දකුණු පළාතේ පාසල් ගුරුවරුන්ට අලුත් චක්‍රලේඛයක්

දකුණු පළාතේ රජයේ පාසල්වල උගන්වන ගුරුවරුන්ට තමන් උගන්වන පාසලේ සිසු දරු දැරියන් මුදල් අයකොට තම උපකාරක පංතිවලට ගෙන්වා ගැනිම තහනම් කරමින් ඉදිරි දින කිහිපය තුල චක්‍රලේඛයක් නිකුත් කිරිමට කටයුතු කරන බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලි ගමගේ මහතා පවසයි.

මෙම චක්‍රලේඛය නිකුත් කරන ලෙස තමන් දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා වෙත උපදෙස් ලබා දුන් බව ද දකුණු පළාත් ආණ්ඩුකාරවරයා පවසයි.

ඊයේ (07) පස්වරුවේ දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දි පැවති මාධ්‍ය හමුවකදි මේ පිළිබද අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා මෙසේද කිවේය.

“මෙම චක්‍රලේඛය දකුණු පළාතේ සියලුම රජයේ පාසල්වල උගන්වන ගුරුවරුන්ට අදාල වෙනවා. මෙම චක්‍රලේඛය කඩකරමින් කටයුතු කරන පළාත් සභා පාසල්වල ගුරුවරුන්ට පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මගින් සෘජුවම විනය පරික්ෂණ පැවැත්විමට කටයුතු කරනවා. චක්‍රලේඛය උල්ලංඝණය කරමින් කටයුතු කරන දකුණු පළාතේ ජාතික පාසල්වල ගුරුවරු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම්දීමට කටයුතු කරනවා. මෙම චක්‍රලේඛය තුලින් තමන් උගන්වන පාසලේ සිසුන් මුදල් ගෙවා තම උපකාරක පංතිවලට ගෙන්වා ගැනිම තහනම් වෙනවා. ඒ වගේම චක්‍රලේඛය කඩකරමින් කටයුතු කරන ගුරුවරු සම්බන්ධයෙන් පරික්ෂා කිරිම සදහා දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකය පුළුල් කොට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. දැනට පළාත් දෙකක තමන් උගන්වන පංතියේ සිසුන්මුදල් ගෙවා උපකාරක පංතිවලට ගෙන්වා ගැනිම තහනම් කරමින් චක්‍රලේඛයක් නිකුත් කොට තිබෙනවා. අපි මේ පිළිබද මාස දෙක තුනක් තිස්සේ අධ්‍යයනය කරලා පොඩි සංශෝධනයක් එකතු කළා, තමන් උගන්වන පාසලේ සිසුන් මුදල් ගෙවා තම උපකාරක පංති සදහා ගෙන්වා ගැනිම තහනම් කිරිමට” යැයිද ආණ්ඩුකාර විලී ගමගේ මහතා සදහන් කළේය.

කාලීන පුවත්