භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය මහජනයාට අවබෝධ කරවන අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්මය සැවොම වටහා ගනිත් වා! – සුනිල් කන්නන්ගර විශ්‍රාමික, ශ්‍රී ලංකා පරිපාලන සේවය

 

අපේ රටේ ගොවිතැන් කරන අය නිතරම කියන්නෙ අපි මහ පොළොව මත්තෙම නැහෙනවා කියලයි.ඒ කියන්නෙ මහ පොළොව සකස් කරල ගොවිතැන් කරල ජීවත් වෙන එකේ තියෙන අමාරුව පෙන්නන්න කියන්නෙ මහ පොළොව මත්තෙ නැහෙනවා කියලයි.මේ විදියට ඕනෑම කෙනෙක් කරන රස්සාව මහ පොළොවට කිනම් හෝ සම්බන්ධයක් තියෙනවා. අහසෙ පියාඹමින් තමන්ගෙ අණසක පතුරුවාගෙන “පියෝ පියෝ” කියල කැගහ ගහ රවුම් ගහන උකුස්සටත් ආහාරය හොයාගන්න වෙන්නෙ මහ පොළොවට බැහැලයි.ඒ ඇරුණම සියලුම වනසතුන් හීලෑ සතුන් මිනිසුන් ක්ශුද්‍ර ජීවින්ට පවා ජීවත් වෙන්න නම් මහ පොළොවක් තියෙන්න ඕන.මිනිස්සුන්ට සම්බන්ධයක් නැතුව ඉන්නවයි කියන දෙවියො ජීවත්වෙන දිව්‍යලෝකෙ වුණත් මහපොළොව එක්ක සම්බන්ධයි .ඇයි ඔය දිව්‍ය ලෝකෙ පාලනය කරන ශක්‍ර දෙවියො කියන රජ්ජුරුවන්ගෙ ආසනේ රත්කරන්න පුලුවන් වෙන්නෙ මහපොළොව ඉන්න අයටලු නෙ.ඒක රත්වෙන්නෙ මේ මනුස්ස ලෝකෙ ජීවත් වෙන යහපත් අයට කරදරයක් වෙනකොටලු නෙ.ශක්‍ර දෙවියන්ගෙ ආසනේ රත්කරන කට්ටිය වැඩියෙන් ඉන්නෙ කොහේද? කියල සමීක්ෂණයක් කරල බැලුව නම් හැබැයි ලංකාවට තමයි කප් එක හම්බුවෙන්නෙ.මේ දවස්වල වෙන කප්වලට කිට්ටු කරන්නත් බැරුව චාං චහ් වෙලා ඉන්න අපි ඔන්න ඔය කිව්ව සක් දෙව් අසුන්‍ රත්කිරීමේ කප් එකවත් ගන්න බැලුව නම් හොඳයි.

කොහොම හරි මේ පොළොව ජීවීන්ට නැතුවම බැරි දෙයක් නිසාත් මේකෙන් ලැබෙන ප්‍රයෝජනේ කියන්න බැරිතරම් වෙන නිසාත් ම්නිස්සු මහ පොළොව දේවත්වයක් ආරෝපණය කරල තියෙනවා.අපි වගේ රටවල උදවිය මහ පොළොව හදුන්වන්නෙ පොලෝ මහී කාන්තාව නම් දිව්‍යාංගනාව විදියටයි බෞද්ධ අපේ සාම්ප්‍රදායික සති පිරිත් පිංකමේදී දොරකොඩ අස්නෙන් පස්සෙ අනුශාසනාව කරන ස්වාමීන් වහන්සේලා සමස්ත දේව සමූහයාටම පින් අනුමෝදන් කරවන කොට බොහෝම මිහිරි රිද්මයානුකූලව නිවැරදි උච්චාරනයෙන්‍ යුක්තව “හෙම සිංහසනාසීන දක්ෂිණ කරගෘහිත කලසාභිරාමවූ මහී කාන්තාව විසින්ද එහි පින් අනුමෝදන් විය යුත්තේය.”කියල අනුශාසනාවෙදි දේශනා කරන කොට මහත් බැතියෙන් අපේ බෞද්ධයො සාදුකාර දෙන්නෙ මේ පොලෝ මහී කාන්තාවය කියන මහ පොළොවට තියෙන බැඳීම හින්දමයි. කොටින්ම කියන්න තියෙන්නෙ පොළොව නැත්නම් ඉතින් අපේ පැවැත්මක් නෑ කියල තමයි.

මේ විදියට මහ පොළොව ගැන කල්පනා කරන්න පටන් ගත්තෙ මේ මම පොළොවෙ පයගහල ඉන්න මනුස්සයෙක් නිසයි.පොළොවෙ පය ගහල හිටියත් නැතත් පොළොවෙ ප්‍රයෝජනේ දන්න හැමෝම පොළොවෙන් කෑල්ලකට අයිතිවාසිකමක් හදා ගන්නයි බලන්නෙ.මෙන්න මේ පොළොවෙන් කෑල්ලකට අයිතිවාසිකම හදාගන්න උත්සාහ කිරීමයි අයිතිවාසිකම හදාගත්තට පස්සෙ ඒක ආරක්ෂා කරගන්න උත්සාහ කිරීමයි. එහෙම ආරක්ෂා කරගත්තු එක තමන්ගෙන් පස්සෙ උරුමකාරයන්ට දෙන එක තමයි අපේ ලෝකෙ තියනලොකුම කාර්‍ය භාරය වෙන්නෙ.ඔය පොළොවෙන් කෑල්ලක් ගන්නවට කියන්නෙ ඉඩමක් ගන්නව කියලනෙ.හැම මිනිහෙක්ම ඉඩමක් ගන්න දඟලනවා.එකක් ගත්තු එකා තවඑකක් ගන්න බලනවා.තව එකක් ගන්න අමාරු නිසා ළඟම තියෙන ඉඩමෙ වැට එහාට කරල අඟලක් දෙකක් හරි තියෙන එක වැඩිකර ගන්න බලනවා.වැඩි කරගන්න බලන ගමන් තියෙන එක ආරක්ෂා කරගන්නත් බලනවා.එතකොට අර අල්ලපු ඉඩමේ කා එක්ක ගෝරියකට පැටලෙනවා.එතකොට බැනුමෙන් පටන් අරගෙන මිනීමැරුමට වෙනකම්ම යන දීර්ඝ කාලීන ආරවුලක් හැදෙනවා. උසාවි යනවා ඒකෙදි ගාස්තුවක් අරගෙන දෙපැත්ත වෙනුවෙන්ම පෙනී ඉන්න නීතිඥයො කියල කට්ටියකුත් ඉන්නවා.ඉතින් දෙපැත්තෙම එවුන් හරක් වගේ හම්බු කර කර අර නඩුවට වියදම්කරනවා. අන්තිමට ඉඩමෙ වටිනා කමටත් වැඩිය නඩුවට වියදම් කරනවා.මෙවුන්ගෙ වියදම නීතිඥයින්ගෙ ආදායම වෙනවා.උනුත් ඒ සල්ලි එකතු කරල පොළොවෙන් ලොකු කෑල්ලක් ගන්න හදනවා.ඔන්න ඔහොමයි මේ මහ පොළොවෙ වැඩේ.

අද මේ ගැන හිතන කොට මට කල්පනා වුණේ අපමණ දුක්විඳල සල්ලි හොයල ගත්තු මේ මහ පොළොවෙ කෑල්ල නිසා අපිට වෙලා තියෙන දේ ගැනයි.මේක ආරක්ෂා කර ගන්න වැට බැඳල කම්බි ගහල නැත්නම් තාප්ප බැඳල කොටුකරල වෙන මැස්සෙකුටවත් එන්න බැරි විදියට හදා ගත්තට මේකෙ වැවෙන ගහකොල අපේද කියල හිතනකොට අපූරු දේවල් තමයි එළිවුණේ.ගහකොල අපේ වෙන්නෙ ඔය වම්බටු , බණ්ඩක්කා, පතෝල, මිරිස් කරපිංච, සේර වගේ උයන්න පිහින්න ගන්න ඒවා විතරයි. කොස් ගහක් තිබුණොත් ගෙඩි කන්න පුලුවන්. හැබැයි තාප්පෙ අයිනෙන් ලයිට් කම්බියට කිට්ටු වෙන අතු විදුලිබල මණ්ඩලේ ට අයිතියි. උන් ඇවිල්ල දිග වැඩියි කියල කපනවා ටෙලිකොම් එකෙන් ඇවිල්ල තව අතු ටිකක් කපනවා.උස වැඩිවෙනකොට අල්ලපු ගෙදර එකා ප්‍රාදේශීය සභාවට ගිහින් කියනවා අනතුරුදායකයි කියල.එතකොට ප්‍රාදේශීය සභාව නිවේදනයක් එවනවා ගහ කපල දාපන් කියල. ඒ වුනාට ගහ කපන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලෙට ගිහින් ප්‍රාදේශීය සභාවෙ ලියුම පෙන්නලා අවසරේ ගන්න ඕන. අවසර අරගෙන කැපුවට ලී ඉරන්න මෝලට ගෙනියන්න ආයිත් අවසර පත්‍රයක් ගන්න ඕන.මේ සේරම ගැන කල්පනා කරල බැලුවම ඉඩමෙ කොස් ගස් අපේ නෙවෙයි කියල තේරෙනවා.දෙල් ගසුත් තල් ගසුත් පොල් ගසුත් ඔය විදියමයි.එහෙනම් සුදු හදුන් ගහක් නැදුන් ගහක් බෙහෙත් ඖෂධ වලට ගන්න වගේ ගස් හිටව ගත්තම වටිනවනෙ කියල හිටවලා බලමු.ඒවා හිටෙව්වට කපන්න බෑ.

වනසත්ව හා වෘක්ෂ ලතා පනතෙ ආරක්ෂිත ශාඛ වර්ග 693ක් ගැසට් කරල තියෙනව.උදුරන්න, කපන්න විනාශ කරන්න බෑ ඒනිසා හරියට බැලුවොත් මිදුලෙ තණකොළ ඉදිරුවොත් ඒ වරදට අහුවෙනවා. ඒනිසා ආරක්ෂිත පැළෑටි ශාඛ විනාශ කළොත් දඩයයි හිරේ යි දෙකම අයිතියි..ඒනිසා ආරක්ෂිත පැළෑටි හිටුවන්න පුලුවන් හැබැයි උදුරන්න කපන ගෙනියන්න බෑ.එහෙම බැලුවම ඉඩමක් ගත්තට ඒකෙ වැවෙන හුඟක් දේවල් අපේ නෙවෙයි. ඊළඟට බලමු අපේ රටේ පොළොවෙ වටිනා මැණික් තියෙනවනෙ ඉඩමක් අරගෙන මැණිකක් ගරාගෙන ඉන්න පුලුවන්නෙ කියල හිතුවට මැණික් අයිති ආණ්ඩුවට. ඒකට ගාස්තු ගෙවල අවසර පත්‍රයක් ගන්න ඕන නැත්නම් දඩයි හිරෙයි.එතකොට මැණික් අපේ නෙවෙයි.එහෙනම් එහෙනම් බලමු; වෙනත් වටිනා ලෝහ වර්ග. ඉල්මනයිට්, ටාපයිට්, පොස්පේට්, සිලිකා, රත්‍රන්, රිදී, මිනිරන්, තෝරියල් ,බෙරියල් වගේ එලෝ කෝටියක් තියෙන ඛනිජ වර්ග .ඉඩමෙන් ඒවා අරගෙන ලාබයක් ගන්න පුලුවන්නෙ.බෑ බෑ ඉඩම ඔබේ වුණාට නීතියෙන්ම ඛනිජ ජනරජයට අයිතියි.ඒනිසා බලපත්‍ර නැතුව ඒවා ගන්න බෑ.එහෙනම් ඛනිජත් ඉඩම අයිතිකාරයට අයිති නෑ එහෙම ඉඩමක් ගත්තට සින්නක්කරව අයිතියි කිව්වට බැලුවහම ගහකොල පැලැටි මැණික් ඛනිජ කිසිදෙයක් ඉඩම අයිතිකාරයට අයිති නෑ
එහෙනම් මේ මම ජීවත්වෙන මම මුදලට ගත්තු මටම අයිති සින්නක්කර දේපලක් වන මේ පර්චස් 25 ක්වූ ඉඩමේ අයිතිකාරය හැටියට ඉඩමෙන් මට අයිති මොනවද?මම නීතීඥ මහත්තයෙකුගෙන් ඇහුවා .උන්නැහේ කිව්වෙ ඉඩමේ “සොයිල් රයිට් එක” මට තියෙනවා කියලයි.මම බොහොම සන්තෝස වුණා.ඔය කෝක නැතත් ඉඩමෙ පස් ටික හරි මට අයිතියිනෙ කියල .ඇයි සොයිල් රයිට් එක කියන්නෙ පසේ අයිතිය නෙ.ඊට පස්සෙයි දැන ගත්තෙ ඕනෑම ඉඩමක තියෙන පස් ගල් වැලි මැටි වගේ දේවල් කපන්න කඩන්න ගෙනියන්න භූවිද්‍යා කාර්යංශෙන් බලපත්‍ර ගන්න ඕනයි කියල.මේක යකාගෙ වැඩක්නෙ භූ විද්‍යා කාර්‍යංශෙට අයිති ඛනිජ ද්‍රව්‍ය විතරයි නේද කියල ඒ කාර්යංශෙන් ඇහුවම ඒ ගොල්ලො කිව්වෙ “ඉතින් පස් ගල් වැලි මැටි කියන්නෙත් ඛනිජ වලටනෙ කියලයි.ඒනිසානෙ අපි ඒවට බලපත්‍ර දෙන්නෙ”කියලයි.

දැන් තමයි මට තේරුනෙ මේ සංසාරේ මට අයිතිය මගේය මගේම පමණය කියල බදාගෙන ඉන්න ඒක ආරක්ෂාකර ගන්න මිනීමරාගන දඟලන නඩු කියන මේ ඉඩමය කියල හඳුන්වන අපමණ තණ්හාවෙන් බදාගෙන ඉන්න මළාම මළ යකෙක් පෙරේතයෙක් නැත්නම් බහිරවයෙක් වෙලා නැත්නම් පරණ පින් පොඩ්ඩක් තිබ්බොත් භූමාටු දෙයියෙක් වෙලත් දුක් විඳගෙන රකින මේ පර්චස් විසිපහේ මහ පොළෝ කෑල්ල සැබවින්ම මට අයිති නැති බව. මේ මට අවබෝධ වුණු දේ කියපුවම අපේ නෝන කිව්වෙ ඉතින් ඕකනෙ බුදු හාමුදුරුවෝ දේශනා කලේ තණ්හාව දුකට මුලයි කියල තමන්ගේ කියල අල්ලාගෙන ඉන්න එකෙන් වෙන්නෙ සසර දික් වෙනඑක විතරයි කියලයි.
බුදු හාමුදුරුවො දේශනා කරපු මේ පරම සත්‍යය මනුස්සයින්ට අවබෝධ කරවන්න ඉන්න මහා සංඝරත්නය විසින් කළ යුතු මේ මහ පොලොවට තණ්හාවෙන් කෑලි අරගෙන මගේය කියල බදාගෙන ඉන්න දේ සැබවින්ම මට අයිති නෑ කියල අන්තිමටම හොඳටම තේරුම් කරල දුන්නු භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්‍යංශය කියන ආයතනය විසින් අපූරුවට මහජනයාට අවබෝධ කරවන අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්මය තේරුම් අරගෙන නිවන්මගට බාධා කරන තෘෂ්ණාව දුරු කරගෙන බුදු පසේ බුදු මහ රහතුන් වහන්සේලා නිවී සැනහී පැමිණි අමෘත මහා නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගනිත්වා!

සුනිල් කන්නන්ගර විශ්‍රාමික, ශ්‍රී ලංකා පරිපාලන සේවය

එතෙර - මෙතෙර