ශ්‍රී ලංකාව සයිබර් හැකරුන්ගේ නවාතැන්පළක් වීමේ අවදානමක්

ශ්‍රී ලංකාව සයිබර් හැකරුන්ගේ නවාතැන්පළක් වීමේ අවදානමක්

විසි එක්වන සියවසේ තාක්ෂණික දියුණුවත් සමඟ ගෝලීයකරණය වූ ලෝකය මුහුණ දෙන බරපතළම අභියෝගය වන්නේ සයිබර් අපරාධයි. මෑතකාලීන වාර්තා සහ ආරක්ෂක අංශවල වැටලීම් දෙස බැලීමේදී, භූ දේශපාලනික වශයෙන් වැදගත් ස්ථානයක පිහිටි ශ්‍රී ලංකාව විදේශීය සයිබර් අපරාධකරුවන්ගේ ප්‍රධාන නවාතැන්පළක් (Safe Haven / Hub) බවට පත්වීමේ බරපතල ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. විශේෂයෙන්ම සංචාරක වීසා මත මෙරටට පැමිණෙන විදේශිකයන් කණ්ඩායම් වශයෙන් නවාතැන් ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය වංචා සහ සයිබර් අපරාධ මෙහෙයවන ජාලයන් රැසක් ආරක්ෂක අංශ විසින් වටලා තිබීම තුළින් මෙම අවදානම මේ වන විටත් ලෝකය හමුවේ නිරාවරණය වී ඇත.

ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර සයිබර් මාෆියාව මුල් ඇද ඇති බව තහවුරු වන ප්‍රධානතම සාධකය වන්නේ මෑතකාලීන මහා පරිමාණ අත්අඩංගුවට ගැනීම්ය. රාජගිරිය ප්‍රදේශයේ සත් මහල් නිවාස සංකීර්ණයකදී විදේශීය සයිබර් අපරාධකරුවන් 120 දෙනෙකු අත්අඩංගුවට පත්වීමේ සිදුවීම මීට කදිම නිදසුනකි. වැලිකඩ පොලිසිය සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය (Sri Lanka CERT) සිදුකළ විමර්ශනවලට අනුව, චීනය, වියට්නාමය, මැලේසියාව වැනි රටවලින් පැමිණි මෙම පිරිස මෙරට සිටිමින් කැලිෆෝනියාවේ සහ සවුදි අරාබියේ බැංකු ගිණුම් හැක් කරමින් රුපියල් කෝටි 15කට අධික මහා පරිමාණ ජාත්‍යන්තර මූල්‍ය වංචාවල නිරත වී ඇත.

ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර සයිබර් මාෆියාව මුල් ඇද ඇති බව තහවුරු වන ප්‍රධානතම සාධකය වන්නේ මෑතකාලීන මහා පරිමාණ අත්අඩංගුවට ගැනීම්ය. රාජගිරිය ප්‍රදේශයේ සත් මහල් නිවාස සංකීර්ණයකදී විදේශීය සයිබර් අපරාධකරුවන් 120 දෙනෙකු අත්අඩංගුවට පත්වීමේ සිදුවීම මීට කදිම නිදසුනකි. වැලිකඩ පොලිසිය සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය (Sri Lanka CERT) සිදුකළ විමර්ශනවලට අනුව, චීනය, වියට්නාමය, මැලේසියාව වැනි රටවලින් පැමිණි මෙම පිරිස මෙරට සිටිමින් කැලිෆෝනියාවේ සහ සවුදි අරාබියේ බැංකු ගිණුම් හැක් කරමින් රුපියල් කෝටි 15කට අධික මහා පරිමාණ ජාත්‍යන්තර මූල්‍ය වංචාවල නිරත වී ඇත. මෙලෙස විදේශිකයන් සිය ගණනින් කොටුවීම රාජගිරියට පමණක් සීමා නොවී ගාල්ල, බොරලැස්ගමුව, හබරාදූව වැනි ප්‍රදේශවලින්ද වාර්තා විය. එහිදී ලැගුම්හල් සහ නිවාස තුළ සංවිධානාත්මකව රැඳී සිටි චීන, වියට්නාම, ඉන්දීය සහ තජිකිස්ථාන ජාතිකයන් සිය ගණනක් පරිගණක සහ ස්මාර්ට් ජංගම දුරකථන සිය ගණනක් සමඟ අත්අඩංගුවට පත්ව තිබේ. විශේෂයෙන්ම ගාල්ල ප්‍රදේශයේදී පමණක් සයිබර් අපරාධවලට සම්බන්ධ බවට සැකපිට ඉන්දීය ජාතිකයන් 110 දෙනෙකු සහ වියට්නාම ජාතිකයන් 74 දෙනෙකු ඇතුළු පිරිස් පරිගණක අපරාධ පනත යටතේ කොටු කරගෙන තිබේ. දැඩි ආරක්ෂක රැකවල් මැද්දේ ක්‍රියාත්මක වූ මෙම ජාවාරම් තුළින් පෙනී යන්නේ සයිබර් අපරාධකරුවන් තම ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව තෝරා ගැනීමට මේ වන විටත් පෙළඹී ඇති බවයි.

රාජගිරිය ප්‍රදේශයේ දී අත් අඩංගුවට පත් සයිබර් හැකරුන්
රාජගිරිය ප්‍රදේශයේ දී අත් අඩංගුවට පත් සයිබර් හැකරුන්

මෙම අහිතකර ප්‍රවණතාව වර්ධනය වීම කෙරෙහි සාධක කිහිපයක් සෘජුවම බලපා ඇත. ප්‍රධාන වශයෙන්ම රටේ පවතින ලිහිල් වීසා ක්‍රමවේද සහ ආගමන විගමන පාලනයේ පවතින දුර්වලතා මීට හේතු වී තිබේ. සංචාරක වීසා (Tourist Visa) ලබාගෙන මෙරටට ඇතුළු වීමට ඇති පහසුව සහ වීසා කොන්දේසි නිරීක්ෂණය කිරීමේ පවතින දුර්වලතා නිසා, රාජගිරියේදී අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 28 දෙනෙකුම වලංගු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැඳී සිටි බව අනාවරණය විය. දෙවනුව, ශ්‍රී ලංකාව තුළ සාපේක්ෂව අඩු පිරිවැයකින් අවශ්‍ය සියලු යටිතල පහසුකම් සහිතව සුඛෝපභෝගී නවාතැන් ලබාගත හැකි වීම සහ සන්නිවේදන/අන්තර්ජාල පහසුකම් පුළුල්ව පැවතීම අපරාධකරුවන්ට මහඟු පිටුවහලක් වී ඇත. තෙවනුව, සයිබර් ආරක්ෂණ නීති රීති බලාත්මක කිරීමේ සහ මෙවැනි සංවිධානාත්මක කල්ලි කල්තියා හඳුනාගැනීමේ තාක්ෂණික පද්ධතිවල පවතින හිඩැස් සහ අඩුපාඩු ද දේශීය මෙන්ම විදේශීය හැකරුන්ගේ ආකර්ෂණයට හේතු වී තිබේ. මෙම අඛණ්ඩ සිදුවීම් හරහා “ශ්‍රී ලංකාව සයිබර් අපරාධකරුවන්ට සුදුසුම සහ ආරක්ෂිතම තැනක්” යන අහිතකර ප්‍රතිරූපය ජාත්‍යන්තරය තුළ මේ වන විටත් ගොඩනැඟෙමින් පවතී. මෙය අතිශය බරපතල තත්ත්වයකි.

විදේශීය හැකරුන්ගේ පැමිණීමට අමතරව, දේශීය වශයෙන් පවතින සයිබර් තර්ජන සහ අවදානම් තත්ත්වයද ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය (Sri Lanka CERT) පෙන්වා දෙන්නේ වසරින් වසර මූල්‍ය වංචා, තතුබෑම් (Phishing) සහ සමාජ මාධ්‍ය අවභාවිතය පිළිබඳ පැමිණිලි දහස් ගණනකින් ඉහළ ගොස් ඇති බවයි. තොරතුරු තාක්ෂණ විශේෂඥයන්ට අනුව, ගෝලීය වශයෙන් සයිබර් තර්ජන සහ අවදානම වැඩිම රටවල් අතර ශ්‍රී ලංකාව 20 වැනි ඉහළ ස්ථානයක පසුවීම කණගාටුදායක තත්ත්වයකි.

මෙම අවදානම තීව්‍ර වීමට මෙරට ඉහළ රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ සහ වගකිවයුත්තන්ගේ සයිබර් සාක්ෂරතාවය සහ තාක්ෂණික අවබෝධය අවම මට්ටමක පැවතීමද තවත් රුකුලක් වී ඇත. උදාහරණයක් ලෙස, මහා භාණ්ඩාගාරයේ සිදුවූ ඩොලර් මිලියන 2.5ක මූල්‍ය විස්ථාපනය හුදු “සයිබර් ප්‍රහාරයක්” ලෙස පමණක් මුදල් ලේකම්වරයා ඇතුළු රජයේ ප්‍රධාන වගකිවයුත්තන් පවා අර්ථකථනය කිරීම, ඔවුන් සතු පරිගණක සාක්ෂරතාවයේ පවතින අඩුව ලෝකය හමුවේ ප්‍රදර්ශනය කිරීමකි. පද්ධතිවල පවතින තාක්ෂණික දුර්වලතා හඳුනාගෙන ඒවා ශක්තිමත් කරනවා වෙනුවට, මෙවැනි වගකීම් විරහිත ප්‍රකාශ මඟින් හැකරුන්ට මෙරට පද්ධතිවලට රිංගීමට ඇති පහසුව තවදුරටත් තහවුරු කරයි.

කෙසේ වෙතත්, වත්මන් තත්ත්වයේ බරපතලකම වටහාගෙන රජය සහ ආරක්ෂක අංශ යම් පියවර ප්‍රමාණයක් ගනිමින් සිටී. සංචාරක වීසා මත සැකකටයුතු ලෙස මෙරටට පැමිණෙන විදේශිකයන් සහ ඔවුන් නවාතැන් ගන්නා ස්ථාන නිරීක්ෂණයට ආගමන විගමන දෙපාර්තමේන්තුව ගුවන්තොටුපළ කේන්ද්‍ර කරගනිමින් විශේෂ මෙහෙයුම් ආරම්භ කර ඇත. එමෙන්ම, සයිබර් සොරකම් සහ දේශසීමා හරහා සිදුවන මූල්‍ය අපරාධ වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වැනි අසල්වැසි රටවල් අතර ඒකාබද්ධ ආරක්ෂක සාකච්ඡා සහ ජාත්‍යන්තර සහයෝගීතාවයන් ද ක්‍රියාවට නංවා තිබේ.

අනාගතයේදී ශ්‍රී ලංකාව සයිබර් හැකරුන්ගේ නිත්‍ය නවාතැන්පළක් වීම වැළැක්වීමට නම්, වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික සයිබර් ආරක්ෂණ පනත තවදුරටත් ශක්තිමත් කළ යුතු ය. ආගමන විගමන දෙපාර්තමේන්තුව, පොලිසිය සහ CERT වැනි ආයතන ඒකාබද්ධව සංචාරක වීසා මත පැමිණෙන විදේශිකයන් සහ ඔවුන් මෙරට තුළ සිදුකරන ක්‍රියාකාරකම් පිළිබඳ දැඩි නිරීක්ෂණ ජාලයක් ගොඩනැඟීම අත්‍යවශ්‍ය වේ.

නමුදු, අනාගතයේදී ශ්‍රී ලංකාව සයිබර් හැකරුන්ගේ නිත්‍ය නවාතැන්පළක් වීම වැළැක්වීමට නම්, වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික සයිබර් ආරක්ෂණ පනත තවදුරටත් ශක්තිමත් කළ යුතු ය. ආගමන විගමන දෙපාර්තමේන්තුව, පොලිසිය සහ CERT වැනි ආයතන ඒකාබද්ධව සංචාරක වීසා මත පැමිණෙන විදේශිකයන් සහ ඔවුන් මෙරට තුළ සිදුකරන ක්‍රියාකාරකම් පිළිබඳ දැඩි නිරීක්ෂණ ජාලයක් ගොඩනැඟීම අත්‍යවශ්‍ය වේ.

මේ සියලු තත්ත්වයන් යටතේ වුවද ශ්‍රී ලංකාව සයිබර් හැකරුන්ගේ ආරක්ෂිත නවාතැන්පළක් වීමේ අවදානම ඉතා ඉහළ මට්ටමක පවතී. පවතින නීතිමය හිඩැස් සහ ලිහිල් පාලනය වහාම නිවැරදි නොකළහොත්, ආර්ථික සංවර්ධනය කරා යන ගමන වෙනුවට, ශ්‍රී ලංකාව ලෝකයා හමුවේ බරපතල අපකීර්තියට හේතු වන ජාත්‍යන්තර සයිබර් මාෆියාවක කේන්ද්‍රස්ථානයක් බවට පත්වීම වැළැක්විය නොහැකි වනු ඇත. එබැවින් යම් යම් සයිබර් අපරාධවල බර සැහැල්ලු කෙරෙන ප්‍රකාශන මඟින් ඇඟ බේරා ගැනීමට වෙර දැරීම වෙනුවට තාක්ෂණික මෙවලම් සහ දැඩි නීතිමය ප්‍රතිසංස්කරණ ඔස්සේ රටේ සයිබර් ආරක්ෂණ පද්ධතිය කඩිනමින් යාවත්කාලීන කිරීම ජාතික අවශ්‍යතාවකි.

රීටා ජෙනට් පෙරේරා

එතෙර - මෙතෙර