මහ සඟ රුවනට අනිසි මඩ ප්‍රහාර වැදීම වළකන භික්ෂු එකමුතුවක් – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය


වර්තමාන සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඔස්සේ ද මහා සංඝරත්නය ඉලක්ක කරගත් නින්දා අපහාස එල්ලවීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ විශේෂ සාකච්ඡාවක් මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරයන්හි පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියන් ප්‍රකාශ කර තිබේ.

ඇතැම් පාර්ශ්වයන් විසින් හිතාමතාම සමස්ත භික්ෂු ශාසනයම අවතක්සේරු කිරීමට සහ පහත් කොට සැලකීමට දරන සංවිධානාත්මක උත්සාහයන් හඳුනාගෙන, ඒවාට එරෙහිව ගත යුතු සාමූහික ක්‍රියාමාර්ග තීරණය කිරීම මෙහිදී සිදු කිරීමට අපේක්ෂිත ය. විශේෂයෙන්ම, විවිධ සන්නිවේදන ප්‍රවාහයන් හේතුවෙන් භික්ෂූන් වහන්සේලා අනවශ්‍ය අපහසුතාවන්ට හා ව්‍යාකූලත්වයන්ට පත්වීම වැළැක්වීමත්, උන්වහන්සේලාගේ ශාසනික ගෞරවය හා සුරක්ෂිතතාව තහවුරු කිරීමත් මෙම සාකච්ඡාවේ මූලික අවධානයට ලක්වන විස්තරාත්මක කරුණු අතර වේ.

මැදගම ධම්මානන්ද නාහිමි
මැදගම ධම්මානන්ද නාහිමි

බෞද්ධ ග්‍රන්ථවලට අනුව භික්ෂුව ද රාජ නීතියට යටත් විය යුතු බව විනයානුකූලව තහවුරු වූවකි. බෞද්ධ විනය පිටකයේ මහා වග්ග පාලියේ මහා ඛන්ධකයේ එන “අනුජානාමි භික්ඛවේ රාජූනං අනුවත්තිතුං” (මහණෙනි, රාජ්‍ය නීතියට අනුව හැසිරීමට මම අනුඥාව දෙමී) යන බුදු වදනින් එය සනාථ වේ. නමුත් ඇතැම් විට ගිහි සමාජයට පවා අවලෝකන නොවන, ඊටත් වඩා සියුම් විනය නීති ප්‍රඥප්තියකින් ද භික්ෂුව නිරන්තරයෙන් බැඳී සිටියි.

මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් වීමට නියමිත බරපතළම කරුණක් වන්නේ, චෝදනා එල්ල වන භික්ෂූන් සම්බන්ධයෙන් මාධ්‍ය විසින් පවත්වනු ලබන “පූර්ව නිගමන සහිත නඩු විභාගයන්” (Media Trials) ය. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක නීතියේ ආධිපත්‍යය සැමට එක සේ බලපාන අතර, වරදක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ ඕනෑම අයෙකු, ඔහු පැවිදි වුවද ගිහි වුවද, රටේ පවත්නා අධිකරණ පද්ධතිය ඉදිරියේ නීත්‍යානුකූල පියවරයන්ට යටත් විය යුතුය යන්න විවාදයකින් තොරව පිළිගත යුතුය. එහෙත්, ස්වාධීන අධිකරණ ක්‍රියාවලියක් ආරම්භ වීමට හෝ පරීක්ෂණ අවසන් වීමට පෙර, චෝදනා එල්ල වූ සැණින් ඇතැම් මාධ්‍ය ආයතන විසින් අදාළ තැනැත්තා “වැරදිකරු” ලෙස හංවඩු ගැසීම බරපතළ සමාජයීය සහ නීතිමය ගැටලුවක් මතු කරයි.

ඕනෑම සැකකරුවෙකු අධිකරණයකින් වරදකරු කරනු ලබන තෙක් ඔහු “නිර්දෝෂී පුද්ගලයෙකු” ලෙස සැලකිය යුතුය යන මූලික ස්වාභාවික යුක්ති ධර්මය සහ නීතිමය සංකල්පය මෙලෙස පූර්ව නිගමන මඟින් අමුඅමුවේ උල්ලංඝනය වේ. මේ වන විට මෙම තත්ත්වය භික්ෂූන් කෙරෙහි ද දැඩිව බලපැවැත්වෙනු පෙනෙයි. මෙයින් සිදුවන දරුණුතම ප්‍රතිඵලය වන්නේ, යම් හෙයකින් දීර්ඝ නඩු විභාගයකින් පසු චෝදනා ලැබූ භික්ෂුව අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කරනු ලැබුවද, මාධ්‍ය විසින් එතෙක් ඇති කරන ලද සමාජමය කැළල, අපකීර්තිය සහ චරිත ඝාතනය කිසිසේත්ම නැවත නිවැරදි කිරීමට නොහැකි වීමයි. එය පුද්ගල නාමයට පමණක් නොව, උන්වහන්සේ නියෝජනය කරන සමස්ත ආයතනික ව්‍යූහයටම බලවත් හානියක් සිදු කරයි.

වඩාත්ම කනගාටුදායක තත්ත්වය වන්නේ, එක් භික්ෂුවකගේ පෞද්ගලික විනය ගැටලුවක් හෝ චෝදනාවක් සමස්ත මහා සංඝරත්නයටම එරෙහි සාමාන්‍යකරණය කළ චෝදනාවක් ලෙස වාර්තා කිරීමට මාධ්‍ය පෙළඹීමයි. මේ හේතුවෙන් භික්ෂු සහ දායක සමාජය අතර පවතින සාම්ප්‍රදායික මහජන විශ්වාසය සහ ගෞරවය බිඳ වැටීමේ අවදානමක් නිර්මාණය වී ඇත. ඒ අනුව මෙය අප රටේ පවතින බෞද්ධ සංස්කෘතික පදනම සුනු විසුණු කිරීම කෙරෙහි යුහුසුළු වන දෙස් විදෙස් බලවේගවල ක්‍රියාකාරීත්වයක් වීමට ද හැකිය. වත්මන් බුදු සමය කෙරෙහි එවන් බාහිර තර්ජන එල්ල වූ අවස්ථාවන් සිය දහස් ගණනක් ඈත මෑත ඉතිහාසගත ප්‍රවෘත්තිවලින් උකහා ගත හැක.

වඩාත්ම කනගාටුදායක තත්ත්වය වන්නේ, එක් භික්ෂුවකගේ පෞද්ගලික විනය ගැටලුවක් හෝ චෝදනාවක් සමස්ත මහා සංඝරත්නයටම එරෙහි සාමාන්‍යකරණය කළ චෝදනාවක් ලෙස වාර්තා කිරීමට මාධ්‍ය පෙළඹීමයි. මේ හේතුවෙන් භික්ෂු සහ දායක සමාජය අතර පවතින සාම්ප්‍රදායික මහජන විශ්වාසය සහ ගෞරවය බිඳ වැටීමේ අවදානමක් නිර්මාණය වී ඇත. ඒ අනුව මෙය අප රටේ පවතින බෞද්ධ සංස්කෘතික පදනම සුනු විසුණු කිරීම කෙරෙහි යුහුසුළු වන දෙස් විදෙස් බලවේගවල ක්‍රියාකාරීත්වයක් වීමට ද හැකිය. වත්මන් බුදු සමය කෙරෙහි එවන් බාහිර තර්ජන එල්ල වූ අවස්ථාවන් සිය දහස් ගණනක් ඈත මෑත ඉතිහාසගත ප්‍රවෘත්තිවලින් උකහා ගත හැක.

ආගමක් සම්බන්ධ විවිධ නිකායන් බිහිවීම ඉතා සුලබ සාමාන්‍ය කරුණකි. එහෙත් වත්මන් ශ්‍රී ලාංකික සංඝ සමාජය නිකාය වශයෙන් වෙන්ව පෙනී සිටින නමුදු, එකම ධර්ම විනය සම්ප්‍රදායක් සුරැකීම මත ඒවා හුදු අප භික්ෂු සමාජයේ ගුරු-කුල පදනම් වූ සංඝ පරම්පරා බව පෙනේ. ඒ අනුව අතීත සංඝ සමාජයේ යති වරුන් තම ගුරු කුලයන් ගැන සිතා තම ශික්ෂාකාමීත්වය හෙවත් විනය සුරැකීම කෙරෙහි වඩාත් සංවිභාගශීලී වූ බව ද පෙනේ. අප එසේ පවසනුයේ අප අතීත සමාජය එක් එක් භික්ෂු පරම්පරා කෙරෙහි විවිධ ප්‍රතිරූප ගොඩනංවා ගෙන තිබූ බවට සාක්ෂි ඉදිරිපත්ව තිබීමෙනි.

ඒ අනුව මෙම වත්මන් අර්බුදකාරී වාතාවරණය පාලනය කිරීම සහ ඊට ප්‍රායෝගික විසඳුම් සෙවීම සඳහා ත්‍රෛනිකායික මහා සංඝ සභාවේ මෙම විශේෂ සාකච්ඡාවේදී ඉදිරි ක්‍රියාමාර්ග කිහිපයක් කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා වැදගත් ය. වගකීම් සහගත සහ සදාචාරාත්මක වාර්තාකරණයක් උදෙසා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ සාකච්ඡා කර පොදු “මාධ්‍ය ප්‍රතිපත්ති මාලාවක්” (Code of Conduct) සකස් කර ගැනීම ඉන් පළමුවැන්නයි.

වර්තමානයේ කිනම් හෝ චෝදනාවකට ලක් වන භික්ෂූන් හැඳින්වීම කෙරෙහි මාධ්‍ය මඟින් යොදන ජනකාන්ත වදනක් තිබේ. එනම් ‘චීවර ධාරියා’ යන්න ය. නමුදු බුදු පාමොක් මහ සඟ රුවන ඇතුළු සමස්ත මහා සංඝ රත්නයම චීවර ධාරීන් වීම මත ඉන් යම් භික්ෂුවකගේ දුසිල්වත් බවක් හුවා නොදැක්වේ. නමුත් ඒ වෙනුවට එම භික්ෂූන් භික්ෂු නමින්ම හැඳින්වීමේ දොසක් නැත. ඒ කල්‍යාණ භික්ෂු (උතුම් භික්ෂුව), ලජ්ජී භික්ෂු (යම් වරදක් සිදු වූ වහාම එය නිවැරදි කර ගන්න භික්ෂුව), අලජ්ජී භික්ෂු (දැන දැනම විනය නීති කඩමින් කටයුතු කරන භික්ෂුව) වශයෙනි.

එමෙන්ම එවන් කවර හෝ භික්ෂුවක සම්බන්ධයෙන් වුව නීතිමය හා සමාජමය චෝදනා එල්ලවීමත් සමඟම ඊට අයත් නොමැති වෙනත් පදනම් විරහිත අභූත චෝදනා පවා එල්ල කොට එම භික්ෂුවගේ චරිතය අමු අමුවේ ඝාතනය කිරීමේ සංවිධානාත්මක පසුබිමක් මේ වන විට නිර්මාණය වී තිබේ. ඒ බොහෝ විට යටි අරමුණු ද සහිතව බව නොරහසකි. එනිසා මින් ඉදිරියට ද්වේෂසහගත ලෙස සිදු කෙරෙන අසත්‍ය, අපහාසාත්මක සහ පූර්ව නිගමන සහිත මාධ්‍ය වාර්තාකරණයන්ට එරෙහිව දැඩි ලෙස නීතිමය පියවර ගැනීමේ හැකියාවන් පිළිබඳව ද මෙහිදී නීති විශාරදයන්ගේ උපදෙස් මත සොයා බැලිය යුතු ය.

ඒ අතරේ එවන් බාහිර බලපෑම්වලට මුහුණ දෙන අතරතුරම, ශාසනයේ අභ්‍යන්තර පවිත්‍රතාව උදෙසා ශාසනික වශයෙන් විනය ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීම ද අත්‍යවශ්‍ය කරුණක් ලෙස හඳුනාගෙන තිබේ. ඒ අනුව, සැබෑ ලෙසම විනය විරෝධී හෝ ශාසන විරෝධී ක්‍රියාවල නිරත වන භික්ෂූන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන අභ්‍යන්තර විනය පටිපාටි වඩාත් විනිවිදභාවයකින් යුතුව සහ කාර්යක්ෂමව ක්‍රියාවට නැංවීමට නා හිමිවරුන්ගේ අවධානය යොමු වීම ඉතා වැදගත් ය.

ඒ අතර මහා සංඝරත්නය යන වදන ද කිසිවකුගේ විරෝධයකින් තොරව මාධ්‍ය මඟින් අවභාවිතා වනු දකින්නට පුළුවන. දන් පිළිගැනීමට සුදුසු පුන්‍ය ක්ෂේත්‍රයන් වන “අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්ස” භික්ෂූන් මහා සංඝරත්නය ලෙස හැඳින්විය හැක්කේ හුදු ශාසනික කටයුතු සම්බන්ධයෙන් පමණි. නමුත් අද වන විට දේශපාලන පෙළපාලි සඳහා එක් වන භික්ෂු පිරිස් පවා මහා සංඝරත්නය ලෙස ප්‍රසිද්ධ මාධ්‍යවලින් ද හුවා දක්වනු අප අසා දැක තිබේ. ඒ අනුව පොදු ජන සමාජය හමුවේ මහා සංඝරත්නය යන්නට නිවැරදි අර්ථ කථනයක් ලබා දීම ද ඉතා වැදගත් ය. එමඟින් ශාසනයේ ගෞරවය රකින්නට මහා සංඝරත්නයෙන් සැදුම් ලත් මහා සංඝ සභාව ප්‍රමුඛත්වය දෙන බවට පැහැදිලි පණිවිඩයක් සමාජයට සන්නිවේදනය වනු ඇත.

මීට අමතරව, හදිසි ශාසනික සමාජ අර්බුද අවස්ථාවලදී මහා සංඝ සභාවේ නිල ස්ථාවරය සහ සත්‍ය තොරතුරු ක්ෂණිකව මාධ්‍ය වෙත මුදාහැරීම සඳහා නිල මාධ්‍ය ප්‍රකාශකයෙකු හෝ විශේෂිත සන්නිවේදන ඒකකයක් ස්ථාපිත කිරීමේ වැදගත්කම ද අවධාරණය කරමු. අවසාන වශයෙන්, භික්ෂුවකගේ සැබෑ භූමිකාව, ශාසනික විනය නීති පද්ධතිය සහ නීතිමය වශයෙන් “චෝදනාවක් ලැබීම” සහ “වරදකරුවෙකු වීම” අතර පවතින පැහැදිලි වෙනස පිළිබඳව ගිහි සමාජය නිවැරදිව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ද මීට සමාන්තරව දියත් කිරීම ඉතා වැදගත් ය.

ඒ අනුව, නුදුරේදීම ඇරඹෙන මෙම සාකච්ඡාව, වර්තමාන මාධ්‍ය අභියෝගයන් හමුවේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සහ උන්නතිය උදෙසා ඓතිහාසික මෙන්ම තීරණාත්මක තීන්දු තීරණ රැසක් ගන්නා සන්ධිස්ථානයක් වනු ඇතැයි යන්න අපගේ වැටහීම ය.

ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය

 

එතෙර - මෙතෙර