ඔබ අනුන් සමඟ ඔබව සංසන්දනය කරගන්න ගියොත් පිරිහෙන්නේ ඔබමයි – මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

ඔබ කවදහරි, මොන දෙයක් පිළිබඳව හරි ,කා සමග හරි ඔබව සංසන්දනය කරගෙන තියනවද?
බොහෝ දුරට උත්තරය ‘ඔව්’!
ඉඳල හිටල හරි වෙන කවුරුහරි ගැන හිතලා අනේ මටත් එයා වගේ වෙන්න පුළුවන් නම් කියලා අපිට හිතෙන අවස්ථා තියෙන්නෙ පුළුවන්. හැබැයි දන්නෙම නැතුව ඒක අපිට අවැඩක් වෙන, අපිව පරිහානියට පත්කරන, අපිව ලෙඩ්ඩු කරන දෙයක් වෙන්නත් පුළුවන්.
සංසන්දනය කිරීමෙන් බොහෝ විට වෙන්නේ අවැඩක් මිසක් හොඳක් නෙමෙයි.
මේකයි වෙන්නෙ:
අපි අපිවම අවතක්සේරු කර ගන්නවා.
අපේ හැකියාවන් දක්ෂතාවන් යටපත් වෙන්න අරිනවා.
අපේ හිත් අනවශ්‍ය බර ගතියකින් පුරව ගන්නවා.
ඊර්ෂ්‍යාව ඇති වෙන්න පාර හදා ගන්නවා.
හීනමානයෙන් කොන් වෙනවා.
අධෛර්යය වීම නිසා දියුණු වීමේ අවස්ථාවන් අවහිර කර ගන්නවා.
මේ එකක්වත් හොඳ දේවල් ද ? නෑනේ ..!
ඒත් බොහෝ දෙනෙකුට මේක තේරෙන්නෙ නැති නිසා අනුන් සමග තමන්ව සංසන්දනය කර ගෙන අපරාදේ හිතෙන් දුක් විඳිනවා විතරක් නෙමෙයි තමන්ගේම දියුණුවටත් බාධා පමුණුවා ගන්නවා.
මේක අනුන් අපට කරන හානියක් නෙවෙයි, මේක අපි අපිටම කරගන්න හානියක්. අසාධාරණයක් .
හිතලා බලන්න ඔබ වෙනත් කෙනෙක් සමග නොදැනුවත්ව හරි ඔබව සංසන්දනය කර ගෙන නැද්ද කියලා.
කවුරුහරි කාන්තාවක් ගැන හිතලා, නැත්නම් පුරුෂයෙක් ගැන හිතලා අනේ මට වඩා එයා ලස්සනයි, අනේ මට වඩා එයා කඩවසම්… අනේ මටත් ඒ වගේ සිරුරක් තිබුණනම් , දක්ෂකමක් තිබුණනම් , ජනප්‍රියත්වයක් තිබුණා නම්, උසස් තනතුරක් තිබුණා නම්, සල්ලි තිබුනානම් , වාහනයක් තිබුනනං යනාදි වශයෙන් මොකක් පිළිබඳව හරි තවත් කෙනෙක් සමග ඔබ ඔබවම සංසන්දනය කර ගෙන හිත අසහනයට, කලකිරීමකට, පත්කරගෙන නැද්ද ?
යන්තමට හරි ඊර්ෂ්‍යාවක් වගේ හැඟීමක් දැනිලා නැද්ද?
හිතල බලන්න. එහෙම ඔබට හිතිල තියෙනවා නම්, එහෙම හිතන පුරුද්දක් තියෙනවා නම්, ඒක අපි හිතනවට වඩා අපේ සතුටට ඉතාමත්ම අහිතකරයි, විෂ සහිතයි .
වහාම, අදම ඒ මානසික්ත්වයෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්න .
මේ සෘණාත්මක මානසික ත්ත්වයෙන් මිදීමට තිබෙන ප්‍රධානම දේ තමයි තමන්ගේ වටිනාකම් තේරුම් ගැනීම. මේක උඩඟුව නෙමේ. තමන්ගේ වටිනාකම, තමන්ගෙ දක්ෂකම්, විශේෂ හැකියාවන් යනාදිය පිළිබඳ අවබෝධ කරගෙන ඒ ගැන තෘප්තිමත් වෙන්න පුළුවන් කෙනෙක් කිසි දවසක වෙන කෙනෙක් සමග තරග වදින්න උත්සාහ කරන්නෙ නැහැ. තමන්වම තවත් කෙනෙක් සමග සංසන්දනය කිරීමට පෙළඹෙන්නේ නැහැ.
ඔබ කවුරු වුණත් කමක් නෑ, මොන තරාතිරමක හිටියත් කමක් නෑ, ඔබ වටිනා කෙනෙක් බව තේරුම් ගන්න. ඔබ වැනි තවත් කෙනෙක් මේ ලෝකේ නැහැ.“ඩුප්ලිකේට් එකක්” නැහැ. ඔබ විශිෂ්ටයෙක් .
අපි අපිව සංසන්දනය කළොත් මේ ලෝකෙ ඕනම වෙලාවක අපට වඩා උසස් මට්ටමක අය ඉන්නවා. ඒවගේම අපට වඩා පහත් මට්ටමක අය ඉන්නවා.
අපිට වැඩිය සල්ලි තියන අය, අපිට වැඩිය රූ සපුව තියෙන අය, අපිට වඩා ධනය තියෙන අය, අපිට වඩා පිළිගැනීම් තියන අය,ඉන්න පුළුවන්. ඒ වගේම අපිට තරම් ඒ කිසිවක් නැති අය ඉන්න පුළුවන්. මේ සියල්ලම සාපේක්ෂ දේවල්.
.
ඒ එකක්වත් අපිට අදාල දේවල් නෙවෙයි. අනුන්ගේ ජනප්‍රියත්වය අනුන්ගේ ධනය තත්ත්වය අපට අදාල නැහැ.
අපිට අදාල වෙන්නේ අපේ ශක්තියෙන් අපේ උනන්දුවෙන්, අපේ හැකියාවන්ගෙන් අපි කොච්චර දුරට සාර්ථක වෙලා තියෙනවද කියන එක විතරයි .
අද ඔබ ඉන්න තත්ත්වය ගැන සමහර විට ඔබ තෘප්තිමත් නැතුව ඇති .ඔබ වෙනත් කෙනෙක් වෙන්න උත්සහ කරනවා ඇති .ඒත් ඔබ ඔබ හිතලා බැලුවෙ නැද්ද ඔබ කොච්චර වටිනා පුද්ගලයෙක්ද කියලා. සමහර විට ඔබ නොදන්නවා උණාට ඔබ ඉන්න ඔය තත්වයට එන්න බොහෝ දෙනෙක් උත්සාහ කරනවා වෙන්නත් පුළුවන්.
මේ කතාව අහන්නකො .
එක කාක්කෙක් දවසක් සුදු හංසයකු දැක්කා. අනේ මේ හංසයා කොච්චර සතුටින් ඇතිද කියලා හිතලා ඒ හංසයාගෙන් ඇහැව්වා ඔයා සුදුයි නේ. ඒ නිසා හරි සතුටින් නේද ඔයා ඉන්නේ කියලා .
“නෑ. මොන සතුටක්ද .මම දැක්කා ලස්සන පාට දෙකක් තියෙන ගිරවෙක් .එයා මට වඩා කොච්චර සතුටින් ඇතිද කියලා මට හිතෙනවා”හංසයා කිව්වා.
කාක්කා ඒ ගිරවා ළඟට ගිහින් ඇහැව්වා ඔයාට ලස්සන පාට තියනවනේ… ඔයා හරි සතුටින් ඇති නේද කියලා .එතකොට ගිරිවා කිව්වේ
“ අනේ නැහැ .මම දැක්කා සත්තු වත්තේ ඉන්න මොනරෙක් . එයා හරිම ලස්සනයි.සෙනග හරියට එයාව බලන්න එනවා. මම එයා තරම් ජනප්‍රිය නෑ.” ගිරවා දුක්වුණා.
ඊට පස්සේ කාක්කා මොනරා හම්බවුණා.
“ඔයාට ලස්සන පිහාටු ගොඩක් තියෙනවා. ඔයා හරි ජනප්‍රියයි. ප්‍රසිද්ධයි. මට ඒ ලස්සන නෑනේ. මාව දකින දකින මිනිස්සු මාව ප්‍රතික්ෂේප කරල එලවනවා. මිනිස්සු ඔයාව බලන්න කොච්චර එනවද නේද? . ඔයා කොච්චර සතුටින්ද ඉන්නේ නේද?”
එතකොට අර මොනරා මෙහෙම පිළිතුරු දුන්නා.
” අනේ මොන සතුටක්ද… මේ ජනප්‍රියත්වය මේ ප්‍රසිද්ධිය මට හරි හිරිහැරයක්. මට කිසිම දෙයක් නිදහසේ කරගන්න බැහැ… මම කැමති තැන් වලට යන්න බැහැ.. ඒත් බලන්න . මේ මොණර පිහාටු නැතුව කාක්කෙක් උනානං මම කොච්චර වාසනාවන්තද…
මම හිතන්නේ කිසිම කෙනෙක් කූඩුවක දාලා ඇති කරන්නේ නැති, නිදහසේ සැරිසරන සතුටින් ඉන්න එකම පක්ෂියා තමයි කාක්කා. අනේ මටත් කාක්කෙක් වෙන්න තිබුණා නම් කිය කිය මම හැමතිස්සෙම සිහින මවනවා.”
බලන්න! බාහිරෙන් බලපුවම, අවට ලෝකය දිහා බලපුවම අනිත් මිනිස්සුත් එක්ක සංසන්දනය කරලා බලපුවාම සමහර වෙලාවට අපි ඉන්නේ ඒගොල්ලන්ට වඩා පහත් තැනක කියලා අපට හිතෙන්න පුළුවන්.
ඒත් ඇත්තටම , අපිටම නොපෙනෙන, අපි අවබෝධ කර නොගත්, හැමෝටම වඩා අති විශිෂ්ට තැනක අපි ඉන්නවා වෙන්න පුළුවන්.
ඔබ කාගේ හරි දියුණුවක් දැක්කොත් ඒ දියුණුවට ඊර්ෂ්‍යා නොකර,ඒ තැනැත්තාගෙන් ආදර්ශයක් අරගෙන මටත් ඒ වගේ දියුණු වෙන්න බැරි කමක් නැහැ කියන අදහසින් ශක්තිමත් වෙලා ඔබත් දියුණු වෙන්න බලන්න.
එහෙම නැතුව ඊර්ෂ්‍යා කර කර තමන්ව පහල මට්ටමකට දාගෙන හිතෙන් ලත වෙවී ඉන්න එකේ කිසිම තේරුමක් නෑ. ඊර්ෂ්‍යා කිරීමෙන් වෙන්නේ ඔබ තව තවත් ශාරීරිකව සහ මානසිකව පිරිහෙන එක විතරයි .
ඒ නිසා ඔබ අනුන් සමග ඔබව සංසන්දනය කර ගන්නවා වෙනුවට ඔබේ සැබෑ තත්ත්වය තේරුම් ගන්න. ඔබේ වටිනාකම අවබෝධ කරගන්න. ඔබගේ දක්ෂතාවන් හඳුනාගන්න. ඒවා දියුණු කරගෙන ඔබට හැකි උපරිම උස පියාඹන්නට උත්සාහ ගන්න.
ඔබ සංසන්දනය කරනවා නම් සංසන්දනය කළ යුත්තේ ඔබේ අතීතයත් වර්තමානයත් අතර ඔබ මොන තරම් දියුණුවක් ලබා තියෙනවද කියන එක පමණයි.
එතකොට ඔබට ඔබ ආ මග දිහා බලලා නිහතමානීව ඔබගේ සාර්ථකත්වය ගැන ආඩම්බර වෙන්න පුළුවන් .එහෙම නැතුව අනිත් අයත් සමග ඔබ සංසන්දනය කරගන ඔබට නැති දේවල් ගැන දුක් වෙවී ඉන්න එක ඔබ ඔබටම කරගන්න නින්දාවක් වගේම පාඩුවක්.
සංසන්දනය කියන්නේ අපේ සතුට මංකොල්ලකන මානසික මංකොල්ලාකාරයෙක් බව අවබෝධ කරගන්න .
අනුන්ගේ සාරිය , සූට් එක, වාහනය, රැකියාව තණතුර ඔබේ ජීවිතයේ සාර්ථකත්වය මනින මිනුම් දණ්ඩ කර ගන්න අවශ්‍ය නැහැ. ඔබ ඔබම වන්න.
කිසිවෙකුට කිසි දෙයක් ඔප්පු කිරීමට ඔබ බැඳිලා නැහැ. ඔබ ලද දෙයින්, ඔබ සතු දෙයින් ඔබේ දක්ෂකම් වලින් හැකි තරම් දියුණු වෙන්න උත්සාහ කරනවා මිසක් වෙන කිසි කෙනකුගේ ජීවන රටාව ඔබේ සාර්ථකත්වය මනින මිනුම් දණ්ඩ කරගන්න එපා.
සංසන්දනය ඕනම නැහැ.ඔබ වෙන කිසිවෙක් වෙන්න දඟලන්න අවශ්‍ය නැහැ. ඕන කෙනෙක් ඕන පාරක ගියාදෙන්. ඔබ ගැන කවුරු මොනවා හිතුවත් මොනා කිව්වත් ඔබට ඒවා අදාළ කරගන්න අවශ්‍යය නැහැ.
ඔබ කාක්කෙක් වුණත් මොනරෙක් වුනත් සන්සන්දනය නමැති සිර කූඩුවෙන් එලියට ආවෙ නැත්නම් කවදාවත් නිදහස් නිවහල් සිතකින් දියුණුව කරා පියාඹන්නට ඔබට ඉඩක් ලැබෙන්නේ නැති බව මතක තියාගෙන, ඔබ ඔබම වී ඔබ ගැනම තෘප්තිමත්, නිදහස් මනසකින් ඔබගේ දියුණුවේ ගමන යන්න.

මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

ඉරා අදුරුපට