සංවර්ධන ජාවාරමෙන් බිහි කළ අලි – මිනිස් ගැටුම පොත එළිදැක්වීම හා මහජන කථිකාව

මා විසින් රචිත ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය මගින් ප්‍රකාශයට පත් කරන ලද “සංවර්ධන ජාවාරමෙන් බිහි කළ අලි – මිනිස් ගැටුම” පොත එළිදැක්වීම හා මහජන කථිකාව 2023 ඔක්තොම්බර් මස 25 වැනි බදාදා ජාතික පුස්තකාල හා ප්‍රලේඛණ සේවා මණ්ඩල ශ්‍රවනාගාරයේ දී  පැවැත්විය.

අලි – මිනිස් ගැටුමේ සැබෑ යථාර්තය අවබෝධ කර දීම පදනම් කර ගෙන පැවති මෙම වැඩසටහන මෙහෙයවීම රෝයි රොද්‍රිගෝ විසින් සිදු කළ අතර අරමුණු පැහැදිලි කිරීම හා පිළිගැනීම ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ මෙහෙයුම්කරු, චින්තක රාජපක්ෂ විසින් සිදු කෙරිණ. මා විසින් සංවර්ධන ජාවාරමේ හා අලි – මිනිස් ගැටුමේ ස්වභාවය පිළිබඳ ව කෙටි අදහස් දැක්වීමක් සිදු කළේ ය.

ඉන් අනතුරු ව පොත පිළිගැන්වීම සිදු විය. ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ උතුරු මැද පළාත් සම්බන්ධීකාරක, විමුක්ති ද සිල්වා, චින්තක රාජපක්ෂ හා මා විසින්, අලි – මිනිස් ගැටුමට විසදුම් සොයන සමාජ ක්‍රියාකාරීන්, පරිසරවේදීන්, මාධ්‍යවේදීන් හා සිවිල් සමාජ ක්‍රියාකාරීන් නියෝජනය වන පරිදි නිමල් දයානන්ද, සුජීවා ප්‍රියදර්ශනී, සමන් සුදර්ශන, සමන්ත ගුණසේකර, නයනක රංවැල්ල, ජගත් ගුණවර්ධන, ක්‍රිශාන් වේවැල්වල, හිමාෂි කරුණාරත්න, රතීන්ද්‍ර කුරුවිට, මෙලනි ගුණතිලක යන අයට පොත පිළිගැන්වීම සිදු විය.

ඉන් පසුව අනුරාධපුර, තලාව ප්‍රදේශයේ අලි – මිනිස් ගැටුමෙන් පීඩාවට පත් ව සිටින ජනතාව ගේ ගැටළු ව හා ඊට හේතු වූ කරුණු පදනම් කර ගෙන සකස් කරන ලද “නිදි නැති මිනිස්සු” කෙටි වාර්තා චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරිණ.

අනතුරු ව සාකච්ඡා මණ්ඩපය ආරම්භ විය. එහි දී හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතිවලින් ඇති කළ අලි – මිනිස් ගැටුම පිළිබඳ ව වලව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති, සමන් සුදර්ශන, මහවැලි එච් කලාපයේ දේශපාලඥයන් ඇති කළ අලි – මිනිස් ගැටුම පිළිබඳ ව මහවැලි එච් කලාපයේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම්, නිමල් දයානන්ද සහ නාකොලගනේ හා ගල්ගමුව ඉඩම් ජාවාරමෙන් ඇති කළ අලි – මිනිස් ගැටුම පිළිබඳ ව වයඹ පළාත් ජනතා සැලැසුම් සංසදයේ ලේකම්, සුජීවා ප්‍රියදර්ශනී විසින් ඔවුන් අත්විදින ප්‍රායෝගික අත්දැකීම් පදනම් කර ගෙන කරුණු ඉදිරිපත් කරන ලදී. ඉන් අනතුරු ව විවෘත සාකච්ඡාව සිදු විය.

මෙම සමස්ත වැඩසටහන තුළ දී ජාතික භෞතික සැලැස්ම මත ගොඩනගා ඇති සංවර්ධන ජාවාරම හා ඒ මත වර්ධනය වන අලි – මිනිස් ගැටුම නිවැරදි ව අවබෝධ කර ගැනීමට හැකි වීම පමණක් නොව ජනතාව හා ස්වාභාවික සම්පත්වල ආරක්ෂා ව මත නිවැරදි ව ගොඩනගන සංවර්ධන මාවතකට පිවිසිම සහ ඒ මත සමස්ත පරිසරය මෙන් ම ජන දිවිය සුරක්ෂිත කිරීම පිළිබඳ ව අවබෝධ කර ගත හැකි වීම විශේෂත්වයක් විය. නමුත් මෙය සමස්ත ලාංකීය ප්‍රජාවට ම අවබෝධ කර දීම හා ජනතා බලවේගයක් මත මෙය රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට පත් කර ගැනීම අප හමුවේ ඇති ප්‍රධාන අභියෝගය වී ඇත. එම අභියෝගය ජය ගත හැකි වන්නේ අවබෝධය මත ගොඩනැගෙන බලපෑම් කළ හැකි සමාජයක් තුළින් පමණි.

සජීව චාමිකර

හරිත දනව්ව