වට්සැප් භාවිතා කරන ඔබේ සිතට සතුටක් ගෙන දෙන හෝ ඔබට හීන් දාඩිය දමන කතාවක්

ඔබ, ජනප්‍රිය ජංගම දුරකතන යෙදුමක් වන වට්ස්අප් භාවිත කරන්නෙකු නම් මේ පවසන්නට යන කතාව එක්කෝ ඔබේ සිතේ සතුටක් ඇති කරවන්නක් වන්නට පුළුවන. එසේත් නොමැති නම් ඔබට හීන් දාඩිය දමන්නක් වන්නට ද පුළුවන. අපට ඒ කතාව මෙසේ පටන් ගන්නට පුළුවන.

ජංගම දුරකතනය අප අතරට පැමිණි මුල්ම යුගයේ එහි තිබුණු එකම පහසුකම වූයේ දුරකතන ඇමතුම් ලබාගැනීම පමණි. පසුව කෙටි පණිවිඩ යැවීමේ පහසුකම ජංගම දුරකතනවලට එක් කෙරිණි. නමුත් අකුරු පමණක් කෙටි පණිවිඩ ලෙස යැවීමෙන් පමණක් පරිශීලකයා සතුටු කරන්නට දුරකතන සමාගම්වලට හැකි වූයේ නැත. මේ නිසා බහුමාධ්‍ය (multimedia message – mms) පණිවිඩ යැවීමේ පහසුකම ද එක් කෙරිණි. නමුත් ප්‍රායෝගිකව එය ද ප්‍රමාණවත් නොවීම නිසා වයිබර් (Viber) සහ වට්ස්අප් (WhatsApp) යන ජංගම දුරකතන යෙදවුම් නිර්මාණය විණි. මේ මෘදුකාංග දෙකම කලක් කරට කර පැවති නමුත් මේ වන විට වයිබර් පරදවා වට්ස්අප් ඉදිරියට පැමිණ තිබේ. වර්තමානයේ සෑම ස්මාර්ට් දුරකතනයකම පාහේ පවතින්නේ වට්ස්අප් ය. වයිබර් පරදවා එයට ඉදිරියට පැමිණෙන්නට එක හේතුවක් වන්නට ඇත්තේ එය ද ෆේස්බුක් අයත් මෙටා සමාගම යටතේ පවතින්නක් වීම, වට්ස්අප් සහ ෆේස්බුක් අතර පහසුවෙන් දත්ත හුවමාරුව, ඡායාරූප සහ වීඩියෝ ඉතා පහසුවෙන් තව තැනකට යැවීමට හැකි වීම වැනි කාරණා වන්නට පුළුවන.

වට්ස්අප් ඔස්සේ එක් මොහොතකට බහුමාධ්‍ය පණිවිඩ මිලියන ගණනින් සංසරණය වෙයි. මෙසේ යවනු ලබන පණිවිඩ සදාකාලික වශයෙන් දුරකතනයේ ගබඩා කොට තබා ගැනීම ප්‍රායෝගිකව දුෂ්කරය. එයට හේතු කිහිපයක් තිබිය හැකිය. ප්‍රධානතම හේතුව වන්නේ ජංගම දුරකතනයේ දත්ත ගබඩා කර ගැනීමේ හැකියාව යම් අවස්ථාවක දී අවසන් වීමය. මේ නිසා මෙන්ම තවත් හේතු නිසා ද වට්ස්අප් පරිශීලකයන් එහි ඇති පණිවිඩ මකා දමන්නට පියවර ගැනීම සාමාන්‍ය දෙයකි. එමෙන්ම ඇතැම් පණිවිඩ දුරකතනයේ තබා ගැනීම මහත් ව්‍යසනයක් දක්වා ගමන් කළ හැකි නිසා ද බොහෝ දෙනෙක් වට්ස්අප් පණිවිඩ මකා දමති. එමෙන්ම අපරාධකරුවන් පවා ඇතැම් පණිවිඩ තමාට අවාසි සහගත වේ යැයි සිතා එහි පණිවිඩ සම්පූර්ණයෙන්ම මකා දමනු දැකිය හැකිය. කෙසේ නමුත් කුමන හේතුවක් නිසා හෝ තම වට්ස්අප් පණිවිඩ මකා දමන්නන්ට මේ පවසන්නට යන පණිවිඩය එක්කෝ සතුටට කාරණයක් හෝ හීන් දාඩිය’ දමන්නක් හෝ වන්නට පුළුවන. ඒ, මකා දමා ඇති සියලු වට්ස්අප් පණිවිඩ එකක් නෑර නැවත ලබා ගැනීමට ඇති හැකියාව දැන් ලැබී ඇති බවය. වට්ස්අප් පණිවිඩවල උපස්ථයක් හවත් බැක්අප් එකක් (backup) එකක් නොමැති අවස්ථාවකදී මේ මෘදුකාංගයෙන් පිහිට ලබා ගත හැකි වීම විශේෂයෙන් සඳහන් කළ යුත්තකි.

මේ සඳහා කලක පටන් විවිධ මෘදුකාංග පැමිණිය ද මෑතක දී දැනගන්නට ලැබුණු UltData WhatsApp Recovery මෘදුකාංගය මේ සියල්ලටම වඩා කාර්යක්ෂමය. මෘදුකාංගය සංවර්ධනය කළ සමාගම පවසන පරිදි වට්ස්අප් පණිවිඩ සමග පවතින ඡායාරූප, වීඩියෝ ඇති සියලු දේ මකා දැමීමෙන් පසු මෙය මගින් නැවත ලබා ගත හැකිය. මෙය අත් වැරදීමකින්, ජංගම දුරකතනයේ දෝෂයක් හේතුවෙන් වැනි කාරණා නිසා පණිවිඩ මැකී ගිය පරිශීලකයන්ට සැනසුම් සුසුම් හෙළිය හැකි කාරණයක් වුව ද, ඇතැම් පණිවිඩ ජංගම දුරකතනයේ තබා ගැනීම සිය පෞද්ගලිකත්වයට, ආරක්ෂාවට බලපෑම් කළ හැකි යැයි සිතෙන අවස්ථාවල දී ඒවා මකා දමන්නන්ට අසුබ ආරංචියක් විය හැකිය. නිදසුනක් ලෙස යම් අපරාධයකට සම්බන්ධ පණිවිඩ එයට සහභාගී වූ පුද්ගලයකු විසින් මකා දමන්නට පුළුවන. ඒ කුමක් හෝ හේතුවක් නිසා පොලිසිය සිය ජංගම දුරකතනය පරීක්ෂා කළ හොත් සිය ආරක්ෂාව පතාය. නමුත් දැන එයට ඉඩක් ලැබෙන්නේ නැත.

මේ UltData WhatsApp Recovery මෘදුකාංගය ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් යන පද්ධති දෙක සමගම ඉතා හොඳින් ක්‍රියාත්මක වෙයි. මකා දැමූ වට්ස්අප් පණිවිඩ නැවත ලබාගැනීම සඳහා අනුගමනය කළ යුත්තේ ඉතා සරල පියවර කිහිපයක් පමණි. මුලින්ම මේ මෘදුකාංගය පරිගණකයට ස්ථාපනය කොට දත්ත රැහැනකින් (data cable) පරිගණකය සහ ජංගම දුරකතනය එකිනෙක සම්බන්ධ කළ යුතු වේ. එවිට සැනෙකින් මෘදුකාංගය මගින් ජංගම දුරකතනය හඳුනාගෙන එයින් මකා දමන ලද වට්ස්අප් පණිවිඩ නැවත ලබා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කරයි. මකා දමන ලද පණිවිඩ ප්‍රමාණය මත මේ සඳහා සැලකිය යුතු කාලයක් ගත වේ. බොහෝ විට එය පැයක පමණ කාලයක් විය හැකිය. මේ ක්‍රියාවලියෙන් පසු මකා දමන ලද සහ දැනට දුරකතනයේ පවතින පණිවිඩ සියල්ල මෘදුකාංගයේ පරිශීලක අතුරු මුහුණතේ දර්ශනය වෙයි. ඉන් පසු කළ යුතු වන්නේ තමාට අවශ්‍ය පණිවිඩය හෝ පණිවිඩ සියල්ල හෝ තෝරා එය පරිගණකය තුල ගබඩා කර ගැනීම පමණි.

ඇතැම් විට මේ පහසුකම සහිත මෙවැනි මෘදුකාංග මෙයට පෙර ආරක්ෂක අංශ සතුව තිබෙන්නට හැකි නමුත්, පොදු පරිහරණය සඳහා මෙතරම් කාර්යක්ෂම මෘදුකාංගයක් සංවර්ධනය කෙරුණු මුල්ම අවස්ථාව මෙය වන්නට පුළුවන. ඉදිරියේ දී තවත් කාර්යක්ෂම මෘදුකාංග මේ කාර්යය සඳහා හඳුන්වා දෙන්නට ඉඩකඩ තිබේ. කෙසේ නමුත් මේ මෘදුකාංගයට පවා හසු නොවන සේ වට්ස්අප් පණිවිඩ මකා දැමිය හැකි ජංගම දුරකතන යෙදුම් ඉදිරියේ දී හඳුන්වා දුනහොත් එය පුදුමයට කාරණයක් නොවේ. මෘදුකාංග සංවර්ධනය වන ලෝකය එසේය. ඔවුන් අතර පවතින්නේ ද සදාකාලික තරගයකි. ජංගම දුරකතන පරිශීලකයන් වශයෙන් අපට ඇත්තේ එයින් නිසි ප්‍රයෝජනය ගැනීම පමණි.

01

02

03

04

05

06

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර