වී අස්වැන්නට එල්ල වන නූතන බහිරව දෝෂ

කුඹුරේ පැසෙන ගොයම වී නැතහොත් “බැත” වශයෙන් කමතෙන් අටුවට කොටුවට ගන්නා තුරු ඊට බැලුම් හෙළන බහිරවයන් පිළිබඳ ගුප්ත විශ්වාස අර රටේ ගැමි ජනතාව අතරේ පැතිර තිබේ.එහෙත්,දැන් දැන් අසන්නට ලැබෙන තොරතුරු වලින් අනාවරණය වනුයේ අද වන විට එම ගුප්ත බහිරව දෝෂ යථාර්ථවාදී මට්ටමටම පැමිණ ඇති බවකි. පසුගිය කාලයේ වී අලෙවි මණ්ඩලය හරහා ක්‍රියාත්මක වූ රජයේ වී මිල දී ගැනීමේ යාන්ත‍්‍රණය අද වන විට මුළුමනින්ම අඩාල වී තිබේ.

රුපියල් 120-130ත් අතර මුදලකට ගොවියාගෙන් වී මිල දී ගැනීමට කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර ගත් උත්සාහය උපන් ගෙය තුළම වළලා දැමීමේ උත්සාහයක් ආණ්ඩුව තුළින්ම දියත් කරන ලද බව මේ වන විට ප්‍රසිද්ධ රහසකි. ඒ හේතුවෙන් තම අස්වනු අළෙවි කර ගැනීමේ බරපතල ගැටළුවකට මුහුණ දී ඇතැයි රජරට ගොවීහු මැසිවිලි නඟති.මේ අතර අලෙවි මණ්ඩලය හරහා ක්‍රියාත්මක වූ රජයේ වී මිලදී ගැනීමේ යාන්ත‍්‍රණයට එරෙහිව මහා පරිමාන සහ මධ්‍යම පරිමාන සහල් මෝල් හිමියන් මෙන්ම ඇතැම් දේශපාලන පක්ෂ ද නැඟී සිටිනු දක්නා ලදී.විකල්ප දේශපාලන කණ්ඩායම් කියා සිටිනුයේ වර්තමාන ජීවන වියදම සලකා වී සඳහා වී කිලෝවක් සඳහා ගොවියාට අවම වශයෙන් රුපියල් එකසිය පනහක් වත් ලබා දිය යුතු බවකි.

මෙය හරියට හාමතේ මැරෙන්නට යන මිනිහාට කුස ගිනි නිවා ගැනීමට මොනවා හරි නොදී අංග සම්පූර්ණ පෝෂ්‍ය පදාර්ථ් සපිරි ආහාර වේලක්ම දිය යුතුය යනුවෙන් ඉල්ලා සිටීමක් මෙනි. මේ අතර අනුරාධපුර දිස්ත‍්‍රික් මහා වාරිමාර්ග ඒකාබද්ධ ගොවි සංවිධානය මඟින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වූ එහි ලේකම් පුංචිරාළ රත්නායක පැවසුවේ මහා පරිමාණ මෝල් හිමියන් මෙවර ද තම සුපුරුදු “සූදුව” ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බවකි. පසුගිය කාලයේ ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට පැමිණි වී අලෙවි මණ්ඩලය මුදල් නැතැයි කියමින් ආපසු හැරී ගිය බවත් ඉන් පසුව අසරණ වන ගොවීන් හමුවට එන සහල් මෝල් හිමියන් රුපියල් 80ට 90ට වී මිලට ගන්නා බවත් ඔහු කීය.

එමෙන්ම ණය ගෙවා ගැනීම සඳහා ගොවීන් ඒ මිලට අලෙවි කරන වී ගබඩා කොට තබා ගන්නා හාල් මෝල් හිමියන් වසර අවසානයේ වී මිල රුපියල් එකසිය පනහ වශයෙන් හඳුන්වා එම සහල් රුපියල් දෙසිය පනහ තුන් සියය වැනි මිලට වෙළඳ පලට නිකුත් කරන බව ද හෙතෙම කීය.මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් කරුණු දැක්වූ පුංචිරාල රත්නායක පැවසුවේ මේ පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමු කරන මෙන් නිරන්තර ඉල්ලීම් කළ ද ඒ පිළිබඳ මෙතෙක් නිසි අවධානයක් යොමු කර නොමැති බවකි. මේ අතර වී මිල දී ගැනීම පිණිස වී අලෙවි මණ්ඩලයට බැංකු මඟින් ණය පහසුකම් නොදීම හේතුවෙන් එම වී මිල දී ගැනීමේ ක්‍රියාවලිය සතොස මඟින් සිදු කිරීමට ද යෝජනා විය.නමුත් අපට හැඟී යනුයේ මේ සියල්ල නොකෙරෙන වෙදකම් බවකි.

bahirawa

මේ අතර වී මිල දී ගැනීම සඳහා ගොවි භාර අරමුදලෙන් සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් රුපියල් මිලියන 500 ක් ලබා ගැනීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්, රෝහණ පුෂ්ප කුමාර සඳහන් කරයි. ඔහු මේ බව කියා සිටියේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ගේ ප‍්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවක දී මෙම තීරණයට එළැඹි බවකි.ඒ අනුව ගොවි භාර අරමුදලෙන් ලබාගැනීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 200 ක් බව ද පැවසෙයි.

එමෙන්ම කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් ද රුපියල් මිලියන 300 ක් ලබා ගැනීමට නියමිත අතර මෙම මුදල් ලබාගත් විගස යළ කන්නයේ වී මිල දී ගැනීම යළි ආරම්භ කළ හැකි බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.කෙසේ වෙතත් අඛණ්ඩව වී අස්වනු මිල දී ගැනීම සඳහා රාජ්‍ය බැංකුවලින් ලබාදීමට පෙරොන්දු වූ රුපියල් මිලියන 2,000 ක ණය මුදල කඩිනමින් ලබාදිය යුතුව ඇති බව ද ඔහු ප‍්‍රකාශ කරයි.මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කලේ ඉකුත් දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී රාජ්‍ය බැංකු ලබාදීමට එකඟ වූ ණය මුදල කොටස් වශයෙන් කඩිනමින් ලබාගැනීමේ තීරණයකට එළැඹි බවයි.

නමුත් මේ සියල්ල පිළිබඳ යෝජනා දිගට හරහට ගොඩ ගැසෙද්දී අපේ රටේ වී ගොවියන් සේම පාරිභෝගිකයන් ද ගසා කන බහිරව යාන්ත්‍රණය නිරතුරුවම ක්‍රියාත්මක වන බව පෙනෙයි..ශ්‍රී ලාංකේය දේශපාලනයේ “ඇම්ඩන්”: කෙනෙකු වශයෙන් ඇතැමුන් හඳුන්වන වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මේවා නොදැන සිටිනවා ද නැතහොත් මේවා දැන දැන දැක දැක සිතා මතාම නිහඬව සිටිනවා ද යන්න දන්නේ ඔහුම පමණි.ඒ කෙසේ හෝ වී වගාවට එල්ල වන මෙම නූතන බහිරව දෝෂ මුළුමනින්ම පිටු දකින තුරු ඉන් ගොවියාටවවත් පාරිභෝගිකයාට වත් පොදුවේ රටට වත් නපුරක් අයහපතක් මිස හොඳක් නම් සිදු නොවන බව නම් අතිශයින් පැහැදිලි ය.

දමයන්ති ගමගේ

එතෙර - මෙතෙර