රෑට කොච්චර නිදාගත්තත් සමහරු දවල්ටත් නිදි කිරා වැටෙන්නෙ ඇයි?

රාත්‍රියේ පැය හත අටක නින්දක් ලැබුවත් සමහරුන් දිවා කාලයේ නිතරම  නිදි කිරා වැටෙනවා. ඔවුන් මුළු දවසම ගත කරන්නේ බොහෝ විට ම දැඩි අලස බවින් යුතුව යි.  මේ නිසා රාජකාරී කටයුතු වගේම නිවසේ කටයුතුත් බොහෝ විට අඩාල වී යා හැකියි.

මේ හේතුව මත ඔබ වෛද්‍යවරයෙකු වෙත ගියහොත් ඔබේ තයිරොයිඩ් ග්‍රන්ථියෙහි තයිරොයිඩ් හෝමෝනයේ අඩුවක් ඇතැයි සැක කොට එක්තරා රුධිර පරීක්ෂණයක් කරන්නට ඔබට නියම කරාවි.
දිවා කාලයේ ඇතිවෙන  නිදිමත ගැන කතා කරන විට තයිරොයිඩ් ග්‍රන්ථියේ ආබාධ ගැන කතා කරන්නම වෙනවා.
ඔබේ හැඟීම්, සිතිවිලි, බුද්ධිය  යන මේ සියල්ල මෙහෙයවීම මොළයේ දී සිදු වුණත් ඒ සියල්ල සඳහා ශරීරයේ බෙල්ලෙන් පහළ ඇති සියලු දේ බලපානවා .ඔබේ නිවසේ මුළුතැන්ගෙයි ආහාර පිසීමත් එම ආහාර මේසයට පැමිණීමත් නිරන්තරයෙන් සිදු වෙනවා නොවේද? යම් දිනෙක  මුළුතැන්ගෙයි මෙම කාර්යය සිදු කිරීමට නොහැකි වුවහොත් ඔබට සිදුවන්නේ ආහාර පිටින් ගෙන ඒමටයි.
අපේ ශරීරය මනා ලෙස පවත්වා ගෙන යාමට ශරීරය තුළ නිරන්තරයෙන් හෝමෝන නිපදවෙනවා. එය හරියටම කිවහොත් අපේ නිවසේ මුළුතැන්ගෙය තුළ ආහාර නිපදවෙනවා වැනි දෙයක්. යම් හෙයකින් ශරීරය තුළ හෝමෝන නිපදවීම ප්‍රමාණවත් ලෙස සිදු වුණේ නැත්නම් එම හෝමෝන ඖෂධ වශයෙන් පිටින් හෝ ලබා ගන්නට සිදුවෙනවා. ආහාර නැති වූ විට කුසගිනි ඇති වන පරිද්දෙන් මෙම හෝමෝන නොලැබී ගියහොත් සිරුරේ විවිධ රෝග තත්ත්වයන් මතු වෙනවා. එසේ හෝමෝන නොලැබී යාමට හේතුව ඒවා නිපදවන ස්ථානවල ඇති වන විවිධ දෝෂ තත්ත්වයනුයි.
ශරීරයේ හෝමෝන නිපදවන ස්ථාන හඳුන්වන්නේ ග්‍රන්ථි ලෙසිනුයි. මෙවැනි ග්‍රන්ථයක් සාමාන්‍යයෙන් අඟල් දෙක තුනක පමණ වන මස් වැදැල්ලක් ලෙසයි පිහිටන්නේ. මේ ආකාරයට තයිරොයිඩ් ග්‍රන්ථිය බෙල්ලේ පිහිටා තිබෙනවා.එම ග්‍රන්ථියෙන් නිපදවන්නේ තයිරොක්සින් නම්වූ හෝමෝනයක්.
මේ හැරුණු විට ශරීරයේ තවත් ග්‍රන්ථි පිහිටා තිබෙනවා. වකුගඩුවලට උඩින් ඇඩ්‍රිනලින් හෙවත් අධිවෘක්ක ග්‍රන්ථියත්, බඩවැල්වලට පිටුපසින් අග්න්‍යාශය නම් වූ ග්‍රන්ථියත් පිහිටා තිබෙන අතර, පුරුෂ බීජ නිපදවෙන වෘෂණ මෙන්ම ස්ත්‍රී බීජ නිපදවෙන ඩිම්බ කෝෂ ද තවත් ග්‍රන්ථින් ලෙස දක්වන්න පුළුවන්. මේ සියලුම ග්‍රන්ථි පරිපාලනය කරන්නේ මොළයේ පහළින් පිහිටි තවත් ග්‍රන්ථියක්. පිටියුටරි ග්‍රන්ථිය නමින් හඳුන්වන මෙය තම්බපු කඩල ඇටයක තරමේ ප්‍රමාණයෙන් යුතුයි.
මෙම පිටියුටරි ග්‍රන්ථියේ ප්‍රධාන වූ ඉදිරි කොටසෙන් හෝමෝන හයක් නිකුත් වෙනවා. මේ හයට අමතරව තවත් හෝමෝන හතරක් මෙයින් නිකුත් කරන අතර එම හෝමෝනවලට භාර දී ඇති රාජකාරිය වන්නේ ශරීරයේ ඇති ඉහත කී සියලු  ග්‍රන්ථි පරිපාලනය කරවීමයි. ඒ අනුව එම හෝමෝන, පරිපාලන  හෝමෝන ලෙසින්  හැඳින්විය හැකියි. යම්කිසි ග්‍රන්ථියක් නිසි පරිදි වැඩ නොකරන විට පරිපාලන හෝමෝන වැඩියෙන් නිකුත් වෙනවා. ඒ, එම ක්‍රියා නොකරන ග්‍රන්ථිවලට තල්ලුවක් ලෙසිනුයි. යම් අයුරකින් ග්‍රන්ථියක් වැඩියෙන් ක්‍රියාත්මක වන්නේ නම් පරිපාලන හෝමෝනය පසු බැසීම සිදු වෙනවා.
දැන් අපි අපගේ ප්‍රධාන මාතෘකාවට අදාළ  වන තයිරොයිඩ් ග්‍රන්ථිය පිළිබඳ විමසා බලමු.
මේ ග්‍රන්ථය යම්කිසි අයුරකින් විශාල වූ විට බෙල්ල ඉදිරියට නෙරා එනවා. වායු ගෙඩි වශයෙන් හඳුන්වන්නේ මේ තත්ත්වයයි. සමහර විට මෙය ඒකාකාරීව විශාල වන අතර තවත් විටෙක එක ගැටයක් ලෙසින් හෝ ගැට කීපයක් ලෙස විශාල විය හැකියි. මෙසේ තනි ගැටයක් ලෙස විශාල වීම විශේෂයෙන් අවධානය යොමු කළ යුතු තත්ත්වයක්. හේතුව, එය පිළිකාවක් වීමට වුවද ඉඩ ඇති නිසයි.
     අවුරුදු 12- 20 අතර කාලයේ දරුවන්ට වායු ගෙඩි ඇති වීම සාමාන්‍ය දෙයක්. එය අවුරුදු 20 පමණ වන විට නොපෙනී යනවා.
     තයිරොයිඩ්  ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය බාල  වුණොත් එය රෝගී තත්ත්වයක්. මෙය හඳුන්වන්නේ
මන්දතයිරොයිඩතාවය ( hypothyroidism) ලෙසින්.
මේ රෝගය නිසා රෝගියාට දැනෙන අපහසුතාවයන් හට ගන්නේ බොහොම සෙමිනුයි. ඒ නිසා රෝගියාට වගේම එම රෝගියාව ළඟින් ඇසුරු කරන අයටත් මෙය දැනෙන්නේ නෑ. ඒ සාමාන්‍ය දෙයක් හෝ වයස්ගත වනවිට ඇතිවන තත්ත්වයක් ලෙස බොහෝ දෙනෙක් මෙය නොසළකා හරිනවා.
මේ ආකාරයට දැනෙන අපහසු තාවයන් අතරින් කම්මැලිකම,  ඉහතද විස්තර කළ පරිදි රාත්‍රියේ පැය හත අටක සුව නින්දක් ලැබුවත් දිවා කාලයේදීත් නිතර දැනෙන නිදිමත, කිසිදු වැඩක් කරන්නට සිතක් නැති කම, මුහුණ පුරවා දැමීම, ඇඟ ඉදිමීම, කොණ්ඩය යාම, සම වියළීම, සීතල ඔරොත්තු නොදීම, මල බද්ධය, වාඩි වූ පසු නැගිටීමේ දී එකවරම දෙපා පණ නැති වීම, රෙදි වනන විට පවා අත් එසවීම අපහසු වීම, අත් දෙක හිරිවැටීම, අල්ල කහපාට වීම, මාස් ශුද්ධියේ දී රුධිරය  වැඩිපුර යාම සහ ලේ කැට ලෙස රුධිරය පිටවීම, බුද්ධිය අඩු වීම, කන් ඇසීම අඩුවීම ආදිය දක්වන්න පුළුවන්.
මෙවන් රෝග  ලක්ෂණ වලින් ආරම්භ වන මන්දතයිරොයිඩතාවය දිගින් දිගටම ඉදිරියට ගමන් කරන්නේ ඔබ සම්පූර්ණයෙන්ම ඇඳටම සීමා කරමිනුයි. අවසානයේ මෙයින් රෝගියා මිය යාමටද පුළුවන්. නමුත් මතක තබාගත යුතු දෙයක් නම් ප්‍රතිකාර ගත්තොත් මුළුමනින්ම මෙය සුව කළ හැකි බවයි.
කුඩා දරුවන්ට උපදින විටම තයිරොක්සින් අඩු වන අවස්ථා තිබෙනවා. එහිදී ඉහත කී ලක්ෂණවලට අමතරව දරුවා මන්ද බුද්ධික වීම සහ ශරීර වර්ධනය බාල වීම සිදුවනු ඇති. එංගලන්තය වැනි රටවල දරුවෙක් උපදින විටම රුධිර පරීක්ෂාවක් මගින් තයිරොක්සින් හෝමෝනයේ අඩුවක් ඇතිදැයි සොයා බලනවා. එසේ ඇත්නම් ඒ දරුවාට එම හෝමෝන ඖෂධ ලබාදීම තුළින් දරුවා මන්ද බුද්ධික වීම හා ශරීර වර්ධනය හීන වීම වළක්වාලනවා.
ඒ වගේම මන්දතයිරොයිඩතාවය යනු ඉතා පහසුවෙන් නිශ්චය කරගත හැකි රෝග තත්ත්වයක්. රුධිර පරීක්ෂණයක් මගින් රුධිරයේ තයිරොක්සින් මට්ටමේ අඩුපාඩුවත්, ඒ හෝමෝනය අඩු වන විට ඉහත කී පරිදි ටී.එස්.එච්. නම්වූ  පිටියුටරි ග්‍රන්ථියෙන් නිකුත් කරන පරිපාලන හෝමෝනය වැඩියෙන් නිපදවීමත් හඳුනාගන්න පුළුවන්.
එසේ හඳුනාගත් පසු ජීවිත කාලය පුරාවටම මේ හෝමෝනය පෙත්තක් ලෙස ලබා ගන්නට සිදුවෙනවා. මෙය ශරීරයේ මෙතෙක් කල් තිබූ හෝමෝනයක් නිසා එය පිටින් ගැනීමෙන් ශරීරයට අමුතු දෙයක් වන්නේ නෑ. ඒ නිසා අතුරු ආබාධ කිසිවක් ඇති වන්නේ නෑ. ඔබ මෙය ගැනීමට බිය විය යුතුත් නෑ.  ප්‍රශ්නය වන්නේ ඔබ ගත යුත්තේ පෙති එකක්ද  දෙකක් ද නැත්නම් කීපයක් ද යන්නයි. එහිදී ඔබට අවශ්‍ය ප්‍රමාණය ඔබේ වෛද්‍යවරයා තීරණය කරනු ඇති.
කොපමණ  කල් ගත යුතු ද යන්න ඊළඟ පැනයයි. තයිරොයිඩ් ග්‍රන්ථිය මෙතෙක් නිරෝගීව සිටිය දී ඔබට මෙවැනි ප්‍රශ්න තිබුණේ නැහැ නේද ? දිගටම ඔබට තයිරොක්සින් ලබා දුන්නේ මුළුතැන්ගෙයින් ආහාර ලැබෙනවා  වගේ. ඒ නිසා  ප්‍රශ්න ඇසීමෙන් ඵලක් වන්නේ නෑ. දැන් ඔබට  ජීවිත කාලය පුරාම වුවද තයිරොක්සින් ගන්න සිදු වෙලයි තිබෙන්නේ. මේ ආකාරයට තයිරොයිඩ් ඖෂධ පාවිච්චි කරන විට ඔබේ සියලු කරදර අවසන් වේවි. නමුත් රෝගය හට ගත් අයුරින්ම එය සුව වන්නේ ද සෙමින් බව සිහි තබා ගත යුතුයි.
තයිරොයිඩ් වැඩි වීම ද තවත් රෝග තත්ත්වයක්. අධිතයිරොයිඩතාවය ( hyperthyroidism ) නමින් හඳුන්වන මේ රෝගයේ දී ඉහත කී ලක්ෂණ වලට වඩා ප්‍රතිවිරුද්ධ රෝග ලක්ෂණයි ඇති වන්නේ. එනම් අධි ක්‍රියාශීලි  බව,  රස්නය ඔරොත්තු නොදීම, ශරීරය කෙසඟ වීම, නිතර මල පිටවීම, නිතර දහඩිය දැමීම නිසා සම තෙත් වීම, මාස් ශුද්ධිය අඩුවීම, ඇඟ වේලීම,  ශරීරය ගැහෙන ස්වභාවය, ඇස් ලොකුවී ඉදිරියට නෙරා ඒම , හිසකෙස් ගැලවී යාම, අත් පා පණ නැතිවීම ආදියයි.
මෙයට ප්‍රතිකාරය තයිරොයිඩ් ග්‍රන්ථිය අවහිර කිරීමයි. මෙය ශල්‍යකර්මයක් විය හැකියි. අලුත්ම ප්‍රතිකාරය නම් විකිරණ මගින් තයිරොයිඩ් ග්‍රන්ථිය විනාශ කර දැමීමයි. මෙය පිළිකා තත්ත්වයක් නොවුණත් මේ සඳහා විකිරණ ප්‍රතිකාර ලබා දෙන්නේ  පිළිකා රෝහලක් තුළයි. එහිදී විකිරණ ලබා දෙන්නේ පානයක් ලෙසයි .මෙම රෝගය ද නොසලකා හැරියොත් රෝගියා මිය යාම දක්වාම වර්ධනය වන්න පුළුවන්.
වියපත් අයට තයිරොක්සින් හෝමෝනය අඩු වුණොත් ඉහත කී රෝග  ලක්ෂණ කිහිපයක් පමණක් ඇතිවී  අනෙකුත් රෝග ලක්ෂණ සැඟවී පවතින්න පුළුවන්. නමුත් වෛද්‍යවරුන් මේ තත්ත්වය අනුමාන කර අදාළ පරීක්ෂණ සිදු කිරීම මගින් රෝගය සොයාගනු ලබනවා.  තයිරොක්සින් හෝමෝනය අඩුවීම මෙන්ම  වැඩිවීමත් සුව කරන්න පුළුවන්.
තයිරොක්සින් අඩුවීම කියන්නේ දියවැඩියාව හැරුණු විට තිබෙන වැඩිම හෝමෝන සම්බන්ධ රෝගය ලෙස දැක්විය හැකියි. මෙම රෝග තත්ත්වයන් දෙක කාන්තාවන් අතර සුලබ ව දැකිය හැකි වුවත්, පිරිමින් අතර දුලබ රෝගයකුත් නොවෙයි. කෙසේ වුවත් මෙය සුව කළ හැකි රෝගයක් නිසා ඔබ මේ ගැන බිය විය යුතු නෑ.
කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා
ඉන්දු පෙරේරා
විනිවිද සායනය