පිරිමින්ට වඩා කාන්තාවන්ට වැළඳීමේ වැඩි නැඹුරුවක් තිබෙන ආඝාතය

vinivida

ආඝාතය හෙවත් stroke සාමාන්‍ය සමාජයට එතරම් හුරු පුරුදු වදනක් නොවිය හැකිය. අපට පුරුදු එය අංශභාගය ලෙසිනි. මෙය හදිසියේ ඇතිවන මොළයේ ක්‍රියාකාරිත්වයේ වෙනසක් නිසා මතුවන රෝගයකි. එසේම හිටි අඩියේ ඕනෑම අනපේක්ෂිත මොහොතක ඇතිවිය හැකිය. මොළයේ මතුවන මේ හදිසි වෙනස ලේ ගමනාගමනයේ හෝ ක්‍රියාකාරිත්වයේ වෙනස හේතු කරගෙන ඇතිවන්නක් නිසා ඊට අදාළ මොළයේ යම් යම් ප්‍රදේශවල ආබාධ හටගනී. රෝග ලක්ෂණ මතුවන්නේ මොළයේ එම අදාළ ප්‍රදේශයට අනුව ය. සාමාන්‍ය සමාජය මෙය අංශභාගය ලෙස හඳුන්වන්නේ මෙම රෝගයේදී බහුල ලෙසම ශරීරයේ පැත්තක් පණ නැති වීම නිසා රෝග ලක්ෂණයක් ලෙස දැකිය හැකි නිසාය.

සංඛ්‍යා ලේඛනවලට අනුව ලෝකය පුරා වසරකට මිලියන 15ක් පමණ ආඝාතවලට ගොදුරු වෙති. මෙයින් මිලියන 6ක් පමණ දෙනා ඒ නිසාම මරණයට පත්වන බවද හෙළිවී තිබේ. ආඝාතයෙන් පසු සුවය ලබා ඉතිරි වන මිලියන 5ක් පමණ දෙනා තමන්ගේ එදිනෙදා කාර්යයන්වත් හරි හැටි ඉටුකර ගත නොහැකි ආබාධිත තත්ත්වයට පත් වෙති.

සංඛ්‍යා ලේඛන මගින් තවදුරටත් හෙළි කරන පරිදි ආඝාතයට ගොදුරු වන අයගෙන් 1/3 ක් අනිවාර්යයෙන් මිය යන අතර තව 1/3 ක් සුව වුවද සදාකාලිකවම ආබාධිතයන් සේ දිවි ගෙවති. සුව වීමෙන් පසු තමන්ගේ වැඩකටයුතු කරගෙන ස්වාධීනව ජීවත් වෙන්නට ලැබෙන්නේ තවත් 1/3 ක පමණ පිරිසකට ය. එසේම තවදුරටත් සංඛ්‍යා ලේඛන මගින් තහවුරු වී ඇති පරිදි සෑම කාන්තාවන් පස්දෙනෙකුගෙන් එක් අයෙකුටද මෙම රෝගය බෝ වීමේ හැකියාව තිබේ. එසේම ආඝාතයට ගොදුරු වූ කාන්තාවන් මිය යාමේ සම්භාවිතාව වැඩි ය. අනික් අතට ආඝාතයට ගොදුරු වීමට හැකි අවදානම්කාරකද කාන්තාවන්ට වැඩි ය. එසේම ආඝාතය නිසා කාන්තාවන් මිය යාමට ඇති හැකියාවද වැඩි බව කිව යුතුය. ආඝාතයෙහි විශේෂත්වය නම් මෙම රෝගයට ගොදුරුවන්නන්ට පමණක් නොව රෝගියාගේ සමීපතමයින්ට සහ සමස්ත සමාජයටම විශාල සෞඛ්‍ය සහ සමාජීය ගැටලු මතු කරන රෝගී තත්ත්වයකි.

ලෝකයේ කොහේ හෝ සෑම තත්පර දෙකකට වරක් කෙනෙකු ආඝාතයට ගොදුරු වෙයි. එසේම ලෝකයේ කොහේ හෝ තැනක සෑම තත්පර හයකට වරක් කෙනෙකු ආඝාතය නිසා මෙලොව හැර යයි. ලෝකයේ මිනිසුන් මරණයට පත්වන හේතු අතරින් දෙවන ප්‍රධානතම හේතුව ආඝාතයයි. එසේම රෝගයක් නිසා වැඩිපුරම ආබාධිත තත්ත්වයට පත්වන්නේ ද ආඝාතය නිසා ය.
සාමාන්‍යයෙන් හෘදයාබාධයක් වැනි රෝගයකදී එහි ඇති භයානක බව බොහෝ දෙනෙක් දනිති. එසේම හෘදයාබාධයකදී පපුවේ කැක්කුමක්, දහඩිය දැමීමක් වැනි ලක්ෂණයක් දැනුණු වහාම ක්‍රියාත්මක වීමට රෝගියා සේම, රෝගියාගේ සමීපතමයන්ද, අවට සිටින්නන් ද දැනුවත් ය. එනිසා එවැනි රෝගියකු වහාම රෝහලක් කරා ගෙන යාමට මේ කවුරුන් හෝ ක්‍රියා කරනු ඇත. ආඝාතය ද මේ තරමටම භයානක වන මුත් එහිදී ඇතිවන රෝග ලක්ෂණ මිනිසුන් හරි හැටි තේරුම් නොගැනීම නිසා කලට වේලාවට ඉක්මනින් රෝහල් කරා නොපැමිණීම හේතුවෙන් එහි ප්‍රතිඵලය ලෙස මරණය හෝ සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වන්නට ඇති ඉඩකඩ බොහෝ ය.

මොළයේ පෝෂණයට සහ නිසි ක්‍රියාකාරිත්වයට අවශ්‍ය වන රුධිරය රැගෙන යන නාල අවහිර වීම නිසා ඇතිවන ආඝාතය සහ මොළයේ ලේ නහරවල පිපිරීමක්, හානි සිදුවීමක් නිසා හටගන්නා ආඝාතය වශයෙන් මෙහි වර්ග දෙකක් තිබේ. මෙයින් වැඩිපුරම එනම් 80% ක් පමණ ම හටගන්නේ මොළයට ලේ ගෙනයන නාල අවහිරවීමක් නිසා හටගන්නා ආඝාත තත්ත්වයයි.

ආඝාතයට ගොදුරු වීමේ හැකියාව ඉහළ දමන ප්‍රධානම සාධකය අධිරුධිර පීඩනය වේ. අධිරුධිර පීඩනය ලොව පුරා වසංගතයක් මෙන් පැතිර තිබෙන අතර අධිරුධිර පීඩන තත්ත්වයට ගොදුරු වීම ඉහළ යන තරමටම ආඝාත තත්ත්වයන්ද ඉහළ යයි.

අධික ලුණු පරිභෝජනයෙන් ඈත්වීම, යහපත් ආහාර රටාවකට නැඹුරු වීම, සීනි පරිභෝජනය අඩු කිරීම, නැවුම් එළවළු පලතුරු වැඩිපුර ආහාරයට එකතු කර ගැනීම, නිසි ව්‍යායාමවලට යොමු වීම, තරබාරුව අඩු කර ගැනීම, දුම් පානයෙන් මිදීම, මානසික තත්වය යහපත් අතට යොමු වන කාර්යයන් කිරීම වැනි දේවල් තුළින් අධිරුධිර පීඩනයෙන් ඈත්වී සිටීමට හැකියාව ලැබේ. විශේෂයෙන් තරබාරු බව ආඝාතයට ගොදුරු වීමට ඇති හැකියාව බොහෝ ඉහළ දමයි.

ආඝාතයක් හට ගැනීමේදී ඇති විය හැකි ලක්ෂණ :

* ශරීරයේ පැත්තක ඇතිවන දැනීමේ වෙනසක්
* හදිසියේ ඇතිවන පෙනීමේ වෙනසක්
* හදිසියේ ඇතිවන තදබල හිසරදයක්
* හදිසියේ ඇතිවන ගිලීමේ අපහසුවක්
* හදිසියේ ඇතිවන ඇවිදීමේ අපහසුවක්
* කරකැවිල්ලක්, වමනයක්
* සමතුලිත බවේ වෙනසක්
* කතාවේ පටලැවීමක්
* කට ඇදවීමක්
* අතක හෝ පාදයක පණ නැති වීමක්

මෙවැනි කුමන හෝ රෝග ලක්ෂණයක් ඇති වුවහොත් ඒ මොහොතේම එක තත්පරයක් හෝ අපතේ නොහැර වහාම රෝගියා රෝහලක් වෙත රැගෙන යා යුතුය. ඔබ ඉක්මන් වන තරමට අතුරු ආබාධවලින් සේම මරණයෙන් ද රෝගියා මුදවා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

උපදෙස් – ස්නායු රෝග විශේෂඥ මහාචාර්ය උදය රණවක

සැකසුම – ඉන්දු පෙරේරා

විනිවිද සායනය