රාහු කාලය පිළිගන්නා නොගන්නා සැම දෙන දත යුතු කරුණු ටිකක් – හේම ශ්‍රී අමරසිංහ

vinivida

රාහු කාලය යනු වර්තමාන සමාජයේ ඇතැමකුට බිය ගෙන දෙන්නකි.නමුත් අද සමාජයට සාපේක්ෂව අතීත සමාජය රාහු කාලය කෙරෙහි එතරම් හැඟීමක් තැකීමක් කළ බවක් නොපෙනේ.ඊට හේතුව කෘෂිකර්මය මත පදනම් වූ සරල කෘෂිකාර්මික දිවි පෙවෙතකට නැඹුරු වී සිටි අතීත ගැමියා අද මෙන් ඔර්ලෝසු පැය ක්‍රමය මත පදනම් ව ජීවිතය ගත නොකළ බැවිනි.නමුත් තමන් ගේ එදිනෙදා ජීවන රටාව තුළ එලෙස රාහු කාලය නොතැකීම මත ඔවුන් ගේ ජීවන රටාව අඩාල වූ බවක් ද පෙනෙන්නට නැත. ජන සම්මතය අනුව රාහු කාලය යනුවෙන් සඳහන් වනුයේ දිවා රාත්‍රී දෙකටම පොදු ඉංග්‍රීසි පැය එක හමාරක් පමණ වන කාලයකි. සිංහල පැය ක්‍රමය අනුව දිවා රාත්‍රී දෙකටම පොදු රාහු කාලය පැය තුනක් පමණ වෙයි. මෙම රාහු කාලය තුළ කිසිදු සුබ කටයුත්තක නොයෙදිය යුතු බවට පැරණි ජ්‍යොතිර්වේදී මතයක් පවතින බව අප සමාජය තුළ පැතිර පවත්නා පොදු විශ්වාසයකි. එනිසාම මෙම කාලය විශේෂයෙන් සිහි තබාගෙන තම එදිනෙදා වැඩකටයුතු හිතාමතාම පසු කරන විශාල පිරිසක් පිළිබඳ මම පෞද්ගලික
දනිමි. ඒ අතර තමන් වෙතින් තමන් උදෙසා සේම තම පවුල, ප්‍රජාව සහ සමාජය වෙත ඉටු විය යුතු වගකීම් සම්භාරයක් හිතාමතාම පැහැර හරින්නෝ ද වෙති.
ජ්‍යොතිෂයට අනුව රාහු ග්‍රහ තාරකාවක් නොවේ. ඡායා ග්‍රහයෙකි.එමෙන්ම සිය ජ්‍යොතිර්වේදීන් අතර පවත්නා පොදු මතයක් වනුයේ රාහු පාපී ග්‍රහයකු බව ය. එමෙන්ම රාහු තුළ ශනි ග්‍රහයාගේ ගති ලක්ෂණ ඇති බව ය.

අප සමාජයේ ජීවත් වන මිනිසුන් සම්බන්ධයෙන් ද හොඳ නරක භේදයක් තිබේ. ‘ඒ මනුස්සයා හරිම හොඳයි. ඒ මිනිහා මහ නරක එපා කරපු මිනිහෙක්’ ආදි වශයෙන් ඔව්හු හැඳින්වීමට ලක් වෙති. එහෙත් එලෙස මිනිස් ගති ගුණ හොඳ නරක වශයෙන් ලේබල් අලවා වෙන් කොට දැක්විය හැකිද?ඕනෑම යහපත් පුද්ගලයකු තුළ කිනම් හෝ අයහපතකුත් ඕනෑම අයහපත් පුද්ගලයකු තුළ කිනම් හෝ අයහපතකුත් ඕනෑම අයහපත් පුද්ගලයකු තුළ කිනම් හෝ යහපතකුත් දැකිය නොහැකිද? ජ්‍යොතිෂයේ දැක්වෙන නව ග්‍රහයන් සම්බන්ධයෙන් ද එම නියාමය සියයට සියයක්ම නිවැරදි ය. රාහු, සෙනසුරු වැනි ග්‍රහයන් ‘පාපී’ වශයෙන් හඳුන්වා ඇත්තේ එම ග්‍රහයන්ගේ මතු පිට ලක්ෂණ අනුව පමණි. එම ග්‍රහයන් කෙරෙන් පුද්ගලයන් හට එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් ගැඹුරු හැදෑරීම් කරන විට මෙම ‘පාපී’ යන හැඳින්වීම කෙතරම් සාවද්‍ය දැයි ප්‍රවීණ ජ්‍යොතිර්වේදියකු හට හැඟී යනු නියතය.

ගමන් බිමන් වලට බාධා පැමිණවීම, හදිසි අනතුරු, අධ්‍යාපනයට බාධා ,මානසික අසහනය, අකීකරුකම්, හිතුවක්කාරකම්, නන්නත්තාරේ යාම් වැනි ගත් ලක්ෂණ රාහුගේ බලපෑමෙන් සිදුවන බව පොදු ජ්‍යොතිර්වේදී මතයකි. නමුත් රාහුගේ බලපෑමෙන් දේපළ, ධන සම්පත්, විදේශ ගමන් සේම විවිධ සමාජ වරප්‍රසාද හිමි කර ගන්නෝ ද අප අතර හිඳිති.
යමකුගේ ජන්ම පත්‍රයක් පරීක්ෂා කරන දැනුම, පළපුරුද්ද, අත්දැකීම් හිමි ජ්‍යොතිර්වේදියකුට එම ජන්ම පත්‍රය හිමි පුද්ගලයාගේ කල දවස සහ ජන්ම පත්‍රය මගින් එල්ල වන රාහුගේ බලපෑම මුල්කොට සිදු කෙරෙන විමර්ශනයන්හි දී එම කරුණු සනාථ කරගැනීමේ අපහසුවක් පැන නොනගී.
එනිසාම අපට ජ්‍යොතිර්වේදය ඉගැන්වූ ආචාර්යවරුන් ඇතැම් ග්‍රහයන් පාපී ග්‍රහයන් සේ නම් කිරීමේ අයෝග්‍යතාව ද වරින් වර පෙන්වා දී තිබේ.ලග්න පලාපල සහ රාහු කාලය ජ්‍යොතිර්වේදයේ නිජබිම වන ඉන්දියාවේ ද සැලකිල්ලට ගැනෙයි. රාහු කාල් සහ රාහු කාලම් යනුවෙන් හැඳින්වෙන රාහු කාලය ඉන්දියාවේ සැලකෙනුයේ හුදු සිද්ධාන්තමය නොවන ජනප්‍රිය සම්ප්‍රදායේ ජ්‍යොතිර්වේදයට අයත් වූවක් වශයෙනි. එනිසාම ඒවා සම්බන්ධයෙන් යම් විමසීමක් කරන බොහෝ ඉන්දියානුවෝ අප මෙන් ලග්න පලාපල සහ රාහු කාලය තම හිස මත තබා නොගනිති.

ජ්‍යොතිෂයේ බලපෑම හුදු පුද්ගල කේන්ද්‍රගත ය. එය පවුල්, ප්‍රජා සමාජමය වශයෙන් බලපානුයේ දෙවනුවය. නිදසුනක් ලෙස ශ්‍රී ලංකාවේ ජන්ම පත්‍රය අනුව පොදුවේ රටට යම් අයහපතක් බලපාන වකවානුව, එය පුද්ගල වශයෙන් එලෙසින්ම දැකිය නොහැක. එනිසාම යමකු තමන්ගේ ජන්ම පත්‍රය පරික්ෂා කිරීමේදී රටේ කේන්දරය සමඟ තබා තම පවුලේ සාමාජිකයකුගේ කේන්දරය සමඟවත් සැසඳීමක් නොකරති. ඊට හේතුව එසේ සැසඳීමෙන් මතු කරගත හැකි පලාපල සහ අනාවැකි ද්විතීය, තෘතීය වශයෙන් සැලකීම ය. ඒ අනුව ලග්න පලාපල මෙරට ජනගහනයෙන් දොළහෙන් එක් අයකුට බලපාන බව පැවසීමට නිකමට හෝ හැකි වුවද රාහු කාලය සම්බන්ධයෙන් එබන්ඳක්වත් පැවසීමට නොහැක. ඒ අනුව මුළු රටටම මුළු ජනතාවටම බලපාන බව පැවසෙන රාහු කාලය ද ඒ ඒ පුද්ගලයාගේ ජන්ම කේන්දරයේ රාහුගේ බලය මත වෙනස් වන අතර ඒ සම්බන්ධයෙන් පැවසිය යුතු විශේෂම කරුණක් ද තිබේ. එනම් ඒ ජ්‍යොතිෂමය තත්ත්වය යටතේ යමෙකුට රාහු කාලය අසුබ වීමට සේම සුබ වීමට ද පැහැදිලි අවකාශයක් ඇති බවකි.

හේම ශ්‍රී අමරසිංහ

ඉරා අදුරුපට