ශ්‍රී බුද්ධ වර්ෂ 2569 වෙසක් උත්සවය අද(12)ට යෙදී ඇත.මේ නිමිත්තෙන් අප රටේ සියළුම බෞද්ධ වෙහෙර විහාරස්ථාන වල විශේෂ ආගමික වැඩ සටහන් සංවිධානය කොට ඇති අතර අප රටේ සෑම ප්‍රදේශයකම පාහේ වෙසක් තොරණ පහන් කූඩු සහ දන්සල් සංවිධානය කොට ඇත.එමෙන්ම සුපුරුදු පරිදි මෙවර ද වෙසක් උත්සව සංවිධානය සඳහා අප රටේ අන්‍ය ජාතික සහ අන්‍යාගමික ප්‍රජාවන් දක්වන විශිෂ්ඨ දායකත්වය ද මෙවර ද කැපී පෙනෙනු ඇත. ලොව පුරා බෞද්ධයන් සමරන වෙසක් උත්සවයේ ප්‍රධාන නිමිත්ත සම්බුදු තෙමඟුල බව බොහෝ දෙනා දනිති. එනම් සිදුහත් කුමරු උපත, සිදුහත් තවුසාණන් සම්මා සම්බුද්ධත්වයට පත්වීම, බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමයි. ඒ අනුව සිදුහත් කුමර උපතින් 2649 වෙනි වසර ද සිද්ධාර්ථ බෝධිසත්වයන් සම්මා සම්බුද්ධත්වයට පත් වීමෙන් 2614 වෙනි වසර ද පිරිනිවන් පෑමෙන් 2569 වෙනි වසර ද අදින් ඇරඹෙනු ඇත.බෞද්ධයන් විසින් පිළිගනු ලබන වර්ෂ ක්‍රමය වූ බුද්ධ වර්ෂ ක්‍රමය ආරම්භ වන්නේ බුද්ධ පරිනිර්වාණය නිමිති කර ගනිමිනි.නමුත් මේ වන විට බුද්ධ වර්ෂ ක්‍රමය භාවිතයෙන් බැහැර වීම නිසා අද වන විට අප ජන සමාජය ශ්‍රී බුද්ධ වර්ෂ පිළිබඳ තැකීමක් නොකිරීම යහපත් ප්‍රවණතාවක් නොවේ.