නාකොළගනේ වන සංහාරයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්

ගල්ගමුව, නාකොළගනේ පුරාණ රජමහා විහාරයට අයත් නින්දගම් බව පවසමින් රජයේ වනාන්තර පෞද්ගලික සමාගමකට අඹ වගාව සඳහා බදු දීමට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (06) සුවිශේෂී නියෝග කිහිපයක් නිකුත් කළේය.පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සම සලකා බැලූ ජනක් ද සිල්වා, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ ආචාර්ය සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල විසින් මෙම ඓතිහාසික තීන්දුව ලබා දෙන ලදී.නාකොළගනේ විහාරාධිපති වලැත්තාවේ රාහුල හිමි ඇතුළු පිරිසක් විත්තිකරුවන් කරමින් පවරා තිබූ මෙම නඩුව මගින් පෙත්සම්කරුවන් පෙන්වා දුන්නේ, මෙම වන සංහාරය හේතුවෙන් අලි ඇතුන්ගේ සාම්ප්‍රදායික නිජබිම් අහිමි වී ප්‍රදේශයේ අලි-මිනිස් ගැටුම උග්‍ර වී ඇති බවයි. විශේෂයෙන්ම අදාළ සමාගම් විසින් ඉදිකළ අනීතික විදුලි වැටවල් හේතුවෙන් ‘චණ්ඩී’ සහ ‘භාතිය’ වැනි ජනප්‍රිය අලි ඇතුන් ඇතුළු සතුන් රැසක් මියගොස් ඇති බවත්, විශාල දේපළ හා ජීවිත හානි සිදුව ඇති බවත් අධිකරණයේදී තහවුරු විය.නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ගරු විනිසුරු මඩුල්ල පහත නියෝග නිකුත් කරන ලදී.මිනින්දෝරු පිඹුරු අනුව හෙක්ටයාර 55ක වනාන්තර හා කුඹුරු භූමිය වහාම අලි කළමනාකරණ රක්ෂිතයක් හෝ සංරක්ෂණ කලාපයක් ලෙස නම් කිරීමට වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කෙරිණි.විහාර දේවාලගම් පනත යටතේ අදාළ විහාරාධිපති හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, බැහැර කරන ලද ඉඩම් නැවත ශාසනයට පවරා ගැනීමටත් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට නියෝග නියෝග කෙරිණි.විනාශයට පත් වූ වනාන්තර ප්‍රදේශය විහාරාධිපති හිමියන්ගේ පෞද්ගලික වියදමින් නැවත වගා කිරීමට පියවර ගත යුතුය.ප්‍රදේශයේ පවතින නීති විරෝධී අලි වැටවල් සහ ඉදිකිරීම් වහාම ඉවත් කිරීමට වනජීවී දෙපාර්තමේන්තුවට බලය පැවරිණි.මෙම සිදුවීමට අදාළ අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පෙත්සම්කරුවන්ට මාසයක කාලයක් ලබා දුන් අතර, ඒ පිළිබඳ විමර්ශනය කර වැරදිකරුවන්ට දඬුවම් දෙන ලෙස පොලිස්පතිවරයාට නියෝග කෙරිණි.තම රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්, මධ්‍යම පරිසර අධිකාරිය සහ වයඹ පළාත් පරිසර අධිකාරිය යන ආයතන භාෂා තුනෙන්ම පුවත්පත් දැන්වීම් පළ කරමින් ප්‍රසිද්ධියේ කනගාටුව ප්‍රකාශ කළ යුතු බව අධිකරණය අවධාරණය කළේය. එමෙන්ම මෙවැනි විනාශයන් වැළැක්වීමට ගන්නා පියවර පිළිබඳවද ජනතාව දැනුවත් කළ යුතු බව තීන්දුවේ සඳහන් වේ.මෙම නඩු තීන්දුව ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයෙකුගේ නායකත්වයෙන් විශේෂ ඒකකයක් පිහිටුවීමට නීතිපතිවරයාට උපදෙස් දී ඇත.පෙත්සම්කරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා ඇතුළු නීතීඥ මඩුල්ලක් පෙනී සිටියහ.

කාලීන පුවත්