මිනිසුන්ට මාරක විපත් ගෙන දෙන මොනවද මේ තාප තරංග?

ශ්‍රී ලංකාව තුළ මේ දිනවල පවතින්නේ අධික උෂ්ණත්ව තත්ත්වයකි. මේ නිසාම පාසල් මට්ටමින් පැවැත්වෙන ක්‍රීඩා උත්සවවල පුහුණුවීම් පවා නතර කරන මෙන් අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් පවා නිකුත් කරනු ලැබිණි. මේ අධික උණුසුම් කාලගුණ තත්ත්වය සමග ‘තාප තරංග’ (Heatwave) සහ ‘තාප ආඝාත’ (Heatstroke) පිළිබඳ සමාජය තුළ කතා බහක් ගොඩ නැගෙමින් පවතී. අප අවට රටවල් වන ඉන්දියාව, මැලේසියාව, සිංගප්පූරුව ආදී රටවල් මේ වන විටත් තාප තරංග තත්ත්වයට ගොදුරු වෙමින් පවතී. කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පසුගිය පෙබරවාරි අවසානයේ දී පමණ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ ශ්‍රී ලංකාව තුළ තාප තරංග තත්ත්වයක් ඇති වන්නට ඉඩක් නොමැති බවය. කෙසේ වෙතත් අප මේ පිළිබඳ දැනුම්වත් වී සිටීම වඩාත් සුදුසුය.

තාප තරංගය යනු අසාමාන්‍ය අධික උණුසුමක් පවතින සමයක් ලෙස නිර්වචනය කොට තිබේ. ඉහළ ආද්‍රතාවයක් පවතින සෑම අවස්ථාවකදීම තාප තරංග තත්ත්වයක් ඇති විය හැකිය. මුහුද ආශ්‍රිත රටවල් මෙයට දැඩිව මුහුණ දෙයි. ඉන්දියාව, මැලේසියාව, සිංගප්පූරුව වැනි රටවල් දැනටමත් මෙයට මුහුණ දී සිටින්නේත්, ශ්‍රී ලංකාවට මේ සම්බන්ධ අවදානමක් පවතින්නේත් මේ නිසාය. මැදපෙරදිග කලාපය ඔස්සේ ඇදී එන උණුසුම් වායු ධාරාවන් වෙනත් රටවල් තුළට ඇතුළු වීම නිසා තාප තරංග තත්ත්වයක් ඇති වේ. කෙසේ වෙතත් තාප තරංග තත්ත්වය සාපේක්ෂ යැයි ද පවසනු ලැබේ. උදාහරණයක් ලෙස අප්‍රිකානු මහද්වීපය ගතහොත් එහි රටවල් බහුතරයක් වසරේ වැඩි කාලයක් අධික උණුසුම් කාලගුණයක් යටතේ පවතී. සාමාන්‍යයෙන් සෞම්‍ය දේශගුණයක් ඇති රටක් තුළ අප්‍රිකාවේ එම සාමාන්‍ය උෂ්ණත්ව තත්ත්වය හදිසියේ ඇති වුවහොත්, එය එම රට තුළ නිර්වචනය කෙරෙන්නේ තාප තරංගයක් ලෙසිනි. මන්ද එරට තුළ සාමාන්‍යයෙන් එවැනි උෂ්ණත්ව මට්ටමක් නොපවතින බැවිනි. නමුත් වසරේ වැඩි කාලයක් එම උෂ්ණත්වය යටතේ පවතින අප්‍රිකානු රටවල් තුළ එය තාප තරංගයක් ලෙස නිර්වචනය කෙරෙන්නේ නැත.

කෙමෙන් කෙමෙන් උෂ්ණත්වය වැඩි වුව ද බොහෝ විට එය අධික උණුසුම් කාලගුණ තත්ත්වයකැයි සිතනවා මිසක එයින් ඔබ්බට ඇති විය හැකි අවදානමක් පිළිබඳ කල්පනා කරන්නේ නැත. නමුත් හදිසියේ සෙල්සියස් අංශක 40 ක පමණ උෂ්ණත්වයකින් යුක්ත තාප තරංගයක් පැමිණියහොත් එයට ගොදුරුවන බොහෝ දෙනෙකු ජීවිත අවදානම්වලට ලක් විය හැකිය. විශේෂයෙන් එළිමහනේ වැඩකටයුතු කරන පුද්ගලයන් මෙහි දැඩි අවදානමට ලක්විය හැකිය.

අධික වර්ෂාව නිසා ගංවතුරක් ඇතිවෙමින් පවතී නම් එය අපට පෙනෙන අතර එයින් ගැලවීමට හදිසි ක්‍රියාමාර්ග ගැනීමට අපට සැලකිය යුතු අවස්ථාවක් බොහෝ විට තිබේ. නමුත් තාප තරංගවලින් ගැලවීමට අපට එවැනි අවස්ථාවක් නොලැබෙන අතර එයට හේතුව එය භෞතික සාධක ඔස්සේ අපට දකින්නට නොලැබෙන බැවිනි. කෙමෙන් කෙමෙන් උෂ්ණත්වය වැඩි වුව ද බොහෝ විට එය අධික උණුසුම් කාලගුණ තත්ත්වයකැයි සිතනවා මිසක එයින් ඔබ්බට ඇති විය හැකි අවදානමක් පිළිබඳ කල්පනා කරන්නේ නැත. නමුත් හදිසියේ සෙල්සියස් අංශක 40 ක පමණ උෂ්ණත්වයකින් යුක්ත තාප තරංගයක් පැමිණියහොත් එයට ගොදුරුවන බොහෝ දෙනෙකු ජීවිත අවදානම්වලට ලක් විය හැකිය. විශේෂයෙන් එළිමහනේ වැඩකටයුතු කරන පුද්ගලයන් මෙහි දැඩි අවදානමට ලක්විය හැකිය. එපමණක් නොව රටක ආර්ථිකය කෙරෙහි ද මෙහි දැඩි බලපෑමක් එල්ල වෙයි. ලෝකයේ බොහෝ රටවල ඇති වූ මෙවැනි තාප තරංග තත්ත්වයන් නිසා කෘෂිකර්මය කඩා වැටීම පමණක් නොව දහස් ගණන මරණයට පත් වූ අවස්ථාවන් ද වාර්තා වී තිබේ. එමෙන්ම ලැව් ගිනි ඇතිවීම කෙරෙහි ද මෙහි දැඩි බලපෑමක් පවතින අතර යම් හෙයකින් ලැව් ගින්නක් ඇති වුවහොත් එයින් වන විනාශය ද සුළුපටු වන්නේ නැත.

අප රටේ තාප තරංග තත්ත්වයකට මුහුණ නොදුන්න ද යම් කිසි පුද්ගලයෙක් වැඩි වේලාවක් උණුසුම් එළිමහනක යම්කිසි වැඩකටයුත්තක නිරත වුවහොත් තාප ආඝාත තත්ත්වයකට ගොදුරුවන්නට ඉඩ තිබේ. එවැනි තත්ත්වයක් දුටු වහාම කළ යුත්තේ හදිසි ගිලන් රථ සේවය අමතා අදාළ පුද්ගලයා රෝහල් ගත කිරීමට කටයුතු කිරීමය.

තාප තරංග සමග ඇති විය හැකි ඊළඟ අවදානම වන්නේ ‘තාප ආඝාත’ තත්ත්වයයි. සාමාන්‍යයෙන් අප උණුසුම් වටපිටාවක සිටිය දී ශරීරය දහඩිය පිට කිරීම තුළින් සිරුරේ උෂ්ණත්වය පහළ දැමීම සඳහා කටයුතු කරයි. නමුත් එක්තරා උෂ්ණත්ව මට්ටමක දී මෙය සිදු කරන්නට සිරුරට ඇති හැකියාව නොමැති වී යයි. එවිට සිරුරට තවදුරටත් උෂ්ණත්වය පාලනය කර ගත නොහැකිය. මිනිත්තු 10 – 15 ක් පමණ කෙටි කාලයක් තුළ දී සිරුරේ උෂ්ණත්වය ඉහළ නගින අතර ක්ෂණිකව ප්‍රතිකාර ලබා දෙන්නට නොහැකි වුවහොත් අදාළ පුද්ගලයා නිත්‍ය දුබල තත්වයකට හෝ මරණයට පත්වීම පවා හෝ සිදු විය හැකිය.

වැඩිහිටියන්, අධික රුධිර පීඩනය ඇති පුද්ගලයන් සහ එළිමහනේ වැඩකටයුතු කරන පුද්ගලයන් මෙවැනි තත්ත්වයකට ගොදුරු වීමේ වැඩි හැකියාවක් පවතී. ව්‍යාකුල බව, මානසික තත්ත්වය වෙනස් වීම, කතාබහ ගොත ගැහෙන සුළු බව, සිහිසුන් බව, උණුසුම්, වියළි සම, දහඩිය දැමීමක් නොමැති වීම, අධික ශාරීරික උෂ්ණත්වය වැනි රෝග ලක්ෂණ තාප ආඝාත තත්ත්වයක දී ඇති විය හැකිය. ඇතැම් විට අප රටේ තාප තරංග තත්ත්වයකට මුහුණ නොදුන්න ද යම් කිසි පුද්ගලයෙක් වැඩි වේලාවක් උණුසුම් එළිමහනක යම්කිසි වැඩකටයුත්තක නිරත වුවහොත් තාප ආඝාත තත්ත්වයකට ගොදුරුවන්නට ඉඩ තිබේ. එවැනි තත්ත්වයක් දුටු වහාම කළ යුත්තේ හදිසි ගිලන් රථ සේවය අමතා අදාළ පුද්ගලයා රෝහල් ගත කිරීමට කටයුතු කිරීමය. ඒ අතර තුර අදාළ පුද්ගලයාව සිසිල් ස්ථානයට රැගෙන යාම, අනවශ්‍ය ඇඳුම් ඉවත් කිරීම, ජලය පානය කරන්නට ඉඩ සලසා දීම, හිස, ගෙල, මුහුණ ආදී ප්‍රදේශ සිසිල් ජලයෙන් සේදීම වැනි දේ සිදු කළ හැකිය.

බොහෝ විට ඊළඟ මෝසම් වර්ෂා සමය උදාවන තුරු මේ තත්ත්වය පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම මේ මේ දිනවල සිසිල් වායු තරංග රට තුළට ඇදීම ඒම ද සිදු නොවීම ද අප රට තුළ මේ උණුසුම් තත්ත්වය තීව්‍ර කරන්නට හේතු වී තිබෙන බවත් එම දෙපාර්තමේන්තුව පවසයි. මේ තත්ත්වය යටතේ අප මේ පිළිබඳ මනා අවධානයෙන් සහ දැනුම්වත්ම සිටීම ඉතා සුදුසුය. සිදුවිය හැකි අවදානම් තත්ත්වන්ගෙන් ගැලවී සිටින්නට හැකියාව ලැබෙන්නේ එවිටය.

(වෛද්‍ය විද්‍යාත්මක කරුණු උපුටා ගැනීම – https://www.mayoclinic.org/ වෙබ් අඩවියෙනි)

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර