කාම චිත්‍රපට නිළියක් නිසා ඩොනල්ට් ට්‍රම්ප් පැටලුණු ඓතිහාසික නඩුව

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව පැවැත්වෙන ඓතිහාසික නඩු විභාගයක් ගැන මේ දිනවල කාගේත් අවධානය යොමු වී තිබේ. එය ඓතිහාසික නඩු විභාගයක් වන්නේ ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයකුට එරෙහිව විභාග වන පළමු අපරාධ නඩුව එය වන බැවිනි. යම් හෙයකින් ට්‍රම්ප් මෙම නඩුවෙන් වැරදිකාරයකු වුවහොත් ඔහුට වසර 4 ක සිර දඬුවමක් වුව ලබා දීමට හැකියාව තිබේ. මෙම තත්ත්වය තුළ මේ නඩු විභාගය ගැන බොහෝ දෙනා විශාල අවධානයකින් පසුවනු දැකිය හැකි වේ.

නඩුවට පසුබිම් වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ප්‍රසිද්ධ කාම චිත්‍රපට නිළියකට ඇ. ඩොලර් 130,000 ක මුදලක් ගෙවීම පිලිබඳ සිද්ධියකි. එය ලංකා රුපියල් කෝටි 4 කට ආසන්න මුදලකි. ස්ටෝමි ඩැනියල්ස් නැමැති මෙම නිළියට ඉහත කී මුදල ගෙවා තිබුණේ ඇය ට්‍රම්ප් පිලිබඳ තරමක් ආන්දෝලනාත්මක කතාවක් ප්‍රසිද්ධියට පත් කිරීම වැලැක්වීම සඳහා යි. තමා සහ ට්‍රම්ප් අතර 2006 වසරේ එක් අවස්ථාවක ලිංගික ඇසුරක් ඇති වූ බව කලකට පෙර මෙම නිළිය පවසා තිබුණාය. ඇය පවසන හැටියට ඔවුන් අතර මෙම ලිංගික එක්වීම සිදුව තිබුණේ හෝටල් කාමරයක් තුළ යි. කෙසේ හෝ වේවා, ට්‍රම්ප් ඉහත කී මුදල ගෙවා තිබුණේ 2016 වසරේ ජනාධිපතිවරණය ආසන්න කාලයේ ස්ටෝමි ඇයගේ මෙම කතාව නැවත ප්‍රසිද්ධියට පත් කිරීම වැලැක්වීම සඳහා යි. ට්‍රම්ප් මෙම ජනාධිපතිවරණයට තරග කළ බව රහසක් නොවේ.

තමාගේ නරක හැසිරීමක් පිළිබඳ කතාවක් ප්‍රකාශයට පත් වීම මේ ආකාරයෙන් වැලැක්වීම තුළින් ට්‍රම්ප් 2016 ජනාධිපතිවරණයට බලපෑමක් කර ඇති බවට මෙම නඩුවේ පැමිණිලි පාර්ශ්වය චෝදනා කරයි. ඔවුන් මෙය හඳුන්වන්නේ මැතිවරණ දූෂණයක් හැටියට ය.

2016 ජනාධිපතිවරණය පැවැත්වුණේ නොවැම්බර් මාසයේ යි. ස්ටෝමි ඩැනියල්ස්ට ඉහත කී මුදල ගෙවා තිබුණේ ඔක්තෝබර් මාසයේ ය. එය ගෙවා තිබුණේ මයිකල් කෝහන් නැමැති ට්‍රම්ප්ගේ නීතිඥයකු හරහා යි. ඊළඟ මාසයේ පැවැති ජනාධිපතිවරණයෙන් රිපබ්ලිකන් පක්‍ෂ අපේක්‍ෂකයා වූ ට්‍රම්ප් ඩිමොක්‍රටික් පක්‍ෂ අපේක්‍ෂිකාව වූ හිලරි ක්ලින්ටන් පරදවා ජයගත්තේය. ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසු ඔහු ඉහත කී මුදල මයිකල් කෝහන්ට පියවා තිබිණි.

නමුත් මෙම ගෙවීම ට්‍රම්ප්ගේ ව්‍යාපාරික ලේඛනවල සටහන් කර තිබී ඇත්තේ කාම නිළියකට ගෙවූ මුදලක් හැටියට නොව නීතිඥ ගාස්තුවක් හැටියටයි. මේ හරහා ඔහු කරුණු වසන් කරමින් එම ලේඛන ව්‍යාජ ලෙස සකස් කර ඇති බවට ද චෝදනා නැගිණි. ඉහත කී නඩු විභාගය පැවැත්වෙන්නේ මෙම චෝදනාවලට අදාලව යි.

මේ වනවිට 45 වැනි වියෙහි සිටින ස්ටෝමි ඩැනියල්ස් යනු ඉතා ජනප්‍රියව සිටි කාම චිත්‍රපට නිළියකි. එම ක්‍ෂේත්‍රයේ බොහෝ සම්මාන පවා ඇය දිනාගෙන තිබේ. ස්ටෝමිගේ කතාවට අනුව ඇය සහ ට්‍රම්ප් මුල් වරට හමු වී තිබුණේ 2006 වසරේ ගොල්ෆ් තරගාවලියක් අතර ය. ඒයින් පසු ට්‍රම්ප් ඇයට ඔහු නතර වී සිටි සුඛෝපභෝගී හෝටලයට ඇරයුම් කළ බව ස්ටෝමි කියයි. මෙයට වසර කිහිපයකට පෙර එක්තරා රූපවාහිනි සාකච්ඡාවක දී ද ස්ටෝමි මෙම සිද්ධිය ගැන විස්තර කර තිබුණාය.

තමා හෝටල් කාමරයට ගිය පසු ඔවුන් ටික වේලාවක් කතා කරමින් සිටි බව ඇය එහි දී පවසයි. (කාමරයක් කීවාට එය වෙනම විසිත්ත කාමරයක්, නිදන කාමරයක් ආදියෙන් යුතු ඒකකයක් බව පෙනේ.) එකල ට්‍රම්ප් නිශ්පාදනය කරමින් සිටි The Apprentice නැමැති රියැලිටි වැඩසටහනේ තරගකාරියක ලෙස සහභාගි වන මෙන් ඔහු තමාට එහි දී ඇරයුම් කළ බවක් ද ස්ටෝමි පවසා තිබිණි. ටික වේලාවක් මෙලෙස කතා කරමින් සිටි ඇය තමාට වොෂ් රූම් යාමට අවශ්‍ය බවක් ට්‍රම්ප්ට පවසා තිබුණාය. එවිට ඔහු පවසා තිබුණේ එය නිදන කාමරය අසළ ඇති බවයි. ස්ටෝමි පවසන පරිදි ඇය එහි ගොස් පිටතට එන විට ට්‍රම්ප් නිදන කාමරයට විත් ඇඳ මත වාඩි වී සිට ඇත. එයින් පසු ඔවුන් අතර ලිංගික එක් වීමක් සිදු වූ බවත්, එය සිදුවූයේ තමාගේ අකැමැත්තෙන් නොවන බවත් ඇය පවසා තිබිණි.

ස්ටෝමි පවසන සිද්ධිය වනවිට ට්‍රම්ප් මෙලනියා සමග විවාහ වී සිටියේය. මෙලනියා සහ ට්‍රම්ප් දෙදෙනා ගේ බාල පුතු ඉපදී තිබුණේ ඊට මාස කිහිපයකට කලිනි. ස්ටෝමි ඒ වෙද්දී 27 වැනි වියෙහි පසු වූ අතර ට්‍රම්ප් ගේ වයස අවුරුදු 60 ක් විය.

මෑත කාලයේ මාධ්‍ය තුළ වැඩිම අවධානයක් දිනාගෙන ඇති නඩු විභාගයක් ලෙස සැලකිය හැකි ඉහත නඩුව පැවැත්වෙන්නේ තවත් ජනාධිපතිවරණයක් ආසන්නව තිබිය දී වීම ද විශේෂත්වයකි. මේ වසරේ නොවැම්බර් 5 වැනි දින පැවැත්වෙන එම ජනාධිපතිවරණයට ද ට්‍රම්ප් රිපබ්ලිකන් පක්‍ෂයෙන් තරග කිරීමට නියමිතව සිටියි. මෙම නඩු විභාගය ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට කවර බලපෑමක් කරනු ඇත්ද යන්න සම්බන්ධයෙන් ද බොහෝ දෙනා කුතුහලයෙන් සිටිනු දැකිය හැකි වේ.

නිහාල් පීරිස්

අරුමැසි පුවත්