රාජ්‍ය බලය හා බෞද්ධ බලය ගැටුණු ත්‍රිකුණාමලයේ බුදු පිළිම සිද්ධිය – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

ත්‍රිකුණාමලයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ බුදු පිළිම සිද්ධියෙන් මේ රටේ කලාතුරකින් ඇති විය හැකි රාජ්‍ය බලය හා බෞද්ධ බලය අතර ශක්තිය උරගා බැලීමේ අවස්ථාවක් උද්ගත විය. සාමාන්‍යයෙන් මෙරට රාජ්‍ය බලය හැමවිටම පාහේ බෞද්ධ බලයට අභියෝගයක් නොවන අන්දමින් ක්‍රියාත්මක කිරීමට එදා මෙදා තුර පාලකයෝ වග බලා ගත්හ. මුල් වකවානුවලදී මහා විහාරය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වූ බෞද්ධ බලය ක්‍රිස්තු පූර්ව යුගයේදීම සීමාව ඉක්මවා යමින් රාජ්‍යත්වය දරන්නා තීරණය කිරීම දක්වා ගමන් කළ බව, සද්ධාතිස්ස රජු ගේ අභාවයෙන් පසු වැඩිමහල් ලජ්ජිතිස්ස නොව බාල පුත් ථුල්ලත්ථනට ඔටුනු පැළඳවීමට එවක බෞද්ධ බලය නියෝජනය කළ මහාවිහාරීය භික්ෂූන් පිරිසක් ක්‍රියා කිරීමෙන් පෙනේ. මෙම සීමාව ඉක්මවා යාමේ වරදට එම භික්ෂූන් පිරිසට දිවි අහිමි කෙරුවත්, ලජ්ජිතිස්ස රජු පොදු බෞද්ධ බලයට අභියෝග කළේ නැත.

මහසෙන් රජු මහා විහාරයේ බලය පිළි නොගෙන අභයගිරි පාර්ශවය ගෙන ක්‍රියා කිරීම නිසා ඔහුට එරෙහිව බිහිසුණු කැරැල්ලක් පැන නැගුණි. සාකච්ඡාවෙන් ඒ අර්බුදය විසඳා ගත් පසු මහසෙන් රජු ඔහුට එරෙහිව නැගුණු බෞද්ධ බලයට අභියෝග කළේ නැත. රාජ්‍යත්වයේ බල උරුමයේ සංකේතය ලෙස දළදා වහන්සේ හා පාත්‍ර ධාතුව පත්වීමෙන් පසුව මේ රාජ්‍යත්වයේ බෞද්ධ බලය නියෝජනය වූයේ ඒ ශුද්ධ වස්තූන්ගෙනි. අවසානයේ කෝට්ටේ රාජ්‍යයේ දොන් ජුවන් ධර්මපාල මේ බෞද්ධ බලය නොතකා බටහිර ජාතියක රූකඩයක් වීමේ ප්‍රතිඵලය ඔහු පෘතුගීසීන්ගේ පින් පඩියෙන් යැපී අසරණව මිය යාමට සිදුවීමෙන් පැහැදිලි වෙයි.

මහසෙන් රජු මහා විහාරයේ බලය පිළි නොගෙන අභයගිරි පාර්ශවය ගෙන ක්‍රියා කිරීම නිසා ඔහුට එරෙහිව බිහිසුණු කැරැල්ලක් පැන නැගුණි. සාකච්ඡාවෙන් ඒ අර්බුදය විසඳා ගත් පසු මහසෙන් රජු ඔහුට එරෙහිව නැගුණු බෞද්ධ බලයට අභියෝග කළේ නැත. රාජ්‍යත්වයේ බල උරුමයේ සංකේතය ලෙස දළදා වහන්සේ හා පාත්‍ර ධාතුව පත්වීමෙන් පසුව මේ රාජ්‍යත්වයේ බෞද්ධ බලය නියෝජනය වූයේ ඒ ශුද්ධ වස්තූන්ගෙනි. අවසානයේ කෝට්ටේ රාජ්‍යයේ දොන් ජුවන් ධර්මපාල මේ බෞද්ධ බලය නොතකා බටහිර ජාතියක රූකඩයක් වීමේ ප්‍රතිඵලය ඔහු පෘතුගීසීන්ගේ පින් පඩියෙන් යැපී අසරණව මිය යාමට සිදුවීමෙන් පැහැදිලි වෙයි. මහජන ඡන්දයෙන් පාලකයා තෝරා ගැනුණු 1948න් පසුව බෞද්ධ බලය අවදි කර දේශපාලන බලවේගයක් බවට පත් කරන ලද්දේ හේන් පිටගෙදර ඥානසීහ හිමියන්ගේ බුද්ධ ශාසන සමිති ව්‍යාපාරයෙනි. ඒ අවස්ථාවේ රටේ අගමැතිකමට පත්විය යුත්තා තීරණය කිරීමට ජනතාව මෙහෙයවීමට බෞද්ධ බලයට හැකි වූ බව පෙනේ. එසේ වුවද බලවත් භික්ෂූන් වහන්සේලට වුවත් අගමැතිවරයාව තම රූකඩයක් කර ගැනීමේ හැකියාව නොවීය. අනතුරුව බෞද්ධ බලය යළි ප්‍රදර්ශනය කෙරුනේ ගංගොඩවිල සෝම හිමියන්ගේ අපවත් වීමත් සමඟ ය. එදා අවදි වුණු බෞද්ධ බලය භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් දේශපාලන බලවේගයක් බවට පත් කිරීමට උත්සාහ කළ නමුත් පාර්ලිමේන්තුවේ කතානායක වරයා ලෙස පත්විය යුතු කෙනා තීරණය කරනවා හැරෙන්නට වෙනත් දෙයක් කිරීමට එම බලවේගය සමත් වූයේ නැත. මේ බෞද්ධ බලය ගැන බොහෝ දෙනෙකු සිතා සිටින්නේ එය භික්ෂූන් වහන්සේලාගේ බලයකැයි කියා ය. නමුත් සැලකිල්ලෙන් බැලීමේදී පෙනෙන්නේ බෞද්ධ බලය අවදි කිරීමේ කාර්යය කළ හැකිවන්නේ භික්ෂූන් වහන්සේලාට වුවත්, එය හුදෙක් භික්ෂූන් වහන්සේලා කීප දෙනකුගේ ඕනෑ කම මතම පමණක් අවදි කළ හෝ භාවිතා කළ හැකි බලයක් නොවන බවයි.බෞද්ධ බලය අවදි කිරීමට ඇවැසි තත්ත්වයන් හැමවිටම බිහිවන්නේ රාජ්‍ය පාලනයේ නොසැලකිල්ල නිසාවෙනි. එබඳු තත්ත්වයකදී අප්‍රකට සාමනේරයන් වහන්සේ කෙනෙකුට වුවද මේ බෞද්ධ බලය කැඳවිය හැකිය. ත්‍රිකුණාමලයේ සම්බුද්ධත්ව ජයන්ති බෝධිරාජ විහාරයේ සිද්ධිය ඊට හොඳම උදාහරණයයි.

දැන් අප ඉදිරියේ ඇති කාර්යය වන්නේ ත්‍රිකුණාමලයේ මේ විහාරස්ථානය ආශ්‍රයෙන් සත්‍ය වශයෙන් සිදුවූ සිද්ධිය කුමක්ද? යන්න හා මේ සිද්ධියේදී රාජ්‍ය බලයේ ක්‍රියාකාරිත්වය තිබුණේ කෙසේද? යන කරුණු දෙක විමසා බැලීමයි. ත්‍රිකුණාමල සම්බුද්ධත්ව ජයන්ති බෝධිරාජ විහාරස්ථානය මෑතදී ආරම්භ කළ විහාරයක් නොව 1951 සිට පැවති විහාරයක් යන්න කවරෙකු හෝ අභියෝග කර නැති කරුණකි.

මේ විහාරස්ථානයේ දහම් පාසල, මෙම ප්‍රශ්න ගත ඉඩමේ පිහිටා තිබුණු ගොඩනැගිල්ලේ 2002 වසරේදී ගත් ඡායාරූපයක් ද සමාජ මාධ්‍යයේ පළ කර තිබුණි. මෙම දහම් පාසල බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව යටතේ 2003 වසරේ ලියාපදිංචි කළ සහතිකය ද සමාජ මාධ්‍ය ඔස්සේ දැකගත හැකි විය. එම ගොඩනැගිල්ල 2004 දෙසැම්බර් මස 26 දින සිදුවූ සුනාමියෙන් විනාශයට පත්වී ඇත. එහෙත්, සුනාමියෙන් විනාශවූ ගොඩනැගිල්ල යළි ඉදිකිරීම කෙරී නැත්තේ ඒ වන විට බල පැවැත් වූ මීටර් 100 ආරක්ෂිත කලාපය නිසා ඊට අවසර රජයෙන් නොලැබීම විය යුතු ය. ඉන්පසුවත් මේ ඉඩම විහාරස්ථානයේ අයිතිවාසිකම යටතේ පවත්වා ගෙන ගොස් ඇති අතර, 2014 වර්ෂයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් රජයේ ඉඩම් ආඥා පනතේ 6 වන වගන්තිය ප්‍රකාරව නිදහස් දීමනා පත්‍රයක් විහාරාධිපති හිමියන් නමින් පර්චස් හතළිහක් සඳහා නිකුත් කර ඇත. රජයේ ඉඩම් ආඥා පණතේ 6 වගන්තිය ප්‍රකාරව නිදහස් දීමනා පත්‍ර නිකුත් කරන්නේ පුණ්‍යමය, අධ්‍යාපනික, පරිත්‍යාගමය, ආගමික හෝ විද්‍යාත්මක කාර්යයන් සඳහා ය. ඒ අනුව ආගමික ස්ථානයක කටයුතු සඳහා මේ ලබා දී ඇති දීමනා පත්‍රය නීත්‍යානුකූල දීමනා පත්‍රයකි. ඒ අනුව මේ ප්‍රශ්නගත ඉඩම නිරවුල්ව ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානය සතු ඉඩමක් බවත්, මේ ඉඩම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෝ රජය භාරයේ පවතින ඉඩමක් නොවන බවත් මැනවින් පැහැදිලි වෙයි. ඒ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුද්ගලයන් සඳහන් කළ පරිදි මේ ඉඩම අනවසරයෙන් විහාරස්ථානය අල්ලාගත් ඉඩමක් නොවන බවත් පිළිගත යුතු ය. ඊළඟට මෙම ඉඩම සඳහා දී ඇති නිදහස් දීමනා පත්‍රය ජනාධිපතිවරයා විසින් පෞද්ගලික දැන හැඳුනුම් කමට ලියා දෙන්නක් නොවේ. එය ප්‍රාදේශීය ලේකම්ගෙන් ආරම්භ වී අදාළ සියලු රාජ්‍ය ආයතන නිර්දේශ ඇතිව පළාත් සභාවේ එකඟත්වය ද ගෙන, ඉඩම් කොමසාරිස් ජනරාල් වරයාගේ අධීක්ෂණය හා ඉඩම් අමාත්‍යවරයාගේ ද නිර්දේශ සහිතව, බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාගේ හා අදාළ විහාරස්ථානය අයත් නිකායේ මහනායක හිමියන්ගේ ද නිර්දේශ ඇතිව ජනාධිපතිවරයා විසින් නිකුත් කරන්නකි. ඒ අනුව මේ ඉඩම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් හිතවත්කමට විහාරස්ථානයට දුන් ඉඩමක් ය යනුවෙන් ඇඟවෙන කයි කතන්දර ලියන උදවිය එය එසේ නොවන බව දැන ගත යුතු ය.

ඊළඟ ප්‍රශ්නය වන්නේ මේ ඉඩමේ ආරම්භ කළ පළතුරු යුෂ බීම හල පිළිබඳ ගැටලුවයි. මේ පළතුරු බීම හල අනවසරයෙන් ඉදිකළ එකක්ද? මේ කරුණ පැහැදිලි කර ගතයුතු වන්නේ මේ ගැන සමාජ මාධ්‍යයේ බෙදා හැරුනු බොහෝ සටහන්වල මෙය අනවසරයෙන් ඉදි කළ යන විශේෂණය සහිතව සඳහන් කර තිබූ නිසා ය. විහාරස්ථානය සතු ඉඩමක ආගමික ගොඩනැගිල්ලක් නොවන ව්‍යාපාරික ගොඩනැගිල්ලක් ඉදිකිරීම ද ඇතැම් අයගේ විවේචනයට ලක් කර තිබෙනු දක්නට ලැබිණ. මෙහිදී විහාරස්ථානය උපහාසයට ලක් කරමින් “ජූස් බාර් ඉඩම බේරා ගැනීමට හාමුදුරුවෝ බුදු පිළිමයක් තිබ්බා” කියා ලියා තිබෙනු ද නිරීක්ෂණය විය. මෙරට බොහෝ සිද්ධස්ථාන සතු ඉඩ කඩම්වල ව්‍යාපාරික ගොඩනැගිලි, නිවාස, වෙනත් ඉදිකිරීම් ආදිය පිහිටා තිබේ. ඇඹිලිපිටියේ සංඛපාල විහාරයට අයිති ඉඩම්වල ග්‍රාම නිලධාරී කොට්ඨාස හතරකට පමණ අයිති ගම් පිහිටා ඇත. ඒ ගම්වලට අයත් සියලු පහසුකම් නිවාස පිහිටා ඇත්තේ විහාර සන්තක ඉඩම්වල ය. වෙළෙඳ සල් පමණක් නොව සොහොන් පිටි, ගල්වලවල්, කුඹුරු ගබඩා ගොඩනැගිලි ආදී සියල්ල ඇත්තේ විහාර ඉඩමේ ය. මේවායේ පදිංචි අය, ව්‍යාපාර කරන අය සංඛපාල විහාරස්ථානයට බදු කුලියක් ගෙවති. කිරිඇල්ලේ නැදුන් රජමහා විහාරය, දුම්බර විහාරය යන විහාරස්ථානවලට ලබා දී ඇති ඉඩම්වල දස දහස් ගණනක ජනතාව පදිංචි වී සිටිති. ඒ ජනතාවගේ සියලු පහසුකම් පිහිටා ඇත්තේ විහාර ඉඩම්වල ය.

ශ්‍රීපාදස්ථානය සතු ගිලීමලේ, කුට්ටාපිටිය යන ගම් පිළිබඳ තත්ත්වය ද මෙසේ ය. දළදා මාළිගාව, කතරගම මහ දේවාලය, සබරගමු සමන් දේවාලය වැනි ආගමික ආයතනවල ඉඩම්වල ද මෙසේ ආගමික නොවන ගොඩනැගිලි කොතෙකුත් තිබේ. මේ ඉඩම් එකී ආගමික ස්ථානවලට ආදායම් ලබා ගැනීමට දී ඇති දේපළ ය. එම නිසා විහාරස්ථානයක් සතු සෑම ඉඩමකම ආගමික ගොඩනැගිලි පමණක් තිබිය යුතුය යන්න අන්තවාදී මතයක් බව තේරුම් ගත යුතු ය. මේ පළතුරු බීම හලට අදාළ ඉදිකිරීම සඳහා වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවසර පත්‍රයක් නිකුත් කර ඇත්තේ 2023/07/13 දිනදී ය. එම අවසර පත්‍රය වසර දෙකක් සඳහා වලංගු ය. ඒ අනුව මේ ඉදිකිරීම අනවසරයෙන් කළ එකක් යැයි විහාරස්ථානයට එරෙහිව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව එල්ල කරන චෝදනාව මුළුමනින්ම අසත්‍යයකි. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව යනු මේ රටේ වෙරළ සම්පත කළමනාකරණය කරන දෙපාර්තමේන්තුවයි. එයින් රටේ වෙරළ තීරයේම අයිතිය එම දෙපාර්තමේන්තුවට පැවරී ඇතැයි බොහෝ දෙනා සිතා සිටිති. නමුත් එය එසේ නොවේ. වෙරළ තීරයේ ඉඩම් විවිධ පුද්ගලයන්ට හා ආයතන සතු ය. ඇතැම් ඉඩම් හිමිවන්නේ රජයට ය. රජය එම ඉඩම් පුද්ගලයන්ට ලබා දෙන්නේ නම්, එසේ ලබාදීමේ දී අදාළ ඉඩමේ යෝජිත භාවිතාව පිළිබඳව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිර්දේශයක් අවශ්‍ය වෙයි. ඉඩම කවරෙකු සතු වුව ද ඔවුන් වෙරළ තීරයේ ඇති තම ඉඩම් භාවිතා කළ යුත්තේ වෙරළ සංරක්ෂණ පනත අනුව සකස් කළ කළමනාකරණ සැලැස්මට අනුකූලව ය. කිසියම් කාර්යයක් හෝ ඉදිකිරීමක් වෙරළ තීරයේ ඉඩමක සිදු කිරීමේදී වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂවරයාගේ අවසර පත්‍රයක් ලබාගත යුතුයැයි නීතියෙන් නියම කර ඇත්තේ මේ කළමනාකරණ සැලැස්ම නිසා ය.

මේ විහාරස්ථානය සතු ඉඩමේ පළතුරු යුෂ බීම හල සඳහා ඉදිකිරීමක් කිරීමට දී ඇති අවසර පත්‍රයෙන් තේරුම් ගත යුත්තේ එම භාවිතාව වෙරළ කළමනාකරණ සැලැස්මට අනුකූල බව එම දෙපාර්තමේන්තුව පිළිගෙන ඇති බවයි. එම නිසා වෙරළ සංරක්ෂණ නීතිය යටතේ මෙය අනවසර ඉදිකිරීමක් ද නොවේ. එසේනම් මෙය අනවසර සේ සලකා ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව උත්සාහ කළේ ඇයි? සාමාන්‍යයෙන් වෙරළ තීරයේ ඉදිකරන මෙවැනි ඉදිකිරීම් සඳහා දුන් අවසර පත්‍රයක කාලය අවසානයේ යළි දීර්ඝ කිරීම් සිදු කෙරේ. එහෙත් මේ අවසර පත්‍රය වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ කිරීම සිදු කර නැත. ඒ අතර මේ ස්ථානයේ ව්‍යාපාරය පවත්වාගෙන ගිය අයට එරෙහිව අනවසරයෙන් එම ඉඩම අල්ලා ගැනීමක් ගැන විමර්ශනයක් පොලිසියෙන් කර ඇති බවත්, පසුව එම විමර්ශනය අවසන් කර ඇති බව ද පැවසේ. රජයේ ඉඩම් අනවසර අල්ලා ගැනීම් ගැන පොලිසිය විමර්ශනය කිරීමක් රටේ වෙනත් පළාත්වල සිදු නොකරන අතර එය ප්‍රාදේශීය ලේකම්ගේ රාජකාරියකි. ඒ අතර ත්‍රිකුණාමල නගර සභාව විසින් මෙය අනවසර ඉදිකිරීමක් සේ සලකා අධිකරණයේ නඩුවක් පවරා ඇති බවක් ද කියවේ. ඒ නඩුව පවතින අතර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙහි අවසර දුන් ප්‍රමාණයට වඩා විශාල ඉදිකිරීමක් කර ඇතැයි චෝදනා කර අනවසර ඉදිකිරීම ඉවත් කරන ලෙස පොලිසියට දන්වා ඇත. පොලිසිය මෙය ඉවත් කරන ලෙස දැන්වුව ද, විහාරාධිපති හිමියන් පවසා ඇත්තේ නගර සභාව පවරා ඇති නඩුවේ විෂය වස්තුව වන මෙම ඉදිකිරීම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දැනුම් දීම මත ඉවත් කිරීමෙන් තමන්ට නඩුවේ දී අවාසිදායක වන බැවින් එම නඩුව අවසන් වනතුරු මෙය ඉවත් කළ නොහැකි බව ය. එම අදහස සාධාරණ අදහසක් වුවත් මේ රාජ්‍ය ආයතන පීඩනය පිටුපස සිටි නොදන්නා “බලවේගයක්” මීට ඉඩ දීමට සූදානම් නොවූ බව පෙනේ. මේ “බලවේගය” කුමක්ද යන්න හරිහැටි පැහැදිලි නැතත් එය පොලිසියට අයත් නොවන රාජකාරි පවා පොලිසිය ලවා ඉටු කරවා ගැනීමට තරම් බලවත් “බලවේගයක්” බව නම් පැහැදිලි ය.

මේ වන විට දිගින් දිගටම මේ රාජ්‍ය ආයතනවලින් එල්ල වන පීඩනය හමුවේ මෙතෙක් හුදෙකලාව මීට මුහුණ දුන් විහාරාධිපති හිමියන් තම සහයට බෞද්ධ බලය යොදා ගැනීමට තීරණය කළ බව පෙනේ. මේ යටතේ දායක සභාව සමග විහාරාධිපති හිමියන් තීරණය කරන්නේ මෙම ඉඩමේ සුනාමියෙන් විනාශ වූ දහම් පාසල් ගොඩනැගිල්ල වෙනුවට ගොඩනැගිල්ලක් අලුතින් ඉදිකරන්නට ය. ඊට හේතුවන්නට ඇත්තේ රාජ්‍ය ආයතන මේ පීඩනය එල්ල කරන්නේ මේ ඉඩම විහාරස්ථානයෙන් උදුරා ගැනීමට ය යන හැඟීම ඒ හිමියන් තුළ ඇතිවීමට තරම් බලවත් “බලවේගයක්” මේ පිටුපස ඇති බව උන්වහන්සේට තේරුණු නිසා විය යුතුය. විහාරස්ථානයක දේපළ අයිතිය අඟවන ප්‍රධාන සංකේතය ලෙස මෙන්ම බෞද්ධ බලයේ සංකේතය ලෙස ශ්‍රී ලංකාවේ යොදා ගන්නේ බුද්ධ ප්‍රතිමාවයි. ඒ වන්දනීය බෞද්ධ සංකේත වන චෛත්‍ය, බෝධිය හා බුද්ධ ප්‍රතිමාව යන තුනෙන් ප්‍රතිමාව ඉතා පහසුවෙන්ම කෙටි කලක් තුළ ස්ථාපිත කළ හැකිවීම නිසා ය. සම්බුද්ධත්ව ජයන්ති බෝධිරාජ විහාරය ද සිය විහාරස්ථානයේ ඉඩම තමන්ට පීඩනය එල්ල කරන බලවේගයෙන් බේරා ගැනීමේ පරමාර්ථයෙන් එක් දිනක් තුළ ආවරණය ඉදිකර රාත්‍රියේම බුදු පිළිමයක් තැන්පත් කරන ලදී. කිසියම් ස්ථානයක බුදු පිළිමයක් තැන්පත් කිරීම නීත්‍යානුකූල නොවන්නේ එම ස්ථානය අයිතිකරුවාගේ අවසරයකින් තොරව එහි තැන්පත් කළහොත් පමණි.

නමුත් මෙහිදී ඉඩම් හිමියා විහාරාධිපති හිමියන් වීම නිසා ඒ හිමියන් විසින්ම එහි බෞද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීම මුළුමනින්ම නීත්‍යානුකූල ය. එසේ වුවද රාජ්‍ය ආයතන මෙය නතර කරන්නට මහත් උත්සාහයක් ගත් බව පැහැදිලිව පෙනී යයි. මේ ඉඩමේ අනවසර ඉදිකිරීමක් කරන බැවින් එය නතර කරන ලෙසට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පොලිසියට කරන ලද පැමිණිල්ලක් පරිදි යැයි කියමින් පොලිස් අධිකාරිවරයා විහාරස්ථානයට පැමිණ ස්වාමීන් වහන්සේලාට කළ දැනුම් දීම හුදෙක් සාමකාමී ඉල්ලීමක් නොව අධිපතිවාදී නියෝගයක ස්වරූපය ගත් බව වීඩියෝවෙන් හෙළිවිය. සිවිල් ඇඳුමෙන් සැරසී සිටි ඔහු අඩුම තරමින් තමා කවරෙක්දැයි හඳුන්වා දීමට තරම්වත් විනය ගරුක නොවීය. සිය උත්සාහය අසාර්ථක වනු දුටු ඔහු එතනින් නික්ම ගියේ “කොහොමටත් හෙට මේක ගලවනවා” යැයි තර්ජනය කරමිනි. අවසානයේ මේ පිටුපස සිටි අදෘශ්‍යමාන “බලවේගය” ගත හැකි මෝඩම තීරණය ගනිමින්, බෞද්ධ බලය විසින් විහාරස්ථානයට අයත් ඉඩමේ පිහිටවූ බුදු පිළිමය රාජ්‍ය බලය යොදවා ගෙන ඉවත් කිරීමට පොලිසිය යොදා ගන්නා ලදී. බුද්ධ ප්‍රතිමාව ආරක්ෂා කිරීම සඳහා ඉවත් කිරීමකට වඩා එය දිස් වූයේ පැහැරගෙන යාමක් ලෙසිනි. මේ වන විටත් බෞද්ධ බලය කැඳවිය හැකි අවස්ථාවක් මේ විහාරය ආශ්‍රිතව නිර්මාණය වෙමින් ඇති බව දුටු සටන්කාමී භික්ෂූන් ත්‍රිකුණාමලයට සම්බන්ධ වී සිටියහ. මේ සටන්කාමී නියෝජිතයන්ට මෙබඳු අවස්ථාවල ආරාධනා කිරීම අවශ්‍ය නොවේ. ඔවුන් තමන්ට ක්‍රියාකාරී විය හැකි අවස්ථාවක් නිර්මාණය වෙමින් පවතින බව නිරීක්ෂණය වත්ම ඒ ස්ථානවලට පිවිස එහි ඇති විරෝධතාවට නායකත්වය දෙති. එහි කොටසක් ලෙස සිදුවන සියල්ල සැනෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැරි ඔවුහු මුළු රටේම බෞද්ධ බලවේගය උණුසුම් කළෝය. මේ සිද්ධිය පිටුපස සිටි “බලවේගය” අදෘශ්‍යමාන වුව ද, රට පුරා බෞද්ධ බලය ආණ්ඩුවට එරෙහිව නැග එන බව දුටු ආණ්ඩුව පාර්ලිමේන්තුවේ දී බුදු පිළිමය ආරක්ෂාව සඳහා පොලිසියට වැඩම වූ බව කියා යළිත් පිළිමය එම ස්ථානයේම තැන්පත් කරමින් ජාම බේරා ගැනීමට තරම් බුද්ධිමත් විය.

මේ සිද්ධිය පිටුපස රාජ්‍ය බලය තමන්ගේ වාසියට රූකඩ නටවන්නා සේ යොදා ගැනීමට තරම් බලවත් “බලවේගයක්” සිටි බවක් මැනවින් පැහැදිලි වෙයි. ඒ “බලවේගය”ට සෑම සමාජ බලවේගයක්ම තම පාලනය යටතට ගැනීමේ අවශ්‍යතාව තිබේ. ඒ සඳහා ඔවුන් උපරිම අයුරින් රාජ්‍ය ආයතන අවභාවිතයේ යොදා ගැනීමට නොපසුබට වෙති. මේ රටේ තවත් අදෘශ්‍යමාන මහ බලවේගයක් වූ බොදු බලය, රාජ්‍ය බලය පවා පාලනය කළ හැකි අදෘශ්‍යමාන “බලවේගයේ” ක්‍රියාකාරිත්වය පිළිබඳ අවධානයකින් සිට ඇත. රාජ්‍ය ආයතනවලින් බෞද්ධාගමික ස්ථානවලට කෙරුණු ස්වේච්ඡා සේවාවන් සඳහා මුදල් අය කරන්නට බිල්පත් එවීම, ඇතැම් විහාරස්ථාන ආශ්‍රිතව අනුයුක්ත කර සිටි ආරක්ෂක භටයන් ඉවත් කිරීම, ආගමික ස්ථාන භාරකාරිත්වයට පත්කරන ගිහි පුද්ගලයින් පත් කිරීමේදී රාජ්‍ය බලය යොදාගෙන දේශපාලනික ක්‍රියාකාරිත්වය ඇති අය පත් කරන්නට උත්සාහ කිරීම ආදී අමුතු පන්නයේ කටයුතු මේ බෞද්ධ බලයේ නිරීක්ෂණයට හසු වී තිබුණි. ත්‍රිකුණාමලයේ සම්බුද්ධත්ව බෝධිරාජ විහාරයේ ඉඩමේ බුද්ධ ප්‍රතිමාව පිහිටුවීමට බාධා කිරීම හා පසුව එය බලෙන් ඉවත් කිරීම සඳහා පොලිසිය ක්‍රියා කිරීමත් සමග මේ බෞද්ධ බලවේගය සැනෙන් අවදිවිය.

රාජ්‍ය බලය යනු තමන්ට ඕනෑ හැටියට රූකඩ නටවන්නා සේ භාවිතා කළ හැක්කක් නොවන බවත්, එසේ කරන්න ගියොත් රාජ්‍ය ආයතනවලට හොට බිම ඇණ ගන්න වෙන බවත්, අවසාන විග්‍රහයේදී එය රජය විසින් හොට බිම ඇණ ගැනීමක් සේ විග්‍රහ වන බවත් රජය කරවන අය තේරුම් ගත්තොත් වලක වැටීමෙන් මොළයට ලැබෙන ලාභයට හිමිකම් කිව හැකි ය. එසේ නොමැතිව සිදුවූ ඇණ ගැනීම වහන්නට මෙය ජාතිවාදය ඇවිස්සීමක්, ආණ්ඩු විරෝධී රැස්වීමට සෙනඟ ගෙනෙන්න කළ උපක්‍රමයක් ආදිය කියමින් හානි පූර්ණය කරනවාට වඩා වටින්නේ සිදුවූ වරද යළි සිදු නොවන ලෙස කටයුතු කිරීම ය.

මේ බෞද්ධ බලය අවදිවීම නිරීක්ෂණය කර එය සක්‍රිය වන්නට පෙර පාර්ලිමේන්තුවේදී කිසිසේත් සත්‍යයැයි පිළිගත නොහැකි ප්‍රකාශයක් කර හෝ යළි ආපසු පිළිමය තිබූ ස්ථානයේ තැන්පත් කිරීමට තරම් බුද්ධියක් ආණ්ඩුවට තිබීම ගැන ආණ්ඩුවේ නායකයින් සතුටු විය යුතු ය. රාජ්‍ය බලය යනු තමන්ට ඕනෑ හැටියට රූකඩ නටවන්නා සේ භාවිතා කළ හැක්කක් නොවන බවත්, එසේ කරන්න ගියොත් රාජ්‍ය ආයතනවලට හොට බිම ඇණ ගන්න වෙන බවත්, අවසාන විග්‍රහයේදී එය රජය විසින් හොට බිම ඇණ ගැනීමක් සේ විග්‍රහ වන බවත් රජය කරවන අය තේරුම් ගත්තොත් වලක වැටීමෙන් මොළයට ලැබෙන ලාභයට හිමිකම් කිව හැකි ය. එසේ නොමැතිව සිදුවූ ඇණ ගැනීම වහන්නට මෙය ජාතිවාදය ඇවිස්සීමක්, ආණ්ඩු විරෝධී රැස්වීමට සෙනඟ ගෙනෙන්න කළ උපක්‍රමයක් ආදිය කියමින් හානි පූර්ණය කරනවාට වඩා වටින්නේ සිදුවූ වරද යළි සිදු නොවන ලෙස කටයුතු කිරීම ය. බෞද්ධ හෝ වෙනත් ආගමික සිද්ධස්ථාන, පූජ්‍ය පක්ෂය, ආගමික නායකයින් සමග කටයුතු කිරීමේදී බලය පෙන්වන පුද්ගලයන් වෙනුවට සුහදව සාකච්ඡා කළ හැකි බුද්ධිමත් මැදිහත් කරුවන් යොදා ගැනීමටත් ආණ්ඩුව කල්පනා කළොත් හොඳ ය. ආණ්ඩුව අඩියක් දෙකක් පස්සට ගත් මේ අවස්ථාවේදී බොදු බලය පෙන්වමින් නීතියට පිටින් හිතුවක්කාර ක්‍රියා නොකර, වහසිබස් නොදොඩා මේ ගැටලුව සුහදව විසඳා ගැනීමට ගෞරවනීය සංඝරත්නයට ඉඩ සලසා දෙමින් ත්‍රිකුණාමලයෙන් පිටවීම යහපත් බව සටන්කාමී බොදු නියෝජිතයින්ට ද කිව යුතු ය. අභියාචනාධිකරණයේ බුද්ධිමත් විනිසුරුතුමන්ලා මීට අදාළ නඩුවේදී පෙන්වා දුන් මාර්ගෝපදේශ අනුගමනය කිරීම මීට හොඳම විසඳුමයි.

සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

එතෙර - මෙතෙර