22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට GMOA විරෝධය

යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අද (30) තීරණය කර තිබේ.අධිකරණයේ ස්වාධීනත්වය සහ අපක්ෂපාතීත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටීම මෙම තීරණයට මූලික හේතුව බව එම සංගමයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. GMOA මධ්‍යම කාරක සභාව රැස්වී මෙම තීරණය ඒකමතිකව ගෙන ඇති බවද ඔහු පැවසීය.
අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වයට හෝ අපක්ෂපාතීත්වයට බලපෑමක් එල්ල විය හැකි ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සිය සංගමය සූදානම් බවද GMOA ප්‍රකාශකයා අවධාරණය කර තිබේ. එම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ඉදිරියේදී නීති ක්ෂේත්‍රයේ වෘත්තීය සංවිධාන සමඟ එක්ව කටයුතු කිරීමටද සංගමය අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළේය.යෝජිත 22 වැනි සංශෝධනයේ ප්‍රධාන අරමුණක් වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ අනිවාර්ය විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වාත් ඉහළ නැංවීමයි. මෙම යෝජනාව අගෝස්තු 7 වැනිදා ගැසට් කර ඇති අතර අගෝස්තු 18 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

කාලීන පුවත්