පිටසක්වල හා සබඳතා පවත්වන බවට විශ්වාස කෙරෙන සොබාදහමේ දායාදය ලකේගල

අපේ රටේ කිසිම කන්දක දැකගත නොහැකි ආකාරයේ අරුම පුදුම පිහිටීමක් සහිත ලකේගල මහනුවර දිස්ත්‍රික්කයට අයත් මීමුරේ ගමට පිටුපසින්, මීමුරේට මුහුණලා මාතලේ දිස්ත්‍රික්කයේ නාරංගමුවේයි පිහිටා තිබෙන්නේ.
පිරමීඩාකාර හැඩයකින් යුත් ලකේගල තිබෙන විස්මයජනක ස්වභාවය වන්නේ මෙය විවිධ කෝණවලින් බැලුවොත් ඒ හැම කෝණයකදීම එකිනෙකට වෙනස් හැඩයකින් දිස්වීමයි. හෙක්ටයාර 21000 ක පමණ වපසරියකින් යුතු නකල්ස් වන පියසට ම අයිති ලකේගලෙහි වැඩිම කොටසක් දැක බලා ගත හැකි වන්නේ පල්ලේගම රණමුරේ හරහා නාරංගමුවට පැමිණෙන විටයි. මෙය කඳු පන්ති තුනකින් සමන්විතයි. ඒ නාරංගමුව ලකේගල ලෙසින් හඳුන්වන කොමලෑවේ ගල, ඊළඟට අප මේ කතා කරන මීමුරේ ලකේගල සහ මේ ගල් කඳු දෙක අතර පිහිටි මීරියගොල්ල ගල. මේ කඳු තුනම දැවැන්ත කළුගල් පාෂාණවලින් සෑදී තිබෙන අතර උස් ගස් කිසිවක් මෙහි දකින්න නෑ.
හුන්නස්ගිරියේ සිට ලූල්වත්ත හරහා මීමුරේ දක්වා එන ගමනේදී දෝතළුගල, දුම්බානාගල, අලියා වැටුණු ඇල, ෆීනික්ස් ගල සහ නකල්ස් කඳුවැටියත්, දකුණු දෙසින් කෙහෙල්පත්දෝරුව ගල, යහන්ගල, තෙළඹුගල දක්වාම මේ කඳු සියල්ල ලකේ ගල වටා වක්‍රාකාරව පිහිටා තිබෙන්නේ හරියට ලකේගලේ ආරක්ෂාවට වගේ.

රාම රාවණා කතාව සහ ලකේගල අතර ලොකු සම්බන්ධතාවයක් තිබෙන බවට පුරාණයේ ඉඳලම විවිධ විශ්වාස වගේම මේ සම්බන්ධ ජනප්‍රවාද රාශියක් ද පවතිනවා. විශේෂයෙන්ම මේ කතාවට මීමුරේ සහ නාරංගමුව අතර ප්‍රදේශය වඩාත් බලපාන බව තමයි පැවසෙන්නේ. මෙහි සඳහන් කළ යහන්ගලෙහි රාවණා රජුගේ ශරීරය තැන්පත් කර තිබෙන බවට ද ප්‍රවාදයක් පවතිනවා.
කෙසේ වුවද මෙම කඳු පන්තියේ පිහිටීම නිසාම මෙය අපේ රටේ අතීතයේ යුද බලකොටුවක් ලෙසින් භාවිතා කළ බව ද ඉතිහාසයේ සඳහන්. මෙහි පිහිටීමේ තිබෙන ගුප්ත බව ද මේ සඳහා විශේෂයෙන් බලපෑ බව සැලකිය හැකියි.
ලකේගල අවට ගම්වල ජීවත් වන ජනතාව තුළ රාවණා රජු සම්බන්ධ දැඩි විශ්වාසයක් පවතිනවා. මේ තුළ යම්කිසි ගුප්ත බලවේගයක් පවතින බවටද සඳහන් කරන ඔවුන් මේ කන්ද තරණය කරන්නේ රාවණා කෙරෙහි දැඩි භක්තියකින් යුතුවයි. එසේ නොවුණහොත් නොයෙකුත් අනතුරුවලට මුහුණදීමට සිදුවිය හැකි බව ද ගම්මුන් පවසනවා.
ලකේගල කන්ද මධ්‍යයෙහි අසාමාන්‍ය වූ ගල් ගුහා දෙකක් පිහිටා තිබෙනවා. මින් එක ගල් ගුහාවක් ලෙනක් ආකාරයට පිහිටා තිබෙන්නේ. එහි පනස් දෙනකුට වුවත් එකවර රැඳී සිටින්නට පුළුවන් බව පැවසෙනවා.

ලකේගල පවතින අසාමාන්‍ය පිහිටීම නිසාම මෙහි අනෙක් ගුහාවට ගුවනින් මිස දෙපයින් කන්ද තරණය කර යා නොහැකියි. එම ගුහාවේ සිට වෙනත් දෙසකට යා හැකි පැරණි දොරටුවක් පවතින බව මිනිසුන් විශ්වාස කරනවා. ඒ වගේම ඒ තුළින් විවිධ යානා එහා මෙහා යන ශබ්ද ඇසෙන බවත්, විවිධ ආලෝකයන් දකින්නට ලැබෙන බවත් පවසන ගම්මුන් විශ්වාස කරන්නේ මෙහි පිටසක්වල යානා නිතර යන එන බවයි. ඒ වගේම පෝය දිනවලට මේ දොරටුව ඉබේම විවර වෙන බවත්, එහි පැරණි ගායනා සහ බෙර වාදන ඇසෙන බවත් මිනිසුන් විශ්වාස කරනවා.
විවිධ ප්‍රදේශවලට යා හැකි උමං මාර්ගයක් ප්‍රධාන ගල්ගුහාවෙන් තිබී ඇති බවත්, ඉහළ ගල්ගුහාව මේ උමගෙහි ආරම්භය බවටත් සැකයක් පවතිනවා. නාරංගමුව ප්‍රදේශයේ පිහිටි උයන්ගමුවේ ද මෙවැනිම ගුහාවක් පිහිටා තිබෙන අතර උයන්ගමුව එකල යුද ර්මස්ථානයක් ලෙස ද භාවිතා වී තිබෙනවා.

ගල්තලාවන් සමූහයක් වගේම අස්වාභාවික ආකාරයට ගල් මතින් සෑදුනු ගල් ගුහා මෙම ප්‍රදේශයේ තිබීම මීට සාක්ෂි දරනවා.
තවත් ඉතා වැදගත් දෙයක් තමයි මෙහි පිහිටි කපු අටුවා ලෙන. මෙය පොළොව මට්ටමේ සිට මීටර පනහක් පමණ ඉහළින් ගලේ පිහිටා තිබෙන්නේ. බඩ ගා එම ගල තරණය කර ඉතා අසීරුවෙන් තමයි කපු අටුවා ලෙනට යා හැකි වන්නේ. සීතා දේවිය හා බැඳුණු කතාවලට කපුඅටුවා ලෙන ප්‍රසිද්ධයි. සීතා දේවිය මෙම ලෙන තුළ සඟවා සිටි බවට මිනිසුන් අතර ජනප්‍රවාදයක් පවතිනවා. තවත් ජනප්‍රවාදයකට අනුව කුවේණිය මේ ලෙනෙහි කපු කටිමින් සිටිය බවද පැවසෙනවා. ඒ නිසා මෙය කපුඅටුවා ලෙන ලෙස ප්‍රසිද්ධ වී ඇති බව ගම්මුන් ගේ මතයයි. එහි සිට කුවේණිය තම්මැන්නාව හරහා ඉන්දියාවට යාමට පැමිණි අවස්ථාවේ දී විජය කුමාරයා මුණගැසුණු බව කියනවා. කෙසේ වුවද මේවා ගම්මුන් අතර පවත්නා ජනප්‍රවාද පමණයි. ඒ මිස ඒවා ඉතිහාසය මගින් තහවුරු කර ඇති තොරතුරු නොවෙයි.

රාම රාවණා පුරාවෘත්තයත්, ලකේගලත් සම්බන්ධ කතා අතර ඉතා ප්‍රසිද්ධියට පත්වී තිබෙන කතා පුවතක් තමයි රාමාගේ තියුණු හී සර පහරින් කැඩී විසිරී ගිය ගස් උයන්ගමුවට පතිතවූ බව හා ඒවා යළි පණ පිහිටා උයන්ගමුවේ වැඩුණු බවට ජනප්‍රවාදයෙහි එන ප්‍රවෘත්තිය.
ඒ වගේම රාවණා රජුගේ දඬුමොණරය මෙහි ගොඩ බැස්වූ බවද කියනවා. ලකේගල පිරමීඩාකාර හැඩයක් ගත්තත් එහි මුදුනට නැගගත් විට ගුවන් යානා කිහිපයක් වුව ගොඩබැස්විය හැකි තරමේ පැතලි සමතලා බිමක් තිබෙන බව මෑත කාලයේ සොයා ගෙන තිබෙනවා. එසේම එහි යම් යම් ඉදිකිරීම්වල නටබුන් තිබෙන බවද පැවසෙන අතර ඒවා රාවණා රජුගේ නිරීක්ෂණ කුටි බවට රාවණා රජු දැඩිව අදහන පිරිස් විසින් විශ්වාස කරනු ලබනවා.
කෙසේවුවද අසිරිමත් බවින් මෙන්ම සුන්දරත්වයෙන් ද අනූන වූ ලකේගල අපේ කුඩා දිවයිනට සොබාදහම විසින් ලබා දී තිබෙන ඉතාමත් අගනා දායාදයක් බව පැවසිය හැකියි.

ඡායාරූප අන්තර්ජාලයෙනි.

ඉන්දු පෙරේරා

හරිත දනව්ව