වයසක පෙනුම මගහරවා තරුණ පෙනුමක් ලැබදෙන නොවරදින ප්‍රතිකාර – විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය සතිස් විජේමාන්න

රූපලාවන්‍ය  ගැටලුවලදී   එම ගැටලුවේ ස්වභාවය කුමක්ද ,ඊට කෙසේ ප්‍රතිකාර ලබාගත යුතුද යන්න ගැන සැබෑ අවබෝධයක් නොමැතිකම නිසා  බොහෝ දෙනෙක් අනවශ්‍ය සංකූලතාවලට භාජන වෙති.  මෙය ලංකාවේ පමණක් නොව ලෝකයේම දක්නට තිබෙන තත්ත්වයකි.  නිසි සුදුසුකම් හා පළපුරුද්දක්  නොලත් පුද්ගලයින් ලබාදෙන ප්‍රතිකාර ක්‍රම  සහ එමගින්  මුහුණට විය හැකි හානි කෙනෙකුගේ  මුළු ජීවිත කාලයටම බලපෑ හැකිය. බොහෝවිට මෙවන්  කුමන හෝ ප්‍රතිකාරයකට  යොමු වීම නිසා අවසානයේ සිදුවන්නේ අප අපේක්ෂා කරන ප්‍රතිඵලය නොලැබීම ය. මේ ලිපියෙන් උත්සාහ කරන්නේ ඔබට තිබෙන ගැටලු පිළිබඳව යම් දැනුමක් ලබා දීමට  සහ ඒ සඳහා ඔබ  යොමු විය යුතු ප්‍රතිකාර ක්‍රම පිළිබඳව  මග පෙන්වීමක් කිරීමට ය.
රූපලාවන්‍යය පිළිබඳව කතා කරන විට එහි ප්‍රධාන කොටස් දෙකක් වෙයි.
        රූප ස්වභාවය  (natural beauty) ඔපවත් කිරීමට කරන ප්‍රතිකාර හා සැත්කම් ඉන් පළමුවැන්නයි.
        දෙවැන්න Anti-aging ලෙසින් හඳුන්වන වයස්ගතවීම නිසා වෙන වෙනස්කම් ඉවත් කිරීමය.
 මුහුණේ  අලංකාරය අංග 7කින් ගෙනදෙයි.
1. මුහුණේ හැඩතලය-එනම් මුහුණේ සමමිතික භාවයයි. (මුහුණේ  දෙපැත්තම එක හා සමානව තිබීම)
2. ඇහිබැමිවල හැඩය
3. නාසයේ හැඩය
4. තොල්වල හැඩය
5. නළලේ උස
6. ඇස් පිහිටා තිබෙන ආකාරය
7.  සමේ ස්වභාවය
         පැහැපත් බව, ඇදෙන සුළු බව, සමේ වර්ණය යන මේ සියල්ල සමට අදාළ වේ.
 පුද්ගලයෙකුගේ ආවේණික  ලස්සන (beauty) හෙවත් රූප ස්වභාවය හා අනන්‍යතාවය නිර්මාණය වන්නේ මේ සියල්ලෙනි.
දෙවැන්න Antiageing ය. වයස්ගත වීම වැළැක්වීම යන මේ තත්ත්වය සහ Beauty  බොහෝ දෙනෙකු එකක් ලෙස පටලවා ගනිති.  එනිසා මේ සියලු දේ සඳහා  ආලේපන ගල්වන මුත්,  ආලේපන හැම හැමදේටම සාර්ථක වන්නේ නැත.  ඔබට තිබෙන රූපලාවන්‍ය ගැටලුව ගැන පැහැදිලි අවබෝධයක් තිබිය යුත්තේ ඒ නිසාය.  මේවා සම්බන්ධ ගැටලු ඇත්නම් ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයෙකු හමුවීම සුදුසුය. සම සම්බන්ධ ගැටලුවක් නම් චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයකු හමු විය යුතුය.
 සම ගැන කතා කරන විට ඉහත ද සඳහන් කළ පරිදි ප්‍රධාන වශයෙන් කරුණු තුනක් පිළිබඳව කතා කළ යුතුය.
1 පැහැපත් භාවය
2  ඇදෙන සුළු බව
3 සමේ වර්ණය යි.
සමේ පැහැපත් බවට හානි ඇති වන්නේ   ලප, කැළැල්, අඳුරුභාවය  වැනිදෑ  නිසා ය. මෙම වෙනස්වීම්වලට හිරු එළිය ප්‍රධාන වශයෙන් බල පෑ හැකිය .
සම ඇදීයාම වයසට යාමත් සමඟම ඇතිවන තවත් වෙනස් කමකි. ඊට හේතුව සම තුනී වීමත්, සමෙහි ඇති කොලජන් ප්‍රමාණය අඩුවීමත් ය. මීට අමතරව මුහුණේ  ඇති මේද ස්ථරවල  සිදුවන වෙනස්වීම්ද බලපායි.
ප්‍රධාන වශයෙන් මුහුණේ මේද ස්ථර දෙකක් පවතී. එහි ඇතිවන ප්‍රමාණාත්මක වෙනස්කම් නිසා මුහුණේ සම සහ මේද ස්ථර එල්ලා වැටීම ආරම්භ වනු ඇත. මුහුණේ සම ගැඹුරු පටකවලට සම්බන්ධ කරන තන්තු (retaining ligaments) තිබේ. ඒ තන්තු එලෙස පවත්වාගෙන යන විට අවට පටකවල ඇතිවෙන වෙනස්කම් නිසා  සමෙහි එල්ලා වැටීම් වැනි සමේ වෙනස්කම් ඇතිවෙයි. ඇස් යට සම එල්ලා වැටීම, නාසය දෙපසින් එල්ලා වැටීම ආදිය මීට උදාහරණ යි.
 මෙවැනි තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීමේදී සමේ පවතින තත්වය මත ප්‍රතිකාරය තීරණය වේ.  මුලින්ම කළ යුත්තේ සමේ එල්ලා වැටීම වර්ගීකරණයකට ලක් කිරීමයි. ඒ අනුව මෙය මුල්ම අවස්ථාවේ පවතින්නේ නම් ඊට ශල්‍යකර්ම නොවන ප්‍රතිකාර යෙදීම සාර්ථක ය. සම දෘඩ (skin tightening) කිරීමේ ප්‍රතිකාර ක්‍රමවලින් ඉතා හොඳ  ප්‍රතිපල ලබා ගත හැකිවේ.
  එවැනි ප්‍රතිකාර අතරට ප්‍රධාන වශයෙන් Micro needling,   Micro needling  with radio frequency,  HIFU (High intensity focus ultrasound ) ,  Chemical peeling සහ  ලේසර් (Laser) ප්‍රතිකාරය යන මේවා දක්වන්නට පුළුවන.
සමේ තිබෙන කොලජන් ප්‍රමාණය අඩුවී ඇත්නම්,  ඉහත කී ප්‍රතිකාර  මගින් කොලජන් වර්ධනයක් ලබා ගත හැකිවේ. නමුත් විශේෂයෙන් සඳහන් කළ යුතු දෙය නම් මෙවැනි ප්‍රතිකාර මගින් වඩා හොඳ  ප්‍රතිඵලයක් ලැබිය හැක්කේ  සම ලිහිල් වීමෙහි මුල් අවස්ථාවේ සිටින කෙනෙකුට පමණි.
Micro needling විවිධ  අවස්ථාවල ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරන අතර  එමගින් සමේ කොලජන් ප්‍රමාණය වැඩි කරනු ලබයි. එනිසා මෙම ප්‍රතිකාරය Collagen induction therapy ලෙසද හඳුන්වයි. එසේම මෙම ප්‍රතිකාරය මගින් මුහුණේ ලප කැළැල්,  , අඳුරු බව අඩු කිරීම වැනි කාර්යයන් ද ඉටු කර ගත හැකිය. මුහුණට අවශ්‍ය වෙනත් ප්‍රතිකාර ක්‍රමවලදීත් මෙය භාවිතා කළ හැකි අතර  සම සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයකු වෙතින් මෙය සාර්ථකව ඉටුකරවා ගත හැකිවේ. සමේ ගැටලු ආරම්භ වූ මුල් අවස්ථාවේදී මේ පිළිබඳව  හොඳ  දැනීමක් ඇත්නම්  තමන්ටම හෝ රූපලාවන්‍ය ශිල්පියෙකු ලවා හෝ සමහර non invasive ප්‍රතිකාර ක්‍රම සහ ආලේපන මගින් යම් තරමකට සහනයක් ලබාගත හැකිය.
ඉහත දැක්වූ ප්‍රතිකාර ක්‍රමවල තිබෙන (HIFU) අල්ට්‍රාසවුන්ඩ් කිරණ යොදාගෙන  කරන ප්‍රතිකාර ක්‍රමවලදී සිදු කරන්නේ  එම කිරණ මගින් කම්පනයක් ඇතිකර එතැන උෂ්ණත්වය වැඩි කිරීමයි. එහිදී  එම ස්ථානයේ ඇතිවන උත්තේජනය මගින් සම තද වීමක් සිදුවේ. ඉන්පසු කොලජන් තන්තු අලුතින් නිර්මාණය වීම ආරම්භ වේ. HIFU ප්‍රතිකාර ක්‍රමයේ තිබෙන වාසිය නම් ලේසර්වලට බලපාන රෙගුලාසි මෙම  ප්‍රතිකාර ක්‍රමයේදී නොතිබීමයි. එසේම  HIFU ඉතාමත් ආරක්‍ෂාකාරී ය. නමුත්  මේ සම්බන්ධයෙන් ඉතා හොඳ දැනුමක් හා පලපුරුද්දක් ඇති අයෙකු  වෙතින් පමණක් මෙම  ප්‍රතිකාරය කළ යුතු වන්නේ හරි හැටි අවබෝධයක් නැතිව කිරීම මගින් මුහුණේ සමහර  මේද ස්ථර අඩුවීමට හැකියාවක් තිබෙන නිසා ය. මෙම ප්‍රතිකාරය  වඩාත් සුදුසු වන්නේ මුහුණේ ගැඹුරු  මේද ස්ථරවලට නොව මතුපිට තිබෙන මේද ස්ථරවලට ය.
ලේසර්(LASER), HIFU , Microneedling with RF (Radio-frequency)  යන මේ ප්‍රතිකාර ක්‍රම ශක්තිය (Energy based) පදනම් වුණු ඒවා වේ. එනිසා මෙම ප්‍රතිකාර ලබා ගැනීමේදී ඔබ බුද්ධිමත්  විය යුතුය. ඇතැම් සංකූලතා ඔබේ මුහුණට හානි ගෙනදිය හැකිනිසා ප්‍රතිකාර ලබා ගැනීමේදි සුදුසුකම් ලත් හා පළපුරුද්දක් ඇතිදැයි විමසීම ඔබගේ වගකීමයි.  මෙවැනි  ප්‍රතිකාර  සම්බන්ධයෙන් නිසි නියාමනයක්  අපේ රටේ නොමැති නිසා  සායනික නොවන ස්ථානවලින්  මෙවැනි  ප්‍රතිකාර ගැනීමෙන් ඔබගේ වටිනා ජීවිතයටද බලපෑම්  ඇති විය  හැකිය . මෙමගින්  සමේ විවිධ සංකූලතා හට ගැනීමද හැකියාවක් තිබේ. එවැනි රෝගීන් ගේ  සංකූලතාවලට ප්‍රතිකාර කිරීමද බොහෝ විට ඉතා අපහසු  කාර්යයකි.
සම එල්ලා වැටීමේ මුල් කාලයේ දී මෙම ප්‍රතිකාර ක්‍රම මගින්  සාර්ථක ප්‍රතිඵල  ලැබිය හැකි මුත් එය මධ්‍යස්ථ තත්ත්වයේ සිට උග්‍ර තත්ත්වය දක්වා වර්ධනය වූ අවස්ථාවලදී එවැනි ප්‍රතිකර්මවලින් වැඩි ඵලක් වන්නේ නැත. එවැනි අයට facelift නමින් හඳුන්වන ශල්‍යකර්මය භාවිතා කරන්නට සිදුවේ.  ‍ මෙහි වඩාත්ම ප්‍රතිඵලදායී ශල්‍යකර්ම වන්නේ Deep plane facelift සහ  SMAS  facelift සැත්කම්  ය. මේවා මගින් මුහුණේ කම්මුල්වල, බෙල්ල යට සම එල්ලා වැටීම වළක්වන්නට පුළුවන. සමහර විට නිකට යට තිබෙන මේදය  Liposuction මගින් ඉවත් කිරීමට අවශ්‍යවේ. තරුණ පෙනුමක් ලැබීම සඳහා ඉතා සාර්ථක ප්‍රතිඵල මෙම ශල්‍යකර්ම මගින් ලබාගත හැකිය . මේ හා සම්බන්ධව වැඩි විස්තර ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයකු හමු වීමෙන් ලබා ගත හැකිවේ.
මුහුණේ ඇතිවන රැලි ( wrinkles ) වර්ග දෙකකි. එකක් නම්, සිනාසෙන විට හෝ කතා කරන විට ආදී වශයෙන් ඇස දෙපැත්තේත්, නළලේ, කට දෙපැත්තේත් දැකිය හැකි රැලි විශේෂයයි. අනෙක නම් අංග චලන කිසිවක් නැතිව නිදහස්ව සිටින විටත් දැකිය හැකි  රැලි වේ. Botox යනු මේ සඳහා කරනු ලබන ප්‍රතිකාරයකි. විශේෂයෙන්  ඇස් දෙපැත්ත, නළල, නාසය උඩ, බෙල්ලේ නිකට යට කොටස වැනි ප්‍රදේශවල ඇතිවන රැලි Botox ඉන්ජෙක්ෂන් ප්‍රතිකාර ක්‍රමය මගින් නැති කළ හැකිය.  ඇහි බැමි පහළට වැටීම සහ නළල රැලි වැටීම  යථා තත්ත්වයට පත් කිරීමටත්  Botox ඉතා සුදුසු ප්‍රතිකාරයකි. නමුත් ඊට පෙර මෙම ප්‍රතිකාරය සුදුසුද නැද්ද  යන්න පරීක්ෂා කර බැලිය යුතුවේ. යම් හෙයකින් botox මගින්  යම් අයකුගේ එම තත්ත්වය සුව කළ නොහැකි බව වැටහුණහොත්  facelift  ප්‍රතිකාර ක්‍රමය භාවිත කරන්නට සිදුවේ.
මුහුණේ  හැඩතල ද ශල්‍යකර්මයක් මගින් පවතිනවාට වඩා හොඳ  වර්ධනයක් ලබාගත හැකිය .  නමුත් ඇතැම්  ප්‍රදේශවල හැඩතල ෆිලර්ස් (Dermal fillers ) මගින් ද ලබා ගත හැකිවේ.  මුහුණේ කම්මුල්වල ප්‍රමාණය,  තොල්වල ප්‍රමාණය එමගින් වර්ධනය කර ගැනීමට පුළුවන.
ශ්‍රී ලංකාවේද මෙම බොහෝ ප්‍රතිකාර ක්‍රම පෞද්ගලික රෝහල්වලදී සිදු කර ගත හැකිය. ඒ සඳහා වැඩි මුදලක් වැය වන මුත්  මෙමගින්  ලැබෙන තරුණ පෙනුම බොහෝ කාලයක් පවත්වා ගැනීමට හැකියාව ඇත.
ස්කොට්ලන්තයේ , ඇබර්ඩින් රෝහලේ  විශේෂඥ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය සතිස් විජේමාන්න
සැකසුම – ඉන්දු පෙරේරා
විනිවිද සායනය