හෙට සිදු වන දේ අද දැන ගත හැකි ගුප්ත නොවන ක්‍රම ද තිබේ

ආර්ථික අර්බුදයෙන් රට යාන්තමින් හෝ ‘ගොඩ ආ’ බව නිතර ඇසෙන දෙයක් බවට පත්ව තිබේ. කෙසේ නමුත් එවැනි ‘ගොඩ ආ’ බවක් බහුතරයකට දැනෙන්නේ නැත. එසේ නො දැනුනත්, රජයට පක්ෂපාතී කණ්ඩායම් දිගින් දිගටම මේ කතාව කර ගෙන යයි. සැබෑ අර්ථයෙන් පැවසුවහොත් අප රට දශක ගණනාවක් තිස්සේම පවතින්නේ ආර්ථික අර්බුදයකය. එය මෑත කාලයේ ඇතිවූවක් නොවන අතර එය වඩාත් තීව්‍රවීමක් පමණක් මෑතක දී සිදුවිය. මේ නිසාම රටේ බහුතරයක් දෙනා සිටින්නේ ද දැඩි ආර්ථික අර්බුදයකය. ජනතාව තුළ නිතර පවතින්නේ අවිනිශ්චිත තත්ත්වයකි. හෙට දවසේ සිදු වන්නේ කුමක්දැයි දැන ගැනීමට ඔවුන් තුළ දැඩි ඕනෑ කමක් තිබුණත් පවතින තත්ත්වය විශ්ලේෂණය කොට අනාවැකි කීමේ හැකියාවක් ඔවුනට නැත. දිනපතා පුවත්පත් මිලට ගත් විගස ලග්න පලාපල බලන්නට මිනිසුන් පුරුදුව සිටින්නේ යටි සිතෙහි ඇති මේ කුතුහලය නිසාය. මිනිසුන් තුළ පවතින මේ කුතුහලය පිළිබඳ දන්නා මාධ්‍ය, විශේෂයෙන් විද්‍යුත් මාධ්‍ය එයින් ප්‍රයෝජනය ගන්නට කල්පනා කළ බැවින් වසර අවසානය වන්නට ආසන්නව තිබිය දී රටේ නමගිය ජ්‍යෝතීර්වේදීන් සිය නාලිකාවලට කැඳවා ඉදිරි වසර රටේ තත්ත්වය ජ්‍යෝතිෂයට අනුව විග්‍රහ කොට අනාවැකි පල කිරීමේ වැඩසටහන් පවත්වන්නට පටන් ගත්තේය. කෙසේ නමුත් අවසානයේ මේවා හුදෙක් විහිළු සහගත වැඩසටහන් බවට පත්වන තරමට ඒවායෙන් පැවසුණු අනාවැකි ‘අතේ පත්තුවන බොරු’ බවට පත් විය. සමාජ ජාලාවල මේවායේ වීඩියෝ කොටස් ඕනෑ තරම් දැකගත හැකි අතර බහුතරයක් දෙනා මේවා නරඹන්නේ අනාගතය පිළිබඳ පැවසූ අනාවැකි පිළිබඳ දැනගන්නට නොව විනෝදය පිණිසය. මෙහිදී අපට ඇතිවන ගැටලුවක් වන්නේ සැබෑවටම අනාවැකි පැවසීමේ යම් හැකියාවන් නැද්ද යන්නය. එයට තනි පිළිතුරක් දිය හැකි අතර ඒ ‘තිබේ’ ය යන්නයි.

ලෝකයේ මේ සම්බන්ධ ප්‍රකට ක්‍රම දෙකක් පවතී. එයින් එකක් ‘පූර්වඥානය’ (Precognition) ලෙස හැඳින්වෙන අතර එය වැටෙන්නේ ගුප්ත හෝ පාරමනෝවිද්‍යාව (Parapsychology) කාණ්ඩයටය. එය විද්‍යාත්මකව තහවුරු කළ නොහැකි ක්‍රමවේදයක් වන අතර බොහෝ විට ආගමික පදනමින් ද මේවා සිදුවේ. ජ්‍යොතිෂ්‍යය, සිහින, පළිඟු බෝල වැනි බොහෝ දේ මේ කාණ්ඩයට වැටේ. කෙසේ නමුත් ගුප්ත ක්‍රමවේදයකින් තොරව අනාවැකි පලකිරීමේ හැකියාවක් පවතින අතර එය හඳුන්වනු ලබන්නේ ‘පුරෝකථ්‍ය මොළය’ (predictive brain) නමිනි. ඇතැම් තැන්වල මෙය ‘පුරෝකථ්‍ය කේතනය’ (predictive coding) නමින් ද සඳහන් වේ. මෙය සියලුදෙනාම තුළ පවතින හැකියාවක් නොවන අතර ගුප්ත ක්‍රමවේද නොමැතිව සිය බුද්ධිය මෙහෙයවා සියයට සියයක්ම නිවැරදි අනාවැකි පවසනු අසන්නට ලැබේ.

මොළයට ලැබෙන තොරතුරු අදාළ පුද්ගලයාට නොදැනුවත්වම විශ්ලේෂණය වී පුරෝකථන පිළිබඳ සිතිවිලි පහළ වීම මෙහිදී සිදු වන බව පැවසේ. මොළය තුළ සිදු වන මේ ක්‍රියාවලිය සියලු දෙනාට ද අදාළ නමුත් එය අනාවැකියක් ලෙසට පැවසීමක් වන්නේ කිහිප දෙනෙකු අතින් පමණි. බොහෝ අවස්ථාවල දී යමක් සිදු වන්නට ඉතාමත් ආසන්නව තිබිය දී එය සිදු වන බවට සිතුණු අවස්ථා බොහෝ දෙනෙක් පවසයි. බොහෝ දෙනෙකුට ඒවා පවසන්නට තරම් කාලයක් නොපවතින අතර ඇතැමුන්ට කාලය තිබුණ ද ඒ පිළිබඳ ඇති දෙගෙඩියාව මත පවසා සිටින්නේ නැත. “මම මේ හිතුව විතරයි ඔහොම වෙයි කියලා” යනුවෙන් ඇතැමුන් පවසන්නේ ඔවුන් එවැනි අත්දැකීමකට මුහුණ දුන් විටය.

මෙවැනි පුද්ගලයන් ගමේ ගොඩේ පවා හමුවේ. එක්තරා නිවසකට එක් අවස්ථාවක දී අලුත විවාහ වූ යුවලක් පැමිණි අතර ඔවුන් අතර කිසිදු ගැටලු සහගත තත්ත්වයක් පෙනුණේ නැත. නමුත් ඔවුන් පිටව ගිය පසු පෙර කී නිවසේ සිටි කාන්තාව සිය සැමියා සමග පවසා තිබුණේ “ඔය දෙන්න ඔහොම හිටියට බලන්නකෝ වෙන දේ” වැන්නකි. ඇය පවසූවා සේම වැඩි කාලයක් ගතවන්නට පෙර මේ යුවල විවාහයෙන් වෙන් වූහ. ඔවුන් අතර ආර්ථික අර්බුද ආදිය වැඩි වන්නට වූ අතර එය විවාහය කෙළවර වීම දක්වාම ගමන් කොට තිබිණි. ඇතැම් විට ඔවුන් නිවසේ සිටි කාලය තුළ කතාබහ තුළින් උකහා ගත් සුළු කරුණු සිය බුද්ධිය මගින් විශ්ලේෂණය කොට මෙවැන්නක් පැවසූුවා වන්නට ඇත. එකී කාන්තාවම වරෙක මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා සහ එවකට සිටි හමුදාපති සරත් ෆොන්සේකා අතර විරසකයක් සිදුවන බවට ද යම් කතාබහක් අතරතුර දී පවසා තිබිණි. මෙවැනි අනාවැකි පළ කිරීමේ හැකියාව ඇති මිනිසුන් ඔබට ද ඉඳහිට හමු වී තිබෙන්නට පුළුවන. ඔවුන් මෙවැනි කාරණා පවසන්නේ ජ්‍යොතිෂ්‍යය හෝ වෙනත් ගුප්ත විද්‍යාවන් ඇසුරුකරගෙන නොවේ. එය ඔවුහු හුදෙක් පවසා සිටිති. කාරණය වන්නේ ඒවා සැබෑවන් බවට පත්වීමය. පුරෝකථන කිරීමට ඔවුන්ගේ මොළයට ඇති විශේෂ හැකියාව මේ කාරණය පසුපස ඇති විද්‍යාත්මක කාරණය වේ.

වසර ගණනාවක් තිස්සේ රටක සිදු වූ තත්ත්වයන් ප්‍රස්තාර ගත කොට ඉදිරියේ දී මෙවැන්නක් සිදු විය හැකි යැයි සිදු කරන පුරෝකථන අප දැක ඇත්තෙමු. කාලගුණ අනාවැකි පවසන්නේ ද ඒ අයුරිනි. එහි දී සිදු වන්නේ කාලයක් තිස්සේ සිදුවුණු සිදුවීම් පාදක කරගනිමින් ඉදිරියේදී මෙවැන්නක් සිදුවිය හැකි යැයි පැවසීමය. නමුත් ඒවා ඇතැම්විට නිවැරදි වනවා සේම වැරදී යන අවස්ථාවන් ද තිබේ. කෙසේ නමුත් ඒවා ‘පුරෝකථ්‍ය මොළය’ යන කාණ්ඩයට වැටෙන්නේ නැත. ‘පුරෝකථ්‍ය මොළය’ ඔස්සේ අනාවැකි ඉදිරිපත් වෙද්දී ඒ සඳහා පසුගිය දත්ත විශ්ලේෂණය කිරීමක් දකින්නට හැකිවන්නේ නැත. ඇතැම්විට එවැන්නක් සිදුවනු හැකි වුවද එය සිදුවන්නේ අප දැක ඇති හුරුපුරුදු ආකාරයට නොවන අතර එවැනි විශ්ලේෂණයක් කරනු භෞතිකව අපට පෙනෙන්නේ ද නැත.

මෙවැනි අනාවැකි හෙවත් පුරෝකථන සිදු කළ සුප්‍රකට පුද්ගලයකු වන්නේ ආතර් සී. ක්ලාර්ක්ය. ඔහු මේ අනාවැකි පළ කොට ඇත්තේ තමා විසින් රචනා කරන ලද විද්‍යා ප්‍රබන්ධ ඔස්සේය. ගමේ ගොඩේ කාන්තාවන් පැවසූ කතා සැබෑ වූ බව දන්නේ ඔවුන් පිළිබඳ පුද්ගලික දැනහැඳුනුම්කම් ඇති අය පමණක් වුවත් ක්ලාර්ක්ගේ අනාවැකි තහවුරු කරගත හැකි ලෙස විද්‍යා ප්‍රබන්ධවල සටහන් වී තිබේ. ඔහුගේ 2001: A Space Odyssey නම් කෘතියේ සෙනසුරු ග්‍රහයා කරන ගමන් කරන අභ්‍යවකාශ යානයක් සිය ගමන වේගවත් කරගනු වස් ඉන්ධන නොව බ්‍රහස්පතිගේ ගුරුත්ව බලය යොදා ගන්නා අන්දම සඳහන් කොට තිබේ. වර්තමානයේ නාසා ආයතනය විසින් අභ්‍යවකාශ ගතකොට ඇති යානා මේ වන විට යොදා සිය අභ්‍යවකාශ යානා වල වේගය පාලනය කිරීම සඳහා යොදා ගන්නේ ආසන්නයේ ඇති ග්‍රහ වස්තුවක ඇති ගුරුත්ව බලයයි. එමෙන්ම ආතර් සී. ක්ලාර්ක් සන්නිවේදන චන්ද්‍රිකා පිළිබඳ අනාවැකිය පළ කළේ 1945 වසරේ දීය. ඒ වන විට චන්ද්‍රිකා පිළිබඳ අදහසක් හෝ ලෝකය තුළ පැවතියේ නැත. නමුත් ඔහුගේ ඒ අනාවැකිය සැබෑ කරමින් ලොව පළමු චන්ද්‍රිකාව 1965 වසරේ දී අභ්‍යවකාශ ගත විය. 2017 වසරේ දී පෘථිවිය ආසන්නයට සුරුට්ටුවක හැඩයෙන් යුක්ත ග්‍රහකයක් පැමිණි අතර එය එය ඒ දිනවල දැඩි කතාබහකට ලක් විය. පුදුමයකට මෙන් ආතර් සී ක්ලාර්ක් 1973 වසරේ දී ලියන ලද සිය Rendezvous with Rama නම් විද්‍යා ප්‍රබන්ධයෙහි සූර්ය ගුරුත්වය උපයෝගී කර ගනිමින් අභ්‍යවකාශයේ ගමන් කරන සුරුට්ටුවක හැඩයක් ඇති යානයක් පිළිබඳ සඳහන් වෙයි. එමෙන්ම අභ්‍යවකාශ මධ්‍යස්ථාන ඉදිකිරීම, හැල් නමින් ඔහු හඳුන්වා දී තිබුණු කෘත්‍රිම බුද්ධිය, බ්‍රහස්පතිට අයත් යුරෝපා නම් චන්ද්‍රයාගේ ජලය ඇති බව, ධූමකේතුවක් මතට යානයක් ගොඩ බැස්වීම ආදී තවත් බොහෝ කාරණා සඳහන් කොට ඇති අතර මේවායෙන් බොහොමක් මේ වන සැබෑ වී තිබේ. එසේ හෙයින් ඔහු විසින් පවසන ලද අනෙකුත් කාරණා ද සැබෑ වීමේ හැකියාවක් පවතින බවට ලෝකය තුළ විශ්වාසයක් ගොඩ නැගී තිබේ. මේ හැකියාවක් පවතින බව යන්න හඳුන්වනු ලබන්නේ ‘භව්‍යතා නියමය’ (Possibility theory) නමිනි. මේවා විද්‍යාත්මක තහවුරු කළ හැකි ක්‍රමවේදයන් ඔස්සේ අනාවැකි පැවසීමේ හැකියාවන්ය.

මේ කරුණු මත සඳහන් කළ හැක්කේ ගුප්ත ක්‍රම ඔස්සේ නොව මොළය තුළ ඉබේ සිදුවන විශ්ලේෂණාත්මක ක්‍රියාවලියක් ඔස්සේ විද්‍යාත්මක තහවුරු කළ හැකි ක්‍රමවේදයන් ඔස්සේ අනාවැකි පළ කිරීමේ හැකියාවන් පවතින බවය. ඒවා සැබෑවට පත්වන තාක් ඒවා නිවැරදි යැයි අපට තහවුරු වන්නේ ද නැත. නමුත් ආතර් සී. ක්ලාර්ක් වැනි ලෝක පූජිත පුද්ගලයන්ගේ අනාවැකි ලිඛිතව සඳහන්ව ඇති බැවින් සහ ඒවා බොහොමයක් මේ වන විට ද සැබෑ වී ඇති බැවින් ඔහු විසින් පවසන ලද කාරණා යම් දිනෙක සැබෑ විය හැකි බවට අප තුළ විශ්වාසයක් ගොඩ නැගී තිබේ. එය ජ්‍යෝතීර්වේදීන් කෙරෙහි පවතින ආකල්පයට වඩා වෙනස් ස්වභාවයකි. අප ඒ දෙස බලන්නේ විද්‍යාත්මක ඇසකිනි.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර