2010න් පසු උපන් පරපුරට දුම්කොළ අලෙවිය තහනම් කිරීමේ යෝජනාවක්

2010 ජනවාරි 1 වැනිදා හෝ ඊට පසුව උපන් කිසිදු පුද්ගලයකුට දුම්කොළ නිෂ්පාදන නීත්‍යනුකූලව මිලදී ගැනීමට නොහැකි වන පරිදි ‘දුම්කොළ රහිත පරම්පරාවක්’ (Tobacco-Free Generation) බිහිකිරීමේ යෝජනාවක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුවී තිබේ.මෙම යෝජනාව යටතේ දැනට පවතින වයස් සීමා පදනම් කරගත් තහනම වෙනුවට, උපන් වර්ෂය පදනම් කරගනිමින් අදාළ පරම්පරාවට දුම්කොළ නිෂ්පාදන අලෙවි කිරීම ස්ථිරව තහනම් කිරීමට යෝජනා කර ඇත. ඒ අනුව 2010 වසරේ උපන් පුද්ගලයකු 2031දී වයස අවුරුදු 21 සම්පූර්ණ කළද ඔහුට හෝ ඇයට සිගරට්, බීඩි ඇතුළු දුම්කොළ නිෂ්පාදන නීත්‍යනුකූලව මිලදී ගැනීමට අවස්ථාවක් නොලැබෙනු ඇත. පසුව උපදින පරම්පරාවන්ටද එම සීමාව අඛණ්ඩව බලපානු ඇත.මෙම ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් 2024දී සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත මුල්වරට නිල වශයෙන් යෝජනා කර ඇති අතර 2025දී එය නැවත ඉදිරිපත් කර තිබේ. 2026දී දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (NATA) සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය එක්ව එම යෝජනාව යළි සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇත.එමෙන්ම මද්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (ADIC) විසින් දුම්කොළ පාලනය සඳහා නිර්දේශ කර ඇති ප්‍රධාන පියවර අතරද 2010න් පසු උපන් පුද්ගලයන්ට දුම්කොළ අලෙවිය තහනම් කිරීමේ ‘දුම්කොළ රහිත පරම්පරාව’ ප්‍රතිපත්තිය ඇතුළත් කර තිබේ. ADIC හි 2024 දුම්කොළ ප්‍රවණතා සමීක්ෂණ වාර්තාවද එම ප්‍රතිපත්තිය නිර්දේශ කර ඇති අතර, එය දිගුකාලීන සමාජ හා ආර්ථික ප්‍රතිලාභ ලබාදිය හැකි පියවරක් ලෙස දක්වා ඇත.2026 අප්‍රේල් මාසයේදී NATA විසින් 2010න් පසු උපන් දරුවන්ගෙන් සමන්විත ‘දුම්කොළ රහිත පරම්පරාවක්’ නිර්මාණය කිරීම පිළිබඳ සංකල්ප පත්‍රිකාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත භාරදී තිබේ. එහිදී දැනට පවතින දුම්කොළ හා මද්‍යසාර පාලන නීති සංශෝධනය කිරීමට අදාළ නිර්දේශද ඉදිරිපත් කර ඇත.යෝජිත ක්‍රමය ක්‍රියාත්මක කිරීමේදී 2010න් පසු උපන් පුද්ගලයන් හඳුනාගැනීම සඳහා විශේෂ ක්‍රමවේදයක් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් හඳුන්වාදීමට නියමිත බව ADIC විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් මහතා ප්‍රකාශ කර තිබේ. ඔහු සඳහන් කර ඇති පරිදි එම හඳුනාගැනීමේ ක්‍රමවේදය 2031 සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, විකිණීමේ ස්ථානයේදී හැඳුනුම්පත් පරීක්ෂා කිරීම හෝ එවකට හඳුන්වාදෙන වෙනත් තාක්ෂණික ක්‍රමයක් ඒ සඳහා භාවිත කළ හැකිය. ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක 2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පනත යටතේ දුම්කොළ පාලනය සඳහා නීතිමය රාමුවක් පවතින අතර, එම පනත සහ 2015 සංශෝධනය NATA විසින් ප්‍රකාශයට පත් කර තිබේ

කාලීන පුවත්