සල්ලි සීට්ටු බඩු සීට්ටු වගේම දැන් ඔන්න “බලු සීට්ටුත්”

සාමාන්‍යයෙන් සීට්ටු වලින් මෙතෙක් හුවමාරු වූයේ මුදල් සහ වෙනත් උපකරණ වැනි දෑය. ඒ මිස පණ ඇති දේවල් සීට්ටුවලින් හුවමාරු කර ගන්නා බවක් දැන ගන්නට ලැබුණේ නැත. නමුත් දැන් අපට පළමු වතාවට බලු සීට්ටු ගැන විටින් විට අසන්නට ලැබී තිබේ.

තමන් අත එකවර වැඩි මුදලක් ඉතිරි කර ගන්නට නොහැකි වන විට සමහරු සීට්ටු වලට යති. එකවර තමාට ලොකු මුදලක් අවශ්‍ය වූ විට පිරිසක් ළං කරගෙන සීට්ටු දමන අය ද බොහෝ සිටිති.

සීට්ටුවක් දැම්මත්, අනුන් දමන සීට්ටුවකට සම්බන්ධ වුවත් මේ දෙකේම පරමාර්ථය එකවර වැඩි මුදලක් තමා අතට පත්කර ගැනීම ය. මුදල් හැරුණු විට භාණ්ඩ සීට්ටු දැම්මත් එහිද අරුත මෙයම වෙයි.

නමුත් මේ කියන බලු සීට්ටු මීට කිසිසේත්ම සමාන නැත. විශේෂිත බලු පැටවුන් සීට්ටුවකින් ලබා ගත හැකි බව කියන පෝස්ටු දැන් මුහුණු පොතේනිතර හුවමාරු වෙයි. ඉන් එක ජර්මන් ෂෙපර්ඩ් බලු සීට්ටු වාරිකයක වටිනාකම රුපියල් 3750 කි. එවැනි වාරික 12 කින් සීට්ටුව සමන්විතය.

ජර්මන් ෂෙපර්ඩ් යනු මිල වැඩි සුනඛ විශේෂයකි.. එසේම අභිජනනය කරන ලද සුනඛ විශේෂවලට අයත් සත්වයකු වේ. මෙවැනි සතුන් සාමාන්‍ය සුනඛයන් ආකාරයට ඇති දැඩි කිරීම කළ නොහැකිය. විටමින් , විවිධ එන්නත්, පෝෂ්‍යදායි ආහාර පාන , ව්‍යායාම විවේකය , හිරු එළිය යනාදී සියලුම දේවල් මෙවැනි සතුන්ට නිසි ක්‍රමවේදයකට අනුව ලැබිය යුතුය.

එසේ නො වුවහොත් මෙවැනි සතුන් ඉක්මනින් නොයෙකුත් රෝගාබාධ වලට ගොදුරු වන්නටත්, අඩු ආයුෂයකින් මිය යන්නටත් තිබෙන හැකියාව වැඩිය. ඒ අනුව පැහැදිලි වන කරුණක් වන්නේ මෙවැනි අභිජනනය කරන ලද සතෙකු ඇති දැඩි කරන්නේ නම් එම සතා වෙනුවෙන් කාලය මෙන්ම මුදල් ද වැඩිපුර වැය කරන්නට සිදු වන බව ය.

දැන් අපි නැවත කථාවේ මුලට යමු .

සීට්ටු දමන්නේ හෝ අනුන්ගේ සීට්ටුවකට සම්බන්ධ වන්නේ එකවර වැඩි මුදලක් අතට ලබා ගැනීමට එය ඉතා පහසු ක්‍රමයක් නිසාය . ඔබට සීට්ටුව මුලදී ලැබුණත්, මැදදී ලැබුණත්, අවසානයේ ලැබුණත් සීට්ටුවේ මුළු කාලය මසකට එකක් බැගින් වාරික 12ක් නම් වසරක් පුරාම ඔබ නියමිත වාරික ගෙවිය යුතුය.

නොගෙවා නිකන් සිටීමට ඔබට අවසර ලැබෙන්නේ ඔබේ වාරිකය පමණි .ඔබට සීට්ටුවේ මුල් අංක වලින් එකක් ලැබුණේ යැයි සිතමු. දැන් ඔබට ජර්මන් ෂෙපර්ඩ් සුනඛ පැටවෙකු ලැබෙනු ඇත.

මේ සුනඛ පැටවා ඇති දැඩි කිරීමේදී ඉහත ද කී පරිදි විශේෂිත ආහාර, විටමින් ආදිය ලබාදීමට ඔබ යම් මුදලක් මාසිකව වැය කළ යුතු වෙයි. එසේම සීට්ටුවේ වාරිකය ද මාස්පතා නොකඩවාම සීට්ටුව අවසාන වන තෙක් ගෙවිය යුතු වේ. මේ සුනඛයා පණ ඇති සත්වයෙකි.

එසේම සාමාන්‍ය සුනඛයන් මෙන් නොව මෙවැනි අභිජනනය කරන ලද සුනඛයන් රෝගී වීමට තිබෙන අවකාශය වැඩිය. එලෙස රෝගී වූ විට ප්‍රතිකාර සඳහා ද දී ඔබට සෑහෙන මුදලක් මුදල් වැය කරන්නට සිදු වෙයි. සුනඛයාට ඇති ආශාව නිසාම සීට්ටුවට ගොස් එම පැටවා ලබා ගත්තත් දැන් ඔබට වියදම් දෙකකි. එක පැත්තකින් සීට්ටුව ය.

අනෙක් පැත්තෙන් සුනඛයා නඩත්තු කිරීම ය. මේ වියදම් දෙකෙන් එකක්වත් පැහැර හැරීමට ඔබට හැකියාවක් නැත. ආශාවෙන් ලබා ගත් සුනඛයා හදා වඩා යුතුය. ඒ සඳහා ඌට අවශ්‍ය සියල්ල ලබා දීමද නොපිරිහෙලා කළ යුතු වෙයි. ඒ අතර සීට්ටුවේ වාරික අවසන් වන තෙක් නොකඩවාම ගෙවීමද කළ යුතුය.

යම් හෙයකින් කුමන හෝ අවාසනාවන්ත තත්ත්වයක් හේතුවෙන් මෙම සුනඛයා ඔබ සීට්ටුව ගෙවා ගෙන යන අතරතුර දී ම හදිසියේ මියගියා යැයි සිතමු . සුනඛයා හිටියත් නැතත් ඔබේ සීට්ටුවේ වාරික නියමිත පරිදි කලට වේලාවට ගෙවිය යුතු වේ. එවිට ඔබට දැනෙන හැඟීම දැන් කුමක් විය හැකිද ?

කුමන හේතුවක් නිසාවත් පණ ඇති සත්වයන් හා සම්බන්ධ සීට්ටු වලට සම්බන්ධ නොවී සිටීම ඇඟට මෙන්ම හිතටත් ගුණ බව ඔබට නො දැනෙන්නේ ද?

නමුදු මෙවන් සමාජ ක්‍රියාකාරකම් ව්‍යාප්ත වීමට හේතුව ද වෙන් වශයෙන් විමසා බැලීමේ දී තහවුරු වන එක් දෙයක් තිබේ.එනම් සමාජය දිනෙන් දිනම ආර්ථික වශයෙන් අයහපත් අඩියක් වෙත පිවිසෙමින් ඇති බවය.

එනිසාම මේ සම්බන්ධයෙන් මේවාට හවුල් වන කිසිවකුටත් පෞද්ගලික මට්ටමින් දෝෂාරෝපණය කිරීමට ද අපට නොපුළුවන.

ඉන්දු පෙරේරා

එතෙර - මෙතෙර