ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය පුබුදන මන්නාරමේ සුළං විදුලි බලාගාරය

ශ්‍රී ලාංකික බලශක්ති ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින්, හේලීස් ෆෙන්ටන්ස් (Hayleys Fentons) සමාගමේ හේවින්ඩ් (HayWind) අංශය මඟින් මන්නාරමේ ඉදිකෙරෙන 50 MW සුළං විදුලි බලාගාරය ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ගමනේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හඳුනාගත හැකිය. මෙම ව්‍යාපෘතිය මෙගාවොට් 5 බැගින් වූ අතිනවීන ටර්බයින 10කින් සමන්විත වන අතර, එමඟින් වාර්ෂිකව විදුලි ඒකක මිලියන 207ක් ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතය. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් වැඩ ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු නිම කර, ලබන වසරේ එනම් 2027 මාර්තු මාසය වන විට සම්පූර්ණයෙන්ම ජාතික පද්ධතියට සම්බන්ධ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත. මෙම ව්‍යාපෘතියට අදාළ පළමු මෙගාවොට් 25ක ටර්බයින තොගය ත්‍රිකුණාමල වරායට ළඟා වූ අතර, වත්මන් වන විට එහි අවසාන ටර්බයින තොගය ද වරාය වෙත සාර්ථකව ළඟා වී තිබේ. මෙම ව්‍යාපෘතියේ ඇති විශේෂිතම කරුණ වන්නේ ඓතිහාසික වශයෙන් මෙරට සුළං විදුලි ඒකකයකට ගෙවන අඩුම මිලට, එනම් විදුලි ඒකකයක් ඇමෙරිකානු ඩොලර් 0.0465කට එනම් ශ්‍රී ලංකා රුපියල් 14.37කට මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය සමඟ ගිවිසුම්ගත වී තිබීමයි. ආර්ථික හා පාරිසරික වශයෙන් ගත් කල, මෙමඟින් වාර්ෂිකව රුපියල් බිලියන 4.7ක ආනයනික ඉන්ධන පිරිවැයක් ඉතිරි වන අතර, බලාගාරයේ වසර 20ක සමස්ත ජීව කාලය තුළ රුපියල් බිලියන 100ක විදේශ විනිමය ප්‍රමාණයක් රටට ඉතිරි කර දෙයි. එසේම, වාර්ෂිකව කාබන් විමෝචනය මෙට්‍රික් ටොන් 186,300කින් අඩු කරමින් 2030 සහ 2050 ජාතික පාරිසරික ඉලක්ක සපුරා ගැනීමට මෙම ව්‍යාපෘතිය සෘජුවම දායක වේ.

මෙම වර්තමාන තත්ත්වයේ පසුබිම් කතාව විමසා බැලුවහොත්, 2022 වසරේ ඇති වූ බරපතළ ආර්ථික කඩාවැටීමෙන් පසු ශ්‍රී ලංකාව තවමත් බලශක්ති සුරක්ෂිතතාව සම්බන්ධයෙන් දැඩි අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින බව සිහිපත් කළ යුතුමය. විදේශ විනිමය හිඟය හේතුවෙන් ඉන්ධන ආනයනය අඩාල වීමත්, ඩීසල් සහ නැප්තා මත යැපෙන තාප බලාගාර මෙහෙයුම් අත්හිටුවීමට සිදුවීමත් නිසා අතීතයේ දෛනික විදුලි කප්පාදුව පැය 13 දක්වා ඉහළ ගිය අතර, එය බලශක්ති පද්ධතියේ බිඳවැටීම පැහැදිලිව පෙන්නුම් කළේය. මෙම තත්ත්වය වත්මන් ව්‍යුහය තුළ ද විවිධ මුහුණුවරින් බලපෑම් එල්ල කරයි. විශේෂයෙන් මැදපෙරදිග කලාපීය නොසන්සුන්තාවන් හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාමත් සමඟ ශ්‍රී ලංකාවේ මාසික විදුලි නිෂ්පාදන පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ඉක්මවා යාම නිසා ‘වේගවත් පුනර්ජනනීය බලශක්ති සැලැස්මක’ ඇති දැඩි අවශ්‍යතාව රජයට දැඩිව දැනෙන්නට විය. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරික කොන්දේසි සපුරාලීම සඳහා විදුලි හා ඉන්ධන සහනාධාර ඉවත් කිරීමට සිදුවීම නිසා පෙට්‍රල් ලීටරයක මිල රු. 434 දක්වාත්, ඩීසල් ලීටරයක මිල රු. 407 දක්වාත් ඉහළ ගියේය. මෙම දැවැන්ත මිල ඉහළ යාම පොදු මහජනතාවට මෙන්ම සමස්ත දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයට ද දරාගත නොහැකි පීඩනයක් එල්ල කරමින් පවතී.

ශ්‍රී ලංකාවේ පවතින මෙම නිදන්ගත විදුලි අර්බුදයට ඇති එකම සහ දිගුකාලීන විසඳුම වන්නේ දේශීය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත කඩිනමින් සංක්‍රමණය වීමයි. ශ්‍රී ලංකාව සූර්ය බලය, සුළං බලය සහ ජල විදුලිය වැනි ස්වභාවික ප්‍රභවයන්ගෙන් පොහොසත් රටක් වුවද, 2030 වන විට සමස්ත විදුලි නිෂ්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් ලබාගැනීමේ ජාතික ඉලක්කය සපුරා ගැනීමට තවමත් බොහෝ දුර යා යුතුව ඇත. වත්මන් දත්තවලට අනුව එම දායකත්වය තවමත් පවතින්නේ 20%ක වැනි අවම මට්ටමකය. එසේම 2050 වන විට ශුද්ධ ශුන්‍ය කාබන් විමෝචන රාජ්‍යයක් බවට පත්වීම ලංකාවේ ප්‍රධාන ප්‍රතිපත්තිමය අරමුණකි. මෙම 70%ක පුනර්ජනනීය බලශක්ති ඉලක්කය මෙරට ප්‍රධාන දේශපාලන ධාරාවන්හි නායකයින් තිදෙනාගේම ප්‍රතිපත්ති ප්‍රකාශනවලට ඇතුළත් කර තිබීම, බලශක්ති පරිවර්තනය උදෙසා රට තුළ පවතින පොදු ජාතික එකඟතාව සහ එහි ඇති වැදගත්කම මනාව පැහැදිලි කරයි.

ශ්‍රී ලංකාවේ භූගෝලීය පිහිටීම අනුව සුළං බලශක්තිය සතු උපායමාර්ගික වැදගත්කම අතිමහත්ය. වාර්ෂිකව ඛනිජ තෙල් හා ගල්අඟුරු ආනයනය සඳහා වැය වන ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක මුදල රට තුළම ඉතිරි කර ගැනීමට මෙවැනි මහා පරිමාණ සුළං බලශක්ති ව්‍යාපෘති මහෝපකාරී වේ. විශේෂයෙන්ම වත්මන් තාප විදුලි උත්පාදනයේදී ඒකකයක පිරිවැය රුපියල් 100ද ඉක්මවා යන අවස්ථාවල, රුපියල් 14.37ක් වැනි අවම මිලකට සුළං විදුලිය ලබා ගැනීමට හැකි වීම ගෘහස්ථ හා කාර්මික විදුලි බිල ස්ථාවරව පවත්වා ගැනීමට ඇති හොඳම මාවතයි. මෙරට බලශක්ති මිශ්‍රණය විවිධාංගීකරණය කිරීමේදී මන්නාරම, පූනරීන් සහ කිලිනොච්චිය වැනි ප්‍රදේශවල සුළං බලශක්ති විභවය මෙගාවොට් 40,000 ඉක්මවන බවට හඳුනාගෙන ඇත. මේ අනුව ජාතික සැලසුම්වලට අනුව සුළං බලයෙන් පමණක් මෙගාවොට් 1,004ක් ජාතික පද්ධතියට එක් කිරීමට යෝජිතව ඇත.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සුළං බලශක්ති ප්‍රසාරණය උදෙසා පවතින විභවය ඉහළ වුවද, ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධාන අභියෝග කිහිපයක් පවතී. පළමුවැන්න ජාල යටිතල පහසුකම් දුර්වලතාවයි. පුනර්ජනනීය විදුලිය මෙගාවොට් 2,600ක් එක් කිරීමට සැලසුම් කළද, 220 kV සහ 400 kV සම්ප්‍රේෂණ මාර්ග ඉදිකිරීම් ප්‍රමාද වීම නිසා විදුලිය කපා හැරීමේ අවදානමක් ඇත. ඒ සඳහා ජාතික සම්ප්‍රේෂණ ජාලය කඩිනමින් නවීකරණය කිරීම සහ සුළං බලයේ අස්ථාවරත්වය පාලනය සඳහා බැටරි බලශක්ති ගබඩා පද්ධති ස්ථාපනය වේගවත් කිරීම අවශ්‍ය වේ. දෙවනුව මූල්‍ය හා ගෙවීම් අර්බුදය දැක්විය හැක. දැනටමත් පුනර්ජනනීය බලශක්ති සංවර්ධකයින්ට ගෙවිය යුතු රුපියල් බිලියන 10ක පමණ මුදලක් හිඟව පවතින අතර, ඩීසල් බලාගාර සඳහා ගෙවීම්වලදී ප්‍රමුඛතාව දීම මෙයට ප්‍රධාන හේතුවයි. පෞද්ගලික අංශයේ විශ්වාසය රැකගැනීම සඳහා ගෙවීම් ප්‍රමුඛතා සමාන කිරීම සහ විනිවිද පෙනෙන ස්ථාවර ‘ෆීඩ්-ඉන් ටැරිෆ්’ (Feed-in Tariff) යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම විසඳුමකි. තෙවනුව ප්‍රතිපත්තිමය අස්ථාවරත්වය සැලකිය යුතු අභියෝගයකි. සූර්ය බලශක්ති ඒකකයක මිල රු. 37 සිට රු. 17 දක්වා එක්වරම අඩු කිරීම සහ ‘නෙට් මීටරින්’ (Net Metering) ක්‍රමවේදයන් වෙනස් කිරීම නිසා දේශීය හා විදේශීය ආයෝජකයින් තුළ අවිනිශ්චිතතාවයක් හටගෙන ඇත. ආයෝජන සුරක්ෂිතතාව වෙනුවෙන් ස්ථාවර, දිගුකාලීන ජාතික විදුලි ප්‍රතිපත්තියක් පවත්වාගෙන යාම සහ තීන්දු ගැනීමේදී පාර්ශ්වකරුවන් සමඟ විධිමත් උපදේශන පැවැත්වීම මෙයට පිළියමක් වනු ඇත.

මෙවන් තත්ත්වයක් තුළ මේ සම්බන්ධයෙන් අවසන් වශයෙන් කිව යුතු කරුණක් තිබේ. 70%ක පුනර්ජනනීය බලශක්ති ඉලක්කය මෙරට ප්‍රධාන දේශපාලන ධාරාවන්හි නායකයින් තිදෙනාගේම ප්‍රතිපත්ති ප්‍රකාශනවලට ඇතුළත් කර තිබීම මත, මෙම ව්‍යාපෘති සාර්ථක කර ගැනීම සඳහා පොදු ජාතික එකඟතාවක් තිබිය යුතු බවයි. එමෙන්ම වත්මන් ආණ්ඩුව ද තැන නොතැන නොබලා ආණ්ඩු බලය තහවුරු කර ගැනීම පිණිස විපක්ෂයට පහර දීමේ ක්‍රියාවලිය නතර කොට, ජාතික චින්තනය පෙරදැරිව මෙම කාර්යයට උර දිය යුතුය. එසේ නොමැති වුවහොත් නුදුරේ දී තවමත් ආණ්ඩුව දකිමින් හිඳින පුනරුද සිහිනය ද ඒකාන්තයෙන්ම බිඳ වැටී රට අඳුරින් අඳුරට පත් වනු නිසැකය.

මනෝජ් එන්. ප්‍රනාන්දු

හරිත දනව්ව