බුදු දහමයි ජාත්‍යානුරාගයයි පටලවා ගන්න එපා

ජාත්‍යානුරාගය, දේශවාත්සල්‍යය ආදී හැඟීම් ආවේගයන් යම් ජාතියක, ප්‍රජාවක ප්‍රායෝගික පැවැත්මට ඉවහල් වන බව නොරහසකි. ක්ලේශ භරිත සත්ව කොට්ඨාශයක් වන මිනිසාට ලෞකික මේ සියල්ල අතහැර දමා ජීවත් විය නොහැකි බව ද බුදු දහම පිළිගනී. නමුදු සියල්ල අතහැරීමෙන් මිනිසාගේ පරම විමුක්තිය අත් වන බව පැවසෙන බුදුදහමේ මූලික හරය හා ඉහත සඳහන් ජාත්‍යානුරාගය, දේශවාත්සල්‍යය අතර කිසිදු සබැඳියාවක් නැත.

තත්වය මෙසේ වුවද භාරතයේ ශ්‍රී ලංකාවට උරුම වූ බුදු දහම පදනම් කරගත් “බුද්ධාගම”ක් අප සමාජය තුළින් නිර්මාණය වීමත් සිංහල ජන සමාජය විසින් භාවිතා කරනු ලැබීම නිසා එය “සිංහල බුද්ධාගම’ නමින් හැඳින්වීමත් මත ඒ තුළට බෞද්ධ පරමාදර්ශවලින් සපුරාම පැහැර වූ ජාත්‍යානුරාගය, දේශවාත්සල්‍යය පිළිබඳ අදහස් කොතෙකුත් කාවැදී ඇත. සිංහලයාගේ අසම සම ඉතිහාස ග්‍රන්ථය වන මහාවංශයේ අසහාය වීරයා වනුයේ දුටුගැමුණු රජතුමා ය. එහි විසි පස් වන පරිච්ඡේදයේ 01 සිට 05 තෙක් ගාථා පාඨවලට අනුව දුටුගැමුණු කුමරුන් අනුරාධපුරය ජය ගැනීමට යන යුද සේනාවට භික්ෂුන් වහන්සේ පන්සිය නමක් ද එක් කරවා ගනී. ඒ එය බුදු සසුන නඟා සිටුවන්නට යන ගමනක් නිසා බව පවසමිනි .නමුත් යුද සෙනඟක් හා එක්ව ගමන් කිරීම බෞද්ධ භික්ෂු විනයට ඉඳුරාම පටහැනි ය.ආර්ය ශ්‍රාවකයන් විසින් නොකළ යුතු කතා තිස් දෙකෙන් සය වැන්න යුද්ධ කතා බව දහමෙහි සඳහන් වීමෙන් එය මනාව තහවුරු වෙයි.

නමුදු භික්ෂුන් වහන්සේලා විසින් රචිත මහාවංසයේ එම පරිච්ඡේදයේම 103 සිට 112 දක්වා වන ගාථා පාඨ මඟින් පැවසෙනුයේ ද තවත් විස්මිත පුවතකි., යුද්ධයෙන් පසුව දුටු ගැමුණු රජ තුමාට නින්ද නොයා තිබූ අතර ඊට හේතුව වූයේ තම යුද්ධයේදී මියගිය දහස් සංඛ්‍යාත පිරිස සිහිපත් වීම ය. එවිට පුවඟු දිවයිනේ සිට සෘද්ධි බලයෙන් වැඩම කළ රහතන් වහන්සේ නමක් අට රජතුමාගේ සිත සනසවා ඇත්තේ එම මිනිස් ඝාතනයෙන් රජතුමාට ස්වර්ගමෝක්ෂ අන්තරායක් නොමැති බව සඳහන් කරමිනි. මහාවංසයේ දැක්වෙන පරිදි රහතන් වහන්සේලා පවසා ඇත්තේ රජතුමාගේ යුද්ධයෙන් මියගොස් ඇත්තේ මිනිසුන් එකහාමාරක් බව ය. එනම් තිරසණ සමාදන් වූ තැනැත්තු හා තිසරණ සමඟ පන්සිල් සමාදන් වූ තැනැත්තෙකු වශයෙනි. අනෙක් සියලු දෙනා සිවුපාවුන් හා සමාන හෙයින් රජුට එයින් ස්වර්ග මෝක්ෂයට බාධාවක් නොවන බව එම රහතන් වහන්සේලා දුටු ගැමුණු රජුට පැවසූ බව සඳහන් මහාවංශ පුවත මුලුමනින් ධර්ම විරෝධී ය.

“ජාතික රණ දෙරණ මතේ
ගැටී වැටී මළ මොහොතේ
සුන්දර සුරඹුන්ගෙ අතේ
නැළැවෙන බව සිතනු පුතේ”

මෙය අදටත් අප ජන සමාජයේ තිර ප්‍රසිද්ධ එම පද්‍ය ටිබෙට් ජාතික වශයෙන් වැරදි ලෙස හඳුන්වන ඉන්දියාවේ සිකීම් හි ජන්ම ලාභය ලැබ ළමා වියේ දීම මෙහි පැමිණි එස්.(සිකීම්) මහින්ද හිමියන් ගේ ”ජාතික දරු නැලවිල්ල” නම් පද්‍ය සංග්‍රහයේ එන පැදියකි. එහෙත්,යුදබිමේ දී මිය යන සෙබලා ඒ මොහොතේම දෙව්ලොව උපදින්නේ ය යන්න මහින්ද හිමියන් ගේ කවි සිතුවිල්ලක් නොවේ. එය වසර දහස් ගණනක් තිස්සේ විකාශනය වන වෛදික සාහිත්‍යයේ එන ඉගැන්වීමකි. හුදෙක් ජනතාවට පිටුපා රාජ්‍යත්වයට ආවැඩීම ඔස්සේ තම මඩිය තරකර ගත් කපටි බ්‍රාහ්මණ පූජක පැළැන්තිය සමාජ ගත කළ එම බරපතල මිථ්‍යාව ක්‍රි.ව. පළමු සියවසේ දී පමණ ලියැවුණු බව සැළකෙන දිව්‍යමය ගීතය හෙවත් භගවත් ගීතාව තුළින් දාර්ශනික ලෙස ”පිරිපහදු කොට” දක්වා තිබේ. ලෝක ප්‍රකට භාරතීය මහා කාව්‍යයක් වන මහා භාරතයේ උද්‍රෘතයක් ලෙස ක්‍රිෂ්ණ දෙවියන් සහ අර්ජුන නම් යුද වීරයා අතර ඇති වන සංවාදයක ස්වරූපයෙන් ලියැවී ඇති භගවත් ගීතාව නම් හින්දු භක්ති කාව්‍යයේ දෙවන පරිච්ඡේදයේ තිස් දෙවන ශ්ලෝකයට අනුව ”ධර්ම යුද්ධයක දී”මිය යන සෙබලා ස්වර්ගීය සැප සම්පත් ලබන බව ක්‍රිෂ්ණ දෙවිඳුන් විසින් අර්ජුනට ප්‍රකාශ කොට ඇත. ඒ පාන්ඩ්‍ය සහ කේරල දේශයන් අතරේ ඇති වන යුද්ධයක දී සිදු විය හැකි අති මහත් විනාශය මුල් කොට අර්ජුන ඒ යුද්ධය කෙරෙහි පසු බා සිටි අවදියක ය.

එහෙත්, එහි දී එසේ යුද බිමේ දී මිය යන සෙබලා මිය යනුයේ “ධර්ම යුද්ධයක” දී මිය ගිය හොත් පමණි. මෙම ධර්ම යුද්ධය යන වදන භගවත් ගීතාවේ ඉංග්‍රීසි පරිවර්තන වල ද Righteous war යනුවෙන් යොදා තිබේ. ඒ අනුව ධර්ම යුද්ධය යනු හුදෙක් රාජ්‍ය පාක්ෂික යුද්ධ වීමට සේම නොවීමට ද හැකි බව අප සිහියේ තබා ගත යුතු ය. භගවත් ගීතාව ඉදිරිපත් කරන මෙම දාර්ශනික චින්තාවේ දාර්ශනිකත්වය අත හැර දැමූ සරල අනුවාදයක් දහතුන් වන සියවසේ ලියැවුණු ”කව් සිළුමිණ” කෘතියේ 666 වන පද්‍යයේ ද තිබේ.

එහෙත්, භගවත් ගීතාව දක්වන අන්දමට එසේ ධර්ම යුද්ධයක දී මිය යන සෙබලා ඉන්ද්‍ර දෙවියන් වෙතට ගොස් ඔහුගේ මංජුසාවෙන් අමෘතය පානය කළ ද එම පුන්‍ය ශක්තිය නිමා වූ පසු ඔහුට යළි ඒකාන්තයෙන්ම මිහිතලයට පැමිණීමට සිදුවෙයි. ඒ බව භගවත් ගීතාවේ නව වන පරිච්ඡේදයේ 21 වන ශ්ලෝකයෙහි දැක්වෙයි. ඉන් පැහැදිලි වන්නේ හින්දු ආගමේ දැක්වෙන ස්වර්ගීය සැපත ද අනිත්‍ය බව භගවත් ගීතාව වැනි දාර්ශනික කෘති මගින් මනාව පැහැදිලිව තිබීම ය.ඉන් වැඩිදුරටත් අවධාරණය කෙරෙනුයේ ආත්මය පිළිබඳ පරම සැපය හෙවත් මෝක්ෂය ලබා ගැනීමට නම් සියලු ලෞකික සම්පත් අත් හළ යුතු බව ය.එහි එම ක්‍රියාව නිෂ්ක්‍රමණ ලෙසින් දක්වා ඇති අතර එය බෞද්ධ පරමාදර්ශයක් වන ”නෙක්ඛම්ම” යන්නට බෙහෙවින් සමාන ය.

මෙවන් තත්වයන් යටතේ බුදු දහම මගින් ද කිසිවිටෙකත් යුද්ධය අගැයීමට ලක් නොවී ඇති සේම බුදුන් වහන්සේ කිසි අයුරකින් යුද්ධයට ආවඩා නොමැත.ඒ බවට සංයුක්ත නිකායේ යෝධාජීව සූත්‍රය කදිම නිදසුනකි. මෙහි යෝධාජීව යනු යුද්ධය ආජීවය හෙවත් දිවි පැවැත්ම කොටගත් පුද්ගලයා ය. නැතහොත් යුද සෙබලා ය.එහි දී ගාමිණී නම් වන යුද සෙනෙවියකු බුදුන් හමුවට පැමිණ එක් පැනයක් අසයි.එනම් ”ප්‍රාණ ඝාතාදීන්ට සම්බන්ධ වෙමින් යුද බිමේ දී මිය යන සෙබලා දෙව්ලොව උපදින බවට පූර්වාචාරීන් පවසා ඇති අදහස සත්‍යයක් ද?” යන්න ය.එහි පූර්වාචාරීන් යනු රජ වරුන්ගේ පැවැත්ම උදෙසා නිරතුරුව කැප වී ක්‍රියා කළ බ්‍රාහ්මණ පූජක පැලැන්තිය බව නිසැක ය. එහෙත්, එම පැනය තෙවරක් විමසන තුරුම නිහඬව පසුවන තුරු නිහඬව වැඩ වෙසෙන බුදුන් වහන්සේ අවසානයේ ගාමිණී නම් යුද සෙනෙවියාට දෙසනුයේ එවන් මිථ්‍යා දෘශ්ඨික සිතුවිල්ලක් දැරීම පවා අපාය ගාමීවීමට හේතුවක් බවකි.ඒ අනුව ජාත්‍යානුරාගය, දේශවාත්සල්‍යය ආදී හැඟීම් ආවේගයන් යම් ජාතියක, ප්‍රජාවක ප්‍රායෝගික පැවැත්මට ඉවහල් වන නමුදු එය බුදු දහම සමඟ පටලවා ගැනීම කෙසේවත් නොකළ යුත්තක් බව අවධාරණය කළ යුතු ය.

දිවුල්වැවේ ජිනරතන හිමි

පහන් ටැඹ