‍ෂයත් මෙම සන්ධානයේ සාමාජිකයෙක්. කමල් සහ රහුල් ගාන්ධි ද කලෙක සිටම මිතුරන් බවත් රහසක් නොවෙයි.

මෙයට කලින් තරග කළ මැතිවරණ දෙකේදීම පරාජයට පත් වූ කමල් ගේ පක්‍ෂය මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී යම් සාර්ථකත්වයක් හිමි කර ගැනීමට සමත් වේවි ද? මෙය දැන් කමල්ගේ රසික රසිකාවියන් කව්රුත් කුතුහලයෙන් යුතුව බලා සිටින කාරණයක්.

දෙමළ සිනමාවෙන් දේශපාලනයට පිවිසි එම් ජී රාමචන්ද්‍රන්, ජයලලිතා වැනි අය දේශපාලනය තුළත් ඉතා සාර්ථක ගමනක් යාමට සමත් වුණා. කමල් තවම නම් එවැනි සාර්ථකත්වයක ලකුණු පෙන්නුම් කර නැහැ.

මේ අතර දෙමළ සිනමාවේ තවත් ජනප්‍රියම නළුවකු වන විජේ ද ක්‍රියාකාරී දේශපාලනයට අවතීර්ණ වෙමින් සිටිනවා. මෙම අරමුණ ඇති ව මෙයට ටික දිනකට පෙර ඔහු අලුත් පක්‍ෂයකුත් පිහිටුවා ගත්තා. විජේ සභාපතිත්වය දරණ එම පක්‍ෂයේ නම ‘තමිෂා වේට්රි කසාගම්’. තමිල්නාඩු ජයග්‍රහණයේ පක්‍ෂය යන්න එහි තේරුම යි.

මේ ආකාරයෙන් පක්‍ෂයක් පිහිටුවා ගත්තත් අපේ්්‍රල්- මැයි මාසවල පැවැත්වෙන මහා මැතිවරණයට තරග කිරීමට විජේගේ අදහසක් නැති බව පැවසෙනවා. ඔහු මුලින්ම තරග කරනු ඇත්තේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයට විය හැකි බවටත් අදහසක් තිබෙනවා. මීළඟ ප්‍රාන්ත මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ 2026 වසරේ යි.

කෙසේ වෙතත් මේ දිනවල විජේ අලුත් චිත්‍රපටයක රූපගත කිරීම්වලට සහභාගි වෙමිනුයි ඉන්නේ. එහි නම The Greatest of All Time.

“මම මුලින්ම හිතාගෙන ඉන්නේ මේ චිත්‍රපටයේ වැඩ කටයුතු ඉවර කරන්නයි. ඊට පස්සේ සම්පූර්ණ කාලයම ජනතා සේවය වෙනුවෙන් කැප කිරීමට බලාපොරොත්තු වෙනවා“ පසුගිය දිනෙක ඔහු පවසා තිබුණා.

The Greatest of All Time චිත්‍රපටය විජේගේ 69 වැනි සිනමාපටය බව පැවසෙනවා. එය විද්‍යා ප්‍රබන්ධ ශානරයට අයත් නිර්මාණයක් බවත් සඳහන්.

දේශපාලනයට පිවිසීමේ අදහස කාලයක සිටම විජේ ගේ සිතේ පැවති බව පෙනෙන්නට තිබුණා. දශකයක පමණ කාලයක සිටම ඔහු විවිධ සමාජ සේවා කටයුතුවල නිරත වුණා. නොමිලේ ආහාර බෙදා දීම, පාසල් දරුවන්ට ශිෂ්‍යත්ව පිරිනැමීම වැනි කටයුතු ඒ අතරින් කැපී පෙනුණා. ඔහු මෙම කටයුතු සිදු කළේ සිය රසික සමාජ (Fan Clubs) හරහා යි.

මේ වනවිට විජේගේ වයස අවුරුදු 49 ක්. ඔහු විවාහ වී සිටින සංගීතා සෝර්නලිංගම් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තාවක්. ඔවුන් දෙදෙනා විවාහ වූයේ 1999 වසරේ යි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර