වංගෙඩි ගලට සහ වංගෙඩි කන්දට සවාරියක්

සොබා දහමට ආදරය කරන, කඳු නැගීම ප්‍රිය කරන බොහෝ දෙනෙක් චාරිකාවේ යෙදෙන්නට කැමති වංගෙඩි ගල සහ වංගෙඩි කන්දට අද අප ඔබව කැඳවාගෙන යනවා. මෙය නගින්නට අමාරු දුෂ්කර ගමනක් වුවත් කඳු තරණය ප්‍රිය කරන්නන් එවැනි අභියෝග ඉතා කැමැත්තෙන් භාර ගන්නවා. එහෙමනම් අපි දැන් වංගෙඩි ගලට සහ වංගෙඩි කන්දට යමු.
මෙය පිහිටා තිබෙන්නේ කොළඹ බදුල්ල මාර්ගයේ  කළුපහනෙන් ඇතුළට වෙන්නටයි. අපේ රටේ උසම කඳු අතර 13 වැනි ස්ථානය ගන්නා ගොන්මොල්ලිය කඳු පන්තියේ තමයි වංගෙඩි ගල සහ වංගෙඩි කන්ද පිහිටා තිබෙන්නේ. වංගෙඩි ගලෙහි උස මීටර් 1400 ක් වෙනවා.
වංගෙඩි ගලට පාරවල් කීපයකින් පිවිසෙන්න පුළුවන්.

බොහෝ දෙනෙක් ගමන් කරන මාර්ගය වන්නේ කළුපහන ඔහිය පාරේ ටික දුරක් ගොස් බඹරකන්ද ඇල්ලට මීටර් පන්සියයක් පමණ කලින් ඉහළට යන මාර්ගයයි. මේ පාර යකාගේ පඩිපෙළ, උඩුවේරිය වත්ත හරහා ඔහිය, හෝර්ටන් තැන්න මාර්ගයට එකතු වෙනවා. මේ පාර ඔස්සේ වංගෙඩි ගල තරණය කරන්නට යන ඔබට ජල පහරක් උඩින් අබලන් වැල් පාලමක් හමුවෙනවා. තද වැසි කාලයක් නොවෙයි නම් වැල් පාලමෙන් නොගොස් ගල් උඩින් පැන මෙම ජල පහර තරණය කරන්නත් පුළුවන්. බඹරකන්ද ඇල්ල සහ ලංකා ඇල්ලේ සිට එන මේ ජල පහර වැසි කාලයේදී ඉතාමත් සැඩ දිය පහරක් බවට පරිවර්තනය වෙනවා. මෙය කල්තොට පසු කර ගොස් වේලි ඔය ලෙස උඩවලවේ ජලාශයට එකතු වන වලවේ ගඟේ ප්‍රධාන අතු ගංගාවක්. මේ පාලම පසු කළාට පස්සේ එක දිගටම තියෙන්නේ කන්ද නැගීමයි.
වංගෙඩි ගලට යන තවත් පාර තමයි කොළඹ මඩකලපුව ප්‍රධාන මාර්ගයේ කළුපහන පාසල පසුකර ටික දුරක් ඉදිරියට එන විට කළුපහනේ ප්‍රසිද්ධ කළු පාලම සමග ඇති අලුත් පාලම ළඟින් උඩට එන පාර. ධම්මගිරි ආශ්‍රමය කියලා පාරේ උඩින් හරස් අතට බෝඩ් එකකුත් දැක ගන්න පුළුවන්.

මේ කැලෑවල්වල විශේෂත්වය තමයි තද පෑවිල්ල තියෙන කාලයට ලැව් ගිනි හට ගැනීම. ඒ නිසා මෙම කඳුවල කඳවුරු රැයක් ගත කරන්නට ඔබ බලාපොරොත්තු වෙනවා නම් විශේෂයෙන් සිහි තබාගත යුතු දෙයක් තමයි ආහාර පිසීමට සහ තද සීතල පලවා හරින්නට ගිනි මැල දල්වීමේ දී ඉතාමත් ප්‍රවේශම් වීම. විශේෂයෙන් මේ ෆයිනස් කැලෑවල්වල බිම ඇතිරිල්ලක් දැමුවා වගේ වියළි කොළ තට්ටු ගණන් බිම වැටී තිබෙන නිසා කොළ උඩට යන්තම් ගිනි පුපුරක් වීසි වුණත් ගිනි ගැනීමට තිබෙන හැකියාව ඉතා විශාලයි. ඒ කෙසේ වුවත් තදින් පායන කාලයට ඔබ මේ කන්ද තරණය කරන්න යනවා.


නම් ප්‍රවේශමෙන්. 2021 වසරේදී මෙලෙස වංගෙඩි කන්දේ ඇතිවූ ගින්නකින් එහි අක්කර විස්සකට අධික ප්‍රදේශයක් විනාශ වී ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා. එසේම 2018 වසරේ වංගෙඩි ගලට කඳවුරු රැයක් ගත කරන්නට ගිය දස දෙනෙක් පමණ පිරිසක් අනපේක්ෂිත ආකාරයෙන් හටගත් ගින්නක් කන්ද වටා පැතිර යමින් පවතිද්දී ඔවුන් මුදවා ගනු ලැබුවේ දියතලාව යුද හමුදා කඳවුරෙන් පැමිණි සෙබළුන් කණ්ඩායමකුයි.

මේ පාරවල් දෙකම ධම්මගිරි ආශ්‍රමය අසලදී එකතු වෙනවා.
වංගෙඩි ගලට නැගීම දුෂ්කර වන්නේ මේ යන පාර ආනතිය ඉතා වැඩි කඳු නැගීමක් වීම නිසයි. ෆයිනස් කැළෑව නිසා බිම වැටී තිබෙන වේලුණු ෆයිනස් කොළවලට අඩිය තැබීමද ප්‍රවේශමෙන් කළ යුතුයි. මේ පාර කෙළවර වෙන්නේ කඳු බෑවුමකින්. එතැන සිට ලංකා ඇල්ල, යහලතැන්න ඇල්ල ඉතා හොඳින් දැකබලා ගත හැකියි. කඳු ගැට්ටේ ඉහළට ගියවිට වංගෙඩි ගලට පහසුවෙන් ළඟා වෙන්න පුළුවන්.
මෙයට වංගෙඩි ගල කියන්නේ වංගෙඩියක් මුනින් නැවූ ආකාරයේ හැඩය ගත් ගලක් සහිතව එම කන්දේ මුදුන පිහිටීම නිසයි. එතැන සිට බලන විට හාත්පස ඇති කොළ පැහැති කඳු මුදුන් ඉතාම සුන්දරයි. බඹර කන්ද දියඇල්ල ඉතාමත්ම සුන්දරව දැක බලා ගන්න පුළුවන් ස්ථානයක් තමයි වංගෙඩි ගල. මේක තමයි අපේ රටේ උසම දිය ඇල්ල. ඒ වගේම ලංකා ඇල්ල, යහලතැන්න දිය ඇල්ලත් මෙතැනට අගේට පෙනෙනවා . ගොන්මොල්ලිය කන්ද මෙහි සිට පහසුවෙන් දැක බලා ගත හැකි බලතුඩුව කන්ද පිහිටා තිබෙන්නේ ඒ අසලමයි. වංගෙඩි ගල අසල කඳවුරු භූමියක් සකස් කර ගැනීම බොහෝ විට අසීරු නිසා ඊට මං අක් ආසන්නයෙන් තිබෙන ගොන්මොල්ලිය කන්ද පාමුලට වෙන්නට කඳවුරු ඉදි කළ හැකියි. නමුත් සුළං කාලයට වංගෙඩිගල සහ ගොම්මොල්ලිය කඳු ආශ්‍රිතව තදින් සුළං හමන නිසා එවැනි කාලවලදී මෙතැන කඳවුරු බැඳීම එතරම් පහසු වන්නේ නෑ. ඒ සුළඟ සාමාන්‍ය කෙනෙකුට සිටගෙන සිටීමට පවා බොහෝ විට අපහසු වන තරම් දැඩියි.
වංගෙඩි ගලදී බෙරගල, සමනල වැවේ ඉඳලා ලෝකාන්තයට යනකල් කඳු යායක් ද දැක ගත හැකියි. අංශක 360 ක දර්ශන පථයක් හරි අගේට බලා ගන්න පුළුවන් ස්ථානයක් මේ වංගෙඩි ගල . මේ ප්‍රදේශයේ කඳවුරු බැඳගෙන ඔබ රාත්‍රියක් ගත කරනවා නම් උදෑසන පහ මාරට පමණ ඉතාමත් දර්ශනීය අන්දමින් හිරු නැගෙන සුන්දර දසුන දැක බලාගත හැකියි.

වංගෙඩි ගලේ ඉඳලා වංගෙඩි කන්දට ඒ තරම් දුරක් නෑ. හුදෙකලා මිටි ෆයිනස් ගස් සහිත එම මාර්ගයේ වම් අත පැත්තට හැරී යන විට සමාන්තරව ගල් වැටි යෙදූ පාරක් හමුවෙනවා. ඒ පාරේ ටික දුරක් යන විට වංගෙඩි ගල කඳු පන්තියටම තිබෙන එකම සිසිල් දිය කඳුර වෙත ළඟා විය හැකියි. මෙය ඉතාම පිරිසිදු ජලය සහිත දොලපාරක් . කන්ද උඩට යන ඔබ මෙතැනින් ඇති තරම් ජලය ගෙන යා යුතුයි. එයට හේතුව තමයි මෙතැනින් එහාට පරවියන්ගල දක්වාම ජලය සොයා ගැනීම දුෂ්කර වීම.
මේ කඳු මුදුනට ලෝකාන්ත පහළ බෑවුම, යහලතැන්න ඇල්ල, ලංකා ඇල්ල වගේම යකාගේ පඩි පෙළ දක්වා දිවෙන තේ වගාවත් හරිම මනස්කාන්ත ලෙස දිස්වෙනවා. බලතුඩුව කන්ද, පරවියන්ගල කඳු පන්තිය මේ සියල්ල වගේම එතැනින් ඈතට විහිදී යන මහවලතැන්න සානුව මේ ආදී බොහෝ දෑ දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ගමනේදී ඔබට උඩුවේරිය, ඉදල්ගස්හින්න කඳු පෙළ, බෙරගල දෙසට යන බදුල්ල පාර, හපුතලේ නගරයට නුදුරින් දිස්වන දඹේතැන්න, පූනාගල කඳු පන්ති , කෑරගල මිටි කඳු පන්ති, තන්ජන්තැන්න , රජවක, වැලිගේපොළ කඳු, රක්වාන කඳු පන්තියට අයත් ගොන්ගල, සූරියකන්ද, ඉලුඹකන්ද ආදී කඳු පන්ති ඇතුළු සුන්දර දර්ශන රාශියක් දැක බලාගන්න පුළුවන්.
මේ තරම් අපූරු දර්ශන දැක බලා ගතහැකි වංගෙඩි ගලට සහ වංගෙඩි කන්දට යාම දුෂ්කර ගමනක්. නමුත් අපේ රටේ බොහෝ සංචාරකයන්ගේ විශේෂයෙන් කඳු නැගීම ප්‍රිය කරන්නන්ගේ ඉතාමත්ම සිත් ගත් තැනක් තමයි මේ වංගෙඩි ගල සහ වංගෙඩි කන්ද. දවස් කීපයක් කඳවුරු බැඳගෙන මේ චාරිකාවේ යෙදෙන්න පුළුවන් නම් මේ ගමන්ම බලතුඩුව කන්ද ගොන්මොල්ලිය කන්ද වැනි කඳුද තරණය කර ඉතාමත්ම සුන්දර අත්දැකීම් සම්භාරයක් ඔබේ ජීවිතයට එකතු කරගත හැකි වේවි.

ඡායාරූප අන්තර්ජාලයෙනි. එහි මුල් හිමිකරුවන්ට ස්තුතියි.

ඉන්දු පෙරේරා

හරිත දනව්ව