මොකක්ද මේ කතුන්ගේ ගර්භාෂය පහත් වීම ?

කහින විට සේම කිවිසුම් යනවිට ද තමන්ට ඉබේම  මුත්‍රා ස්වල්පයක් පිට වෙන බව පවසමින් එක්තරා කාන්තාවක් සායනයට පැමිණියා. මෙය කාන්තාවන් අතර සුලබ ව දැකිය හැකි රෝග  තත්ත්වයක්. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ට නිතරම පාහේ මෙවැනි රෝගීන් හමු වෙනවා. මෙයට බලපාන ප්‍රබල ම හේතුවක් තමයි ගර්භාෂය පහත් වීම. විශේෂයෙන් 90% කටත් වඩා මේ තත්වය ඇති වන්නේ  ආර්තවහරණයෙන් පසු වැඩිහිටි කාන්තාවන් තුළයි.
ආර්තවහරණය හෙවත්  ඔසප් චක්‍රය නතර වීමෙන් පසු කාන්තාවන් තුළ ඊස්ට්‍රජන් හෝර්මෝනය ඉතාමත් අඩු  තත්වයකට පත්වෙනවා. මේ හේතුව මත මාංශ පේෂීන් වල ක්ෂීණ වීමක් සිදුවෙනවා. ආර්තවහරණයෙන් පසු මෙලෙස හෝර්මෝනවල වෙනස්කම් සිදුවීම ,විශේෂයෙන් ඊස්ට්‍රජන් හෝර්මෝන ඉතා අඩු මට්ටමකට යෑම , කාන්තාව වයසට යන විට මාංශ  පේශි දුර්වල වීම යන හේතු තමයි බොහෝ විටම ගර්භාෂය පහත් වීම සඳහා  බලපාන්නෙ.
*  ගර්භාෂය පහත් වීමේ අවදානම වැඩිපුර තිබෙන්නේ කාටද?
ස්වාභාවික  අන්දමට දරු ප්‍රසූතිය සිදු කළ මව්වරුන්ට ගර්භාෂය පහත්වීමේ පහත් වීමේ අවදානම වැඩියි.
දරුවන් කිහිප දෙනෙක් බිහි කළ මව්වරුන්ටත් මේ සම්බන්ධයෙන් අවදානමක් පවතිනවා.
නමුත් මේ තත්ත්වයන් දෙකට අදාළ  සෑම කාන්තාවකටම ගර්භාෂය පහත්වීමේ  තත්ත්වය ඇති වේවි යැයි ඔබ වරදවා වටහා ගත යුතු නෑ.
දරු ප්‍රසූතිය සිදු වීමේදී විවිධ සංකූලතා වලට මුහුණ  දෙන්නට සිදුවූ  මව්වරුන් හටත් පසුකාලීනව ගර්භාෂය පහත් වීමේ අවදානමක්  ඇති වන්න පුළුවන්.
නිදසුන් ලෙස බර වැඩි දරුවන් බිහිවීම, වැකූම් ප්‍රසවය වැනි දේවල් හඳුන්වා දෙන්න පුළුවන් .
එසේම ඇදුම වැනි සෙම් රෝග නිසි ලෙස පාලනය නොකිරීම නිසා දිගුකාලීන  කැස්ස පවතින කාන්තාවන් හටත්  ගර්භාෂය පහත් වීමේ අවදානමක් තිබෙනවා .එයට හේතුව එක දිගට දිගු කලක්  කහින විට උදරය තුළ පීඩනය වැඩි වී උදරයේ මාංශපේෂි දුර්වල ස්ථාන වලින් උදරය තුළ තිබෙන දේවල්  පිටතට පැමිණීමට හැකි වීමයි. යෝනි මාර්ගයෙන් කුඩා ගෙඩියක් ආකාරයට පිටත  එන්නේ ඒ විදිහටයි.
උපතින්ම ශ්‍රේණිය අවට මාංශපේශි දුර්වල වූ අයගේත් ගර්භාෂය පහත් වීම සිදුවෙනවා. නමුත් මෙය ඉතාමත් කලාතුරකින් සිදුවන තත්ත්වයක්.
ඒ තමයි ගර්භාෂය පහත් වීමට හේතු වන කාරණා.
ගර්භාෂය ඉදිරියෙන් පිහිටා තිබෙන්නේ මුත්‍රාශය යි. ගර්භාෂයට පිටුපසින් අධෝ මාර්ගය පිහිටා තිබෙනවා. ගර්භාෂය පහත් වන විට ඒ සමඟම අධෝ මාර්ගයේ කොටසක් ද යෝනි මාර්ගය තුළට නෙරා එන්නට පුළුවන්. එය හරියට බැලුමක් වගේ. මෙය පරීක්ෂා කරන වෛද්‍යවරයෙකුට පහසුවෙන් මේ තත්වය හඳුනා ගත හැකියි .
*  ගර්භාෂය  පහත් වීම නිසා රෝගියාට ඇතිවන ගැටලු
මෙහි මුලින් සඳහන් කළා වගේ කිවිසුම් යනවිට, කහින විට මුත්‍රා ස්වල්පයක් පිටවීම  මුල් කාලයේ දී දැකිය හැකි ලක්ෂණයක්.
කිවිසුම් යනවිට කහින විට මෙන්ම බොහෝ වේලාවක් සිටගෙන සිටින විටත්  තටමන විටත් යෝනි මාර්ගය හරහා  ගෙඩියක් මෙන් පිටතට එනු දැනීම, ලිංගිකව එකතු වීම අපහසු වීම,
පිට කොන්දේ  සහ තුනටියේ කැක්කුම, යෝනි මාර්ගය තුළින් කුඩා කොටසක් පිටතට පැමිණ තිබීම  නිසා මුත්‍රා සහ මලපහ කිරීම අපහසු වීම ආදිය මේ තත්ත්වය තිබෙන රෝගියෙකුට  පසුකාලීනව ඇතිවන ලක්ෂණ ලෙස දක්වන්න පුළුවන්.
* මෙම රෝගයට ප්‍රතිකාර
මෙය සුළු පහත් වීමක් ද නැතහොත් යෝනි මාර්ගය හරහා කොටසක් පිටතට පැමිණ තිබෙන්නේද යන්න සොයා බලා ඒ අනුව ප්‍රතිකාර නියම කළ යුතුයි. මෙයින් තිබෙන අපහසුතා, සැත්කමක් කිරීමට සුදුසු වයසක රෝගියා⁣ පසු වන්නේද යන කරුණු පිළිබඳව වෛද්‍යවරයා විසින් සොයා බලනවා.
රෝග තත්ත්වය පවතින්නේ මුල්ම අවදියේ නම් ඊට අදාල ව්‍යායාම ( Pelvic floor exercise ) සිදු කළ යුතුයි. මෙමගින් ගර්භාෂය අවට මාංශපේශි සවිමත් වෙනවා. නමුත් මෙය මුල්ම කාලයේදී මිස  රෝගී තත්ත්වය වර්ධනය වී යෝනි මාර්ගයෙන් ගෙඩියක් මෙන් පිටතට පැමිණි පසු කිරීමෙන් ප්‍රතිඵලයක් ලබා අපහසුයි.
දෙවන ක්‍රමය ගර්භාෂය ඉස්සී සිටින පරිදි යෝනි මාර්ගය හරහා  වළල්ලක් ( Ring pessary ) දැමීමයි.
සැත්කමක් කිරීමට නොහැකි වියපත් අයට මෙන්ම සැත්කමක් කිරීමට අකමැති අයටත් මේ ක්‍රමය භාවිතා කරනවා. නමුත් මෙය  සීයට සීයක් සාර්ථක ක්‍රමයක් නොවෙයි.
අවසන් ප්‍රතිකර්මය සැත්කමක් මගින් ගර්භාෂය ඉවත් කිරීමයි.
කෙසේ වුවද මෙය ප්‍රසව හා නාරිවේද විශේෂඥ  වෛද්‍යවරයෙකු වෙතින් සුව  කළ හැකි රෝග තත්ත්වයක්.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ
වෛද්‍ය සුරංග හෙට්ටිපතිරණ
සටහන:ඉන්දු පෙරේරා

විනිවිද සායනය