ක්‍රිකට් ලෝක කුසලාන තරග ඉතිහාසයේ වාර්තා පිහිටු වූ ක්‍රීඩකයෝ

මේ දිනවල පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය නිසා ලොව පුරා ක්‍රිකට් ලෝලීන් පසුවන්නේ මහත් උද්දාමයකින්. පසුගිය 5 වැනි දින ආරම්භ වූ මෙම තරගාවලියේ අවසන් තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් 19 වැනි දින යි.

කෙසේ වෙතත් තරගාවලිය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරග දෙකෙන්ම පරාජය වීම නිසා මෙරට ක්‍රිකට් ලෝලීන් නම් සිටින්නේ තරමක් මලානික තත්ත්වයෙන්. දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය සමග පැවැති තරග දෙකෙන්ම ඔවුන් පරාජයට පත් වුණා.

දකුණු අප්‍රිකාව සමග පැවැති තරගයෙන් ලැබූ පරාජය සුවිසල් පරාජයක් වූ අතර එහි දී දකුණු අප්‍රිකාව ජය ලැබුවේ වාර්තා පිහිටුවමින්. ලෝක කුසලාන තරග ඉතිහාසයේ අලුත් වාර්තා දෙකක්ම පිහිටුවන්ට එම තරගයේ දී ඔවුන් සමත් වුණා. මෙම ලිපිය එම වාර්තා ද ඇතුළුව මෙම තරග ඉතිහාසයේ පිහිටුවා ඇති සෙසු ප්‍රධාන වාර්තා පිලිබඳව ලියැවෙන්නක්.

පසුගිය 7 වැනි දින ශ්‍රී ලංකාව සමග පැවැති ඉහත තරගයේ දී දකුණු අප්‍රිකානු පිල ලකුණු 428 ක් රැස් කළා. ලෝක කුසලාන එක් දින තරග ඉතිහාසය තුළ කණ්ඩායමක් ඉනිමක දී රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව එය යි. මෙහි දී එම කණ්ඩායමේ ඒඩන් මාර්ක්‍රම් ද තවත් වාර්තාවක් පිහිටුවූවා. ඒ ලෝකු කුසලාන තරගයකදී වේගවත්ම ශතකය රැස් කළ පිතිකරුවා වශයෙන්. එදින ඔහුට සිය ශතකය රැස් කිරීම සඳහා වැය වුණේ පන්දු 49 ක් පමණ යි.

තරගයක දී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකරුවා ලෙස වාර්තා පොතට එක්ව සිටින්නේ නවසීලන්ත ක්‍රීඩක මාටින් ගුප්තිල්. 2015 වසරේ බටහිර ඉන්දීය කොදෙව් පිල සමග පැවැති තරගයක දී ඔහු නොදැවී ලකුණු 237 ක් රැස් කළා. ක්‍රිකට් කියන්නෙ සෙල්ලමක් වුණත් ඕවර පනහේ තරගයකදී ලකුණු 237 ක් රැස් කිරීම නම් සෙල්ලමක් නෙවෙයි. ගුප්තිල්ට මේ ලකුණු 237 රැස් කිරීම සඳහා වැය වුණේ පන්දු 163 ක් පමණයි. මෙහිදී ඔහු හයේ පහර 11 ක් සහ හතරේ පහර 24 ක් එල්ල කළා.

ලෝක කුසලාන තරග ඉතිහාසය තුළ ද්විත්ව ශතක රැස් කරගෙන තිබෙන්නේ ගුප්තිල් සහ තවත් එක් පිතිකරුවෙකු පමණයි. අනෙක් පිතිකරුවා බටහිර ඉන්දීය පිලේ ක්‍රිස් ගේල්. ඔහුත් 2015 වසරේම සිම්බාබ්වේ සමග තරගයක දී ලකුණු 215 ක් රැස් කරගත්තා. ඉනිමක දී වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පිතිකරුවන්ගේ ලැයිස්තුවේ 3 වැනි, 4 වැනි සහ 5 වැනි ස්ථානවල සිටින්නේ දකුණු අප්‍රිකාවේ ගැරී ක්ර්ස්ටන්, ඉන්දියාවේ සයුරව් ගංගුලි සහ බටහිර ඉන්දී පිලේ විවියන් රිචඩ්ස්. කර්ස්ටන් ලකුණු 188 කුත්, ගංගුලි ලකුණු 183 කුත්, රිචඩ්ස් ලකුණු 181 කුත් රැස් කර තිබෙනවා.

තමුන් සහභාගි වූ ලෝක කුසලාන තරගවල දී රැස් කළ ලකුණුවල එකතුව අතින් ඉදිරියෙන්ම සිටින්නේ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්දුල්කාර්. ඔහු තමුන් සහභාගි වූ තරගවල දී ලකුණු 2,278 ක් ලබාගෙන තිබෙනවා. සචින් ක්‍රීඩා කර ඇති ඉනිම සංඛ්‍යාව 44 ක්. මෙම ලැයිස්තුවේ තුන්වැනි තැන සිටින්නේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙක්. ඒ කුමාර් සංගක්කාර. සංගක්කාර ලෝක කුසලාන ඉනිම 35 කදී ලකුණු 1,532 ක් රැස් කර තිබෙනවා. ඉතා දක්‍ෂ පිතිකරුවකු වන බ්‍රයන් ලාරා සිටින්නේත් සංගක්කාරට පිටුපසිනුයි.


මෙම තරග ඉතිහාසය තුළ වැඩිම ශතක සංඛ්‍යාවක් ලබා ගත් ක්‍රීඩකයන් ලෙස දෙදෙනෙක් වාර්තා පොතට එක්ව සිටිනවා. ඒ රෝහිත් ෂර්මා සහ සචින් තෙන්දුල්කාර්. ඔවුන් දෙදෙනා ශතක 6 බැගින් ලබාගෙන ඇති අතර මේ දෙදෙනාම ඉන්දියානුවන් වීමත් විශේෂත්වයක්. ෂර්මා ඔහුගේ ශතක 6 ලබාගෙන තිබෙන්නේ ඉනිම 18 කදීයි. නමුත් සචින් ඒ සඳහා ඉනිම 44 ක් ගත කර තිබෙනවා. මෙම ලැයිස්තුවේත් ෂර්මාට සහ සචින්ට පසුව සිටින්නේ කුමාර් සංගක්කාරයි. ඔහු ලබාගෙන ඇති ශතක ගණන 5 ක්. ඕස්ටේ්‍රලියාවේ රිකී පොන්ටිනුත් සංගක්කාර මෙන්ම ශතක 5 ක් රැස්කර තිබෙනවා.

වේගවත්ම අර්ධ ශතක රැස් කළ ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ ඇන්ජලෝ මැතිව්ස් ද සිටිනවා. ඔහු සිටින්නේ දෙවැනි ස්ථානයේ යි. 2015 වසරේ ස්කොට්ලන්තය සමග පැවැති තරගයක දී මැතිව්ස් පන්දු 20 ක් තුළ ලකුණු 50 ක් රැස් කළා. මෙම ලැයිස්තවේ පළමු තැන සිටින නවසීලන්තයේ බ්‍රෙන්ඩන් මැකලම් පන්දු 18 ක් තුළ ලකුණු 50 ක් රැස් කර තිබෙනවා. ඔහු ඒ දස්කම කළේ 2015 වසරේ එංගලන්තය සමග පැවැති තරගයකදී යි.


පන්දු යැවීම අතින් ගත් විට එක තරගයක දී හොඳම පන්දු යැවීම සනිටුහන් කළ පන්දු යවන්නා ලෙස වාර්තා පිහිටුවා තිබෙන්නේ ඕස්ටේ්‍රලියාවේ ග්ලෙන් මැක්ග්‍රා. ඔහු 2003 වසරේ නැමීබියාව සමග පැවැති තරගයක දී කඩුළු 7 ක් ලබාගෙන තිබුණා. එහිදී ඔහු ලබා දී තිබුණේ ලකුණු 15 ක් පමණයි.

තමුන් සහභාගි වූ ලෝක කුසලාන තරගවලදී ගත් සමස්ත කඩුළු සංඛ්‍යාව අතින් පලමු තැන සිටින්නේ ද ග්ලෙන් මැක්ග්‍රා ම යි. ඔහු සහභාගි වූ තරග 39ක් තුළ කඩුළු 71 ක් ලබාගෙන තිබෙනවා. මේ ලැයිස්තුවේ දෙවැනි තැන සිටින්නේ ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන්. මුරලි තරග 40 ක් තුළ කඩුළු 68 ක් දවාගන්නට සමත්ව තිබෙනවා. තුන්වැනි තැන සහ පස්වැනි තැන සිටින්නේ ද ශ්‍රී ලංකාවේ පන්දු යවන්නත් . ලසිත් මාලිංග තුන්වැනි තැන සිටින අතර ඔහු තරග 29 කදී කඩුළු 56 ක් දවාගෙන තිබෙනවා. පස්වැනි තැන සිටින්නේ චමින්ද වාස්. තරග 31 ක් තූළ වාස් ලබාගෙන ඇති කඩුළු ගණන 49 ක්. මෙහි දී ලසිත් ගැන විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයක් තිබෙනවා. එනම් එක් දින තරග ඉතිහාසයේ පිට පිට පන්දු හතරක දී කඩුළු හතරක් දවා ගත් පළමු පන්දු යවන්නා ඔහු බවයි. ඔහු මේ දස්කම කළේත් ලෝක කුසලාන තරගයකදී වීම තවත් විශේෂ කාරණයක්. 2007 වසරේ ලසිත් මේ විස්මයජනක පන්දු යැවීම කළේ දකුණු අප්‍රිකාව සමග පැවැති තරගයක දී යි. දකුණු අප්‍රිකාව වැනි ප්‍රබල කණ්ඩායමකට එරෙහිව මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීම කිසිසේත් සුළුපටු කාරණයක් නොවෙයි.
(මෙම වාර්තා සියල්ල 2023 ඔක්තෝබර් 11 වැනි දින වනවිට පැවැති වාර්තා බවත් සඳහන් කළ යුතුයි)

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර