දේශගුණික විපර්යාසත් එක්ක අවාරයේ සිරිපා කරුණාව බිහිසුණු අනතුරු වලට අත වැනීමක්

නිසි අවසරයකින් තොරව අවාරයේ ශ්‍රීපාද වන්දනාවේ යාම සපුරාම තහනම් කොට ඇති බව ඊයේ (30) වනදා මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් නන්දන ගලබඩ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් වරයා සඳහන් කොට ඇත. දුරාතීතයේ අප ජන සම්ප්‍රදායේ පැවැති ශ්‍රී පාද වන්දනා සංස්කෘතියට මේ මෑතක සිට අවාරයේ ශ්‍රීපාද වන්දනාව නම් වන උප සංස්කෘතියක් එක්ව එය ශීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත් වෙමින් තිබේ. ජන සම්මතයට අනුව ශ්‍රීපාද වන්දනා සමය දෙසැම්බර් මාසයට යෙදෙන උඳුවප් පුන් පොහොයෙන් ඇරඹී ඊළඟ මැයි මාසයට යෙදෙන වෙසක් පුන් පොහොයෙන් නිමා වෙයි. ඒ අනුව වෙසක් පොහොයේ සිට උඳුවප් පොහොය දක්වා වන කාල සීමාව සිරිපා අවාරය වේ. මෙය දෙවියන් විසින් සිරිපා වන්දනාවේ යෙදෙන සමය බව සබරගමු ජන විශ්වාසයේ සඳහන් ය.නමුදු ඒ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යාත්මකව දිය හැකි අර්ථ කථනය වනුයේ මැයි මාසයේ සිට සැප්තැම්බර් ඔක්තෝබර් තෙක් පැතිර යන නිරිත දිග මෝසම් සමයත් ඉන් පසුව එළැඹෙන අන්තර් මෝසම් සමයත් තුළ මෙම ප්‍රදේශයට වැඩිම වර්ෂාපතනයක් ලැබීම මත ඇති වන අනේක විධ කාලගුණික අතවර මුල්කොට පැරණි ජන සමාජය ඒ කාලය තුළ සිරිපා කරුණා කිරීමෙන් වැලකී සිටි බව ය.

එහෙත්, නූතන අවාරයේ සිරිපා කරුණා කිරීමේ ජනප්‍රිය උප සංස්කෘතිය තුළ ඒ සාම්ප්‍රදායික ජන විශ්වාසය මුළුමනින් නොතකා හැර ඇති බවක් පෙනෙයි.අතීතයට සාපේක්‍ෂව අද වන විට කාලගුණ විපර්යාස සම්බන්ධ ගෝලීය ප්‍රවණතාව ශීඝ්‍රයෙන් ඉහළ නැංවෙමින් තිබේ. මේ දිනවල ඇමරිකාවේ නිව්යෝක් නගරයට බලපා ඇති බරපතල සුළි කුණාටු තත්වය වසර සියයකින් මෙපිට අත් නොදුටු අත්‍යන්ත කාලගුණික තත්වයක් බව අනාවරණය වී තිබේ.මේ වන විට අප රටේ බොහෝ ප්‍රදේශවලට බලපවත්නා වැසි සහිත තත්වය එල්නිනෝ සංසිද්ධිය මත දුර්වල වූ මෝසම් සුළං ප්‍රවාහය ෆැසිපික් සාගරයේ හටගත් සුලි කුණාටු මත තීව්‍ර වීම නිසා හට ගත් එකක් බව කියනු ලැබේ. මෙය ද අත්‍යන්ත කාලගුණික තත්වයකි.

ඉදිරියේ දී අප රට සම්බන්ධයෙන් ද හට ගත හැකි අනේක විධ කාලගුණික විපර්යාසයන් හමුවේ යල මහ වශයෙන් ජන සම්මත සාම්ප්‍රදායික කෘෂිකාර්මික රටාව ද වෙනස් කළ යුතු තත්වයක් පැන නැඟිය හැකි බවට විද්වත්හු අනාවැකි පළ කරති.එවන් පසුබිමක් යටතේ ශ්‍රීපාද වනපෙත වැනි විෂම භූ ලක්ෂණ වලින් යුතු අධික වර්ෂාපතනයකින් යුතු වනාන්තර වලට පිවිසීම බෙහෙවින් අන්තරායකාරී ලෙස බලපාන්නට පුළුවන. ඒ සම්බන්ධයෙන් සබරගමුවේ පාරම්පරික ජනතාවගේ අර්ථ කතනය වනුයේ අවාරයේ ශ්‍රීපාද හිමයට පිවිසෙන්නවුන්ට සමන් දෙවියන් ගේ කරුණාව අහිමි වීම මත ඔවුන් එහි දී විවිධ අතුරු අන්තරායනට මුහුණ දෙන බවකි.

පසුගිය 29 වනදාට යෙදුණු බිනර පුන් පෝදා අපට දැන ගන්නට ලැබුණු අන්දමට කුරුවිට මාර්ගය ඔස්සේ අවාරයේ සිරිපා කරුණා කොට ආපසු පැමිණෙමින් සිටි නඩයක් සීත ගඟුලේ ජල මට්ටම වේගයෙන් ඉහළ යාම මත දින හතරක් තිස්සේ එහි අම්බලමකට කොටු වී තිබේ. ඒ වන විටත් ඒ ගම්වාසීහු උපායශීලී ලෙස එම ස්ථානයට ළංවීමට කටයුතු යොදා තිබිණ.කැටි වැසි වලාකුළු ආශ්‍රිතව හටගන්නා අකුණු පිපිරීම් සමඟ කෙටි කාලයක් තුළ මහා ධාරානිපාත වර්ෂාවන් ඇද හැලීම මෙම ප්‍රදේශයේ වරින් වර ඇති වන සිදුවීමකි. ඒ වර්ෂාවෙන් ඇද හැලෙන ජල කඳ මහා ජලප්‍රවාහයක් සේ උස් බිම් වල සිට හිටි හැටියේ වේගයෙන් පහළට ගලා එන අතරේ ඊට මුහුණ දෙන්නවුන් බිහිසුණු අනතුරුවලට ලක්වීමේ පැහැදිලි අවදානමක් තිබේ.

අධික වැසි පවත්නා විට හැටන් නල්ලතන්නි, රත්නපුර ශ්‍රීපලාබද්දල, කුරුවිට එරත්න යන ප්‍රධාන ශ්‍රීපාද මාර්ගවල ගමන් කිරීමේ දී ද මෙවන් බිහිසුණු අනතුරුවලට ලක්වීමේ අවදානම ද ඉතා ඉහළ ය. එමෙන්ම ශ්‍රීපාද අඩවියේ ඉහළ ප්‍රදේශ වල අධික වර්ෂාපතනයක් හට ගැනීමත් සමඟ එහි පහළ ප්‍රදේශවල යහපත් කාලගුණයක් පවතින විට පවා ගංගා ඇල දොළ ආදියේ ජල මට්ටම් හිටිහැටියේ වේගවත්ව ඉහළ යාම සාමාන්‍ය තත්වයකි.කුරු ගඟ ජල මූලාශ්‍රය කොට ගත් සංචාරකයන් අතර ජනප්‍රිය බෝපත් ඇල්ලේ පවා වරින්වර මේ තත්වය දක්නට පුළුවන. එසේ හිටිහැටියේ දියඇල්ලේ ජල ප්‍රවාහය වැඩි වීම් නිසා සිදු වූ අනතුරු සහ එසේ අනතුරට පත් වූවන් අනූනවයෙන් දිවි ගලවා ගැනීම් ආදිය ඕනෑ
තරම් වාර්තා වේ. මෙලෙස කැටි වැසි වලාකුළු ආශ්‍රිතව ඇතිවන පිපිරීම නිසා මහ පොළොවට ඇද හැලෙන අධික වර්ෂාව සබරගමු ගැමියන් හඳුන්වනුයේ “දිය හෙන” යන නමිනි. ඒ අනුව මේ දිය හෙනයක් වුව වැසි කාලයන් තුළ ඊට පිවිසෙන්නවුන් හට බරපතල විනයක් වීමට බැරි නැත.

මීට අමතර ශ්‍රීපාද කන්ද ආශ්‍රිතව ඇති මස්කෙළිය, මාඋස්සාකැලේ, කාසල් ආදී ජලාශ මුල්කොට ඇති වන සුළං ප්‍රවාහ මුල් කොට ඇතිවන දිය ගොබ වලා (Waterspout ) නම් කාලගුණික සංසිද්ධිය මුල්කොට ගෙන ද එම කඳු පද්ධතියේ පහළ සිටින්නවුන් හට අනතුරු වලට මුහුණ දීමේ පහසු හැකියාවක් තිබේ. සුළඟේ දැඩි ක්‍රියාකාරීත්වය මත එවන් ජලාශ වලින් අහස් ගත වන මහා ජල ස්කන්ධයන් ගොඩබිම ප්‍රදේශයන්ට පතිත වීම මෙහි සාමාන්‍ය සංසිද්ධියයි. එහිදී ඒ ජලාශවල හිඳින ජලජ ජීවීන් ද ඒ සුළං ප්‍රවාහයට නතුව අහස් ගත වී වෙනත් ප්‍රදේශයන්ට පතිත වීම මත මේවා “මාළු වැහි” යනුවෙන් ද ගම්මු හඳුන්වති.

ධ්‍යාන වැඩීම මුල් කොට තමන් ගේ ආධ්‍යාත්මික ජීවිතය පෝෂණය කර ගැනීමේ අරමුණින් අවාරයේ ශ්‍රීපාද වනයට පිවිස ධාන්‍ය වැඩීම අරමුණු කරගත් වලස්මුල්ල ප්‍රදේශයේ ෂෙල්ටන් නම් තරුණයකු මීට දශක කිහිපයකට පෙර කළුතර ප්‍රදේශයේ එවන් සංවිධානයකට බැඳී සුදර්ශ යනුවෙන් තම නම ද වෙනස් කොට සති ගණන් ශ්‍රීපාද වනයේ බවුන් වැඩීම පුරුද්දක් කොට ගත්තේය. එහි දී එම වනයේ දී අහඹු ලෙස මුණ මුල් කොට ඒ වන විට ශ්‍රීපාද ස්ථානයේ උඩමළුව මුර කළ තිස්ස කුමාර සුදර්ශ හා යම් දැන හැඳුනුමක් ඇති කර ගෙන තිබිණ. වරක් ශ්‍රී පාද උඩ මලුව ප්‍රදේශයට දින කිහිපයක් පුරා ඇද හැලිණු ධාරානිපාත වර්ෂාවකට පසුව ශ්‍රී පලාබද්දල පිහිටි තම ගමට ඒම පිණිස පහළට බසිමින් සිටි ඔහුට ශ්‍රී පාද මාර්ගයේ ඇහැල කනුවට මඳක් ඉහළින් කිසිවකු වැටී සිටිනු දැකිය හැකි විය. ඒ කවුරුන් දැයි පිරික්සු ඔහුට දැක ගත හැකි වූයේ ඒ සුදර්ශ බව ය. එහෙත්, ඒ වන විට ඔහුගේ සිරුර අධික ශීතලයකින් යුතුව ගල් වී තිබීම මත ඔහු මියගොස් ඇති බව වටහා ගත් තිස්ස කුමාර පසුව ගම්මානයට පැමිණ එවක ශ්‍රී පලාබද්දල  ග්‍රාම නිලධාරිනී ඉන්ද්‍රානි ෆොන්සේකා මහත්මියට ඒ බව දැන්වීමෙන් පසු මළ සිරුර පහළට ගෙන ඒමට කටයුතු යොදන ලදී.මළ සිරුරේ හිසේ තැලීම් තුවාලයක් ද දක්නට ලැබුණු අතර එය ඔහු මහගිරි දඹය නඟින අතරේ අධික ශීතල ජල ප්‍රවාහයකට හසුවීමෙන් අත්වැල ගිලිහී පහළට ඇද වැටීම නිසා සිදුවූවක් බව ගම්මුන් ගේ නිගමනය විය. පසුව රත්නපුර මහ රෝහලේ දී සිදු කළ සුදර්ශ ගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණයට හේතුව නියුමෝනියාව බව අනාවරණය විණි..මේ සියලු කරුණු තුලනාත්මකව විමසා බැලීමේ දී අපට කිව හැක්කේ මෙවන් දේ හුදු ජනප්‍රිය සංස්කෘතිකාංගයක් සේ සළකා හෝ අවාරයේ ශ්‍රීපාද වන්දනාවේ යෙදීම කෙසේවත් යෝග්‍ය නොවන බව ය.

       

සටහන සහ ඡායාරූප : සහන් සංකල්ප සිල්වා

එතෙර - මෙතෙර