සුනඛයන්ගේ සහ බළලුන්ගේ සමේ රෝගවලට ආවාට ගියාට ප්‍රතිකාර නොකළ යුතුයි

සුනඛයන්ගේ සමේ රෝග ගැන අපි මීට පෙරත් කතා කර තිබෙනවා. මේ කතා කරන්නේ සමේ රෝග ගැනම නෙවෙයි. සමේ රෝගයක් නොවන නමුත් සමේ රෝගයකට අදාළ ලක්ෂණ පෙන්නුම් කරන රෝග තත්ත්වයක් සහ සමේ රෝගවලට ගල්වන ඖෂධ පිළිබඳවයි.
මුලින්ම අප කතා කරන්නේ තයිරොයිඩ් ග්‍රන්ථියෙන් නිපදවෙන තයිරොක්සින් සහ ට්‍රයිඉඩියොතයොනින් හෝමෝනවල ඌණතාවය හේතුවෙන් සුනඛයන්ට වැළඳෙන රෝග තත්ත්වයක් ගැනයි. වයස අවුරුදු 4 – 10 ත් අතර වැඩුණු සුනඛයන්ට වැළඳීමේ වැඩි ඉඩකඩක් පවතින මේ රෝගය ව් විශේෂයෙන්ම ගෝල්ඩන් රිට්රීවර්, ඩොබර්මන්, ඩැෂන් වැනි සුනඛයන්ට බහුලව වැළඳෙනු දැකිය හැකියි.
මෙම හෝර්මෝන වර්ග දෙක පිහිටා තිබෙන්නේ බෙල්ල දෙපසයි. මෙමගින් සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවන් හොඳින් පාලනය වෙනවා. නමුත් අසාමාන්‍ය ආකාරයට තයිරොයිඩ් ග්‍රන්ථියට විරුද්ධව සිරුර තුළින්ම නිපදවෙන ප්‍රතිදේහ හේතුවෙන් තයිරොයිඩ් ග්‍රන්ථිය විනාශ වී යාම ප්‍රධාන වශයෙන් මෙම රෝගී තත්ත්වයට හේතුවයි.
මෙම හෝමෝන සාන්ද්‍රනය අඩු වීම මුළු ශරීරයටම බලපාන ගැටලුකාරී තත්ත්වයක්. එනිසා මෙම තත්ත්වය හඳුනාගෙන ප්‍රතිකාර කරා සතාව යොමු කිරීම අත්‍යවශ්‍යයි.

තයිරොයිඩ් ග්‍රන්ථියෙන් නිපදවෙන හෝමෝන සාන්ද්‍රනය අඩු වීමට හේතු

* තයිරොයිඩ් ග්‍රන්ථියට සිදුවන හානි
* ප්‍රතිශක්තිකරණ පද්ධතියේ හටගෙන තිබෙන දෝෂ
* ශරීරය තුළින්ම නිපදවෙන ප්‍රතිදේහ මගින් තයිරොයිඩ් ග්‍රන්ථියේ සෛල විනාශ වී යාම
* තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා

මෙහි රෝග ලක්ෂණ

මෙහිදී වැඩි රෝග ලක්ෂණ ප්‍රමාණයක් දැක ගන්නට ලැබෙන්නේ සම ආශ්‍රිතවයි.
* සමේ රෝම ගැලවීයාම
* සම නිරෝගී නැති රළු ආකාරයක් දිස් වීම
* සමේ විශේෂයෙන් රෝම අඩු උදරය වැනි ප්‍රදේශ ආශ්‍රිතව යම් යම් ස්ථානවල කළු පැල්ලම් පැවතීම
* ක්‍රියාශීලී බව අඩුවීම
* හෘද ස්පන්දන වේගය අඩුවීම * රක්තහීනතාවය

මෙම රෝගය රුධිර පරීක්ෂණයක් මඟින් හඳුනාගත හැකියි. එහිදී රුධිරයේ පැවතිය යුතු හෝමෝන මට්ටම පහළ බැස ඇති ආකාරය දැක ගන්න පුළුවන්.
ප්‍රතිකාර ලෙස හෝමෝන පෙති ලබා දීම සිදු කරනවා. මෙහි දී විශේෂයෙන් සිහි තබාගත යුතු කරුණක් වන්නේ හෝමෝන ප්‍රතිකාර ටික කලක් කර අතරමග නතර කර දැමිය නොහැකි බවයි. එය සතාගේ ජීවිත කාලය පුරාම වෛද්‍ය උපදෙස් මත ලබා දිය යුතුයි.

සුනඛයින්ගේ මෙන්ම බළලුන්ගේ ද සිරුරට හානි පමුණුවන මැක්කන් කිනිතුල්ලන් වැනි සතුන් වඳ කිරීම සඳහාත්, සමේ රෝග සඳහාත් විවිධ ඖෂධ වර්ග සමේ ගැල්වීම බොහෝ විට සිදු කරනවා. පරපෝෂිතයන් වඳ කිරීම සඳහා දෙනු ලබන මෙම ඖෂධ ඉතාම විෂ සහිතයි.

සමෙහි ගල්වන ආලේපන විෂ වූ විට දැකිය හැකි ලක්ෂණ

* වමනය හෝ දියර ලෙස මලපහ වීම
* මාංශ පේශීන් වෙව්ලීම
* මුඛයෙන් කෙල වෑස්සීම
* සිරුර අප්‍රාණික වීම
* හුස්ම ගැනීමේ අපහසුව
* අවසානයේ පියවි සිහිය නැතිවී යාම

මෙලෙස සමේ ගල්වන ආලේපන විෂ වන්නේ බොහෝ විට සතාගේ ශරීර ශක්තිය හීන වූ අවස්ථාවලදීයි. විශේෂයෙන් සතුන් ස්නානය කර වූ විගස ශරීරයේ උෂ්ණත්වය පහළ බැස ඇති අවස්ථාවලදී සමේ ඖෂධ ගැල්වූ විට ඒවා විෂ වීමේ වැඩි හැකියාවක් පවතිනවා.
ශල්‍යකර්මයක් වැනි දෙයක් සඳහා නිර්වින්දනය කර ඇති අවස්ථාවලදී ද ශරීර උෂ්ණත්වය පහළ බසිනවා. එවිට ද සමට පිටතින් ගල්වන ඖෂධ විෂ මේ ඉඩකඩක් තිබෙනවා.

තවත් සමහර සතුන් ස්වභාවයෙන්ම අසාත්මිකතාවයන්ට ගොදුරු වීමේ හැකියාවෙන් යුතුයි. එවැනි සතුන්ගේ සමේ පෙර කී ආකාරයේ ඖෂධ ගැල්වූ විට ඒවා අසාත්මික වීමට තිබෙන හැකියාව වැඩියි.
සමෙහි ගැල්වූ විෂ ආලේපනයක් සතාගේ සිරුරට ද විෂ වී ඇති බව හැඟේ නම් හැකි ඉක්මනින් ගල්වා ඇති ආලේපනය ඉවත් කිරීම කළ යුතුයි. ප්‍රබල ඩිටර්ජන්ට් වර්ගයකින් හෝ රෙදි සේදීමට ගන්නා සැර සබන් වර්ගයකින් සතා සෝදා ගල්වා ඇති ආලේපනය ඉක්මනින් ඉවත්කර උණුසුම් තුවායකින් සිරුර පිස දැමීම මෙහිදී වැදගත්.
එසේම විෂ ආලේපන ගල්වන විට දී ඒවා සතුන්ගේ මුඛයෙහි නොගෑවෙන ආකාරයට මෙන්ම කුමන ආකාරයකින් හෝ ආහාර මාර්ගයට ඇතුළු නොවන පරිදි ගැල්වීමට කල්පනාකාරී වන්න.
ඖෂධය යම් ජල ප්‍රමාණයක දියකර සිරුරෙහි ආලේප කරන ලෙස උපදෙස් ලබා දී ඇති විට උපදෙස්වලින් දැක්වෙන නියම පරිමාවට ම ජලය එකතු කිරීමට වගබලාගත යුතුයි.

පරපෝෂිතයන් වඳ කිරීමට ඖෂධ ගැල්වීමේදී ගැල්වීමේ දී නැවත ගැල්වීම මසකින් හෝ යම් කාල සීමාවක් ලෙස උපදෙස් දී ඇති විට එම කාල සීමාව ගතවන්නට පෙර නැවත ඖෂධ ගැල්වීම නොකළ යුතුයි. එලෙස සඳහන් කර ඇති උපදෙස්වලින් බාහිරව හිතුමතේ සතුන්ගේ සමෙහි විෂ ඖෂධ ආලේප කිරීම සතාගේ ශරීර අභ්‍යන්තර අවයවවලට පවා අහිතකර අන්දමින් බලපෑමට හැකියාවක් තිබෙනවා.
එසේම සුනඛයන් වෙනුවෙන් නිර්දේශිත ඖෂධ බළලුන්ගේ සිරුරෙහි සමහරුන් ගල්වනවා. එය ඉතා අහිතකරයි . විශේෂයෙන් සුනඛයින්ට සාපේක්ෂව බළලුන් තම සිරුර ලෙවකා ගනිමින් පිරිසිදු කරගන්නා නිසා සුනඛයින් සඳහා නිර්දේශිත එවැනි විෂ සහිත ආලේපන බළලුන් ගේ සිරුරෙහි ආලේප කළ විට ඔවුන් ඒවා ලෙව කෑම හේතුවෙන් එම විස ශරීර අභ්‍යන්තරයට පිවිසිය හැකියි.
සුනඛයන්ගේ මෙන්ම බළලුන්ගේ ද පරපෝෂිත උවදුරු සහ සමේ රෝග තත්ත්වයන් ඉතා සරල සහ සුලබ වුවද ඒ සඳහා හිතුමතයට සිදු කරන ප්‍රතිකර්ම මගින් නොසිතන ආකාරයේ බරපතළ තත්ත්වයන් වුවද උද්ගත වීමට හැකියාවක් තිබෙන බව විශේෂයෙන් අවධාරණය කරවනවා.

පශු වෛද්‍ය ඉසුරු අංජුල පෙරේරා

සැකසුම – ඉන්දු පෙරේරා

විනිවිද සායනය