
වර්ෂ 1837 සිට ගෙවී ගිය වසර 190 කට ආසන්න කාලය තුළ බ්‍රිතාන්‍යයේ කිරුළ දැරූ රජවරුන්, රැජිනන් සියලු දෙනා සිය ප්‍රධාන නිල වාසස්ථානය ලෙස භාවිත කළේ ලන්ඩන් නුවර පිහිටා ඇති සුප්‍රකට බකිංහැම් මාළිගය යි. නමුත් වත්මන් රජු වන 3 වැනි චාල්ස් රජු පළමු වතාවට මෙම දීර්ඝ කාලීන සම්ප්රදාය බිඳ දැමීමට සූදානම් වෙයි. බකිංහැම් මාළිගය ඉදිරියේ දී සිය නිල වාසස්ථානය ලෙස භාවිත කිරීමට අදහස් නොකරන බව ඔහු පසුගිය දා ප්‍රකාශ කළේය.

2022 වසරේ චාල්ස් රජකමට පත්වන විට බකිංහැම් මාලිගයේ මහා පරිමාණ අලුත්වැඩියාවක් සිදුවෙමින් තිබිණි. ඒ නිසා ඔහුත්, ඔහුගේ බිරිඳ කැමිලා බිසවත් දිගටම ඔවුන්ගේ ලන්ඩන් වාසස්ථානය ලෙස භාවිත කළේ ඔවුන් වසර ගණනක් තිස්සේ ජීවත් වූ ක්ලැරන්ස් මන්දිරයම යි. එය ද පිහිටා තිබෙන්නේ ලන්ඩන් නුවරම ය.
2017 වසරේ ආරම්භ වූ බකිංහැම් මාළිගයේ අලුත්වැඩියා කටයුතු ලබන වසරේ අවසන් වීමට නියමිතව තිබේ. එයින් පසු චාල්ස් – කැමිලා යුවළට එය සිය ප්‍රධාන නිල වාසස්ථානය බවට පත් කරගැනීමට හැකියාව තිබිණි. නමුත් මෙයට ටික දිනකට පෙර චාල්ස් රජු ප්‍රකාශ කළේ තමා දිගටම ක්ලැරන්ස් මන්දිරය තම වාසස්ථානය ලෙස භාවිත කරන බව යි.


මෙය වසර 190 කට ආසන්න කාලයක් පුරා පැවති රාජකීය සම්ප්රදායකින් පිට පැනීමකි. බකිංහැම් මාළිගය බ්‍රිතාන්‍යයේ කිරුළ දරන්නාගේ ප්‍රධාන නිල වාසස්ථානය ලෙස භාවිත වීමට පටන් ගත්තේ 1837 වසරේ යි. එය ඒ ආකාරයෙන් නිල වාසස්ථානය ලෙස භාවිත කළ පළමු රාජකීයයා වූයේ වික්ටෝරියා රැජින යි. ඇය සිහසුන දැරුවේ 1837 – 1901 අතර කාලයේ යි.
අද බකිංහැම් මාලිගය පිහිටි තැන මුල් කාලයේ තිබුණේ බකිංහැම් නිවස (Buckingham House) නමින් හැඳින්වුණු ගොඩනැගිල්ලකි. 1703 වසරේ එය ඉදි කරන ලද්දේ එකල බකිංහැම් ආදිපාදවරයා වූ ජෝන් ෂෙෆීල්ඩ් විසිනි. 1761 වසරේ එවකට සිහසුන දැරූ 3 වැනි ජෝර්ජ් රජු එය මිලදී ගත්තේය. ඔහු එලෙස එය මිල දී ගත්තේ සිය බිරිඳ චාලට් බිසව වෙනුවෙන් බව සඳහන් වේ.
Buckingham House ගොඩනැගිල්ල දැවැන්ත මාළිගයක තත්වයට වැඩි දියුණු කර තිබුණේ 4 වැනි ජෝර්ජ් රජු යි. ඒ 1820 ගණන්වල යි. කෙසේ නමුත් මාළිගයේ කටයුතු අවසන් වීමට පෙර 1830 වසරේ රජු මරණයට පත් විය.
මේ වනවිට 77 වැනි වියේ පසුවන චාල්ස් රජු දිගටම ක්ලැරන්ස් මන්දිරය සිය වාසස්ථානය කර ගැනීමට කල්පනා කර ඇත්තේ එය ඔහුට ඉතා සමීප, බෙහෙවින් හුරුපුරුදු නිවාසයක් වීම නිසා විය හැකිය. සැබැවින්ම ඔහුගේ ජීවිතයේ මුල් වසර කිහිපය පවා ගත වී තිබුණේ මෙම ක්ලැරන්ස් මන්දිරයේ යි.
චාල්ස් උපත ලැබුවේ 1948 වසරේ යි. ඔහුගේ උපත සිදු වූයේ බකිංහැම් මාලිගයේදී යි. ඒ වනවිට සිහසුන දැරුවේ චාල්ස්ගේ මව ගේ (එලිසබෙත් රැජිනගේ) පියා වූ 6 වැනි ජෝර්ජ් රජු යි. කෙසේ හෝ වේවා, 1949 වසරේ එලිසබෙත් කුමරියත්, ඇගේ සැමියා වූ පිලිප් කුමරුත් ඔවුන්ගේ වැඩිමල් පුත්‍රයා වූ චාල්ස් ද සමග ක්ලැරන්ස් මන්දිරයේ වාසයට පැමිණියෝය. එයින් පසු 1953 වසර දක්වා ඔවුන් සිය ප්‍රධාන වාසස්ථානය කොට ගත්තේ ක්ලැරන්ස් මන්දිරය යි. එළිසබෙත් සිහසුනට පත්වීමෙන් පසු ඔවුහු බකිංහැම් මාලිගයේ පදිංචියට ගියහ.

සිය කුඩා වියේ වසර කිහිපයක් ක්ලැරන්ස් මන්දිරයේ වාසය කළ චාල්ස් 2003 වසරින් පසු දිගටම සිය ප්‍රධාන වාසස්ථානය කර ගත්තේ ක්ලැරන්ස් මන්දිරය යි. මේ අනුව සිය ජීවිතයේ ඉතිරි කාලයේත් තමාට සමීප මෙම මන්දිරයම තම වාසස්ථානය කර ගැනීමට චාල්ස් රජු කැමැත්ත දක්වන බව පෙනේ.
ඉදිරියේ දී බකිංහැම් මාළිගය පොදු ජනතාවට වඩාත් විවෘත ස්ථානයක් වනු දැකීමත් චාල්ස් රජුගේ අභිප්රායක් බව සඳහන් වේ. චාල්ස් , රජ පවුල සහ ජනතාව අතර ඇති පරතරය අවම කර යම් සමීපත්වයක් ඇති කිරීමට කැමැත්තක් දක්වන්නෙකි.
රජු බකිංහැම් මාළිගය වාසස්ථානය ලෙස භාවිත කරන විට බොහෝ ආරක්ෂක විධිවිධාන ආදිය ක්‍රියාත්මක වන නිසා ජනතාවට එය විවෘත වන්නේ නොයෙකුත් සීමාවන් යටතේ යි.

චාල්ස් රජු සහ කැමිලා බිසව දිගටම සිය ප්‍රධාන වාසස්ථානය ලෙස භාවිත කිරීමට යන ක්ලැරන්ස් මන්දිරය මහල් හතරකින් යුතු එකකි. සුවිසල් බකිංහැම් මාළිගය හා සැසඳීමේ දී මෙය පෞද්ගලික වාසස්ථානයක් ලෙස වඩාත් ගැලපෙන බවට පිලිගැනීමක් තිබේ.
ක්ලැරන්ස් මන්දිරය 1825-1827 අතර කාලයේ ඉදි කරන ලද ගොඩනැගිල්ලකි. එය මුලින්ම සිය නිල වාසස්ථානය ලෙස භාවිත කර තිබුණේ 1830 වසරේ රජකමට පත් 4 වැනි විලියම් රජු යි.
කාමර 775 කින් සමන්විත බකිංහැම් මාලිගයේ කෙරෙමින් ඇති දැවැන්ත අලුත්වැඩියාව ගැන ද සඳහන් කිරීම වැදගත් වේ. 2017 වසරේ ආරම්භ වූ මෙම ව්‍යාපෘතිය වසර 10 ක් පුරා දිවෙන්නකි. මේ සඳහා ස්ටර්ලිං පවුම් මිලියන 370 කට ආසන්න ඉතා විශාල මුදලක් වැය කෙරේ. එය ලංකා මුදලින් රුපියල් කෝටි 16,500 කට ආසන්න වන්නකි.

මෙහි දී ප්‍රධාන වශයෙන්ම පිලිසකර කෙරෙන්නේ මාලිගයේ විදුලි පද්ධති සහ ජලනල පද්ධති බව සඳහන් වේ. ඒවා බොහෝ කාලයකින් අලුත්වැඩියා කර නොතිබිණි. මේ නිසා ගින්නෙන් සහ ජලයෙන් මාලිගයට යම් හානියක් වීමට ලොකු ඉඩක් තිබූ බව පැවසිණි.
විදුලි සෝපාන පද්ධතිය ද වර්තමාන අවශ්‍යතාවන්ට නොගැලපෙන තත්වයට පත්ව තිබූ බව සඳහන් ය. ඒ නිසා නවීන තක්ෂණයෙන් යුතු, වඩාත් ඉඩකඩ සහිත සෝපාන ද සවි කෙරෙන බව මාධ්‍ය වාර්තාවල දැක්විණි.
මෙම අලුත්වැඩියාවන්ගෙන් පසු මාලිගය නිසා පරිසරයට සිදුවන හානිය ද අවම වනු ඇතැයි සඳහන් වේ.
නිහාල් පීරිස්