
සමස්ත දිවයිනම එක සේ පීඩාවට පත් කළ ඉතිහාසයේ දරුණුතම විපතකට ශ්‍රී ලාංකීය සමාජය ලෙස අපි පසුගිය සතියේ මුහුණ දුන්නෙමු. දැන් අප පිවිස සිටින්නේ විපතෙන් ජාතියට සිදු වූ බරපතල තුවාලවල දිග, පළල, ගැඹුර ගැන මැන බලමින්, තුවාල පෙන්වමින්, විපතට වගකිව යුතුයැයි අපට හිතෙන අයට සාප කරමින්, බැණ වදිමින්, ආක්‍රෝශ පරිභව කරමින් සිටින කාලයට ය.
මෙහිදී නිරායාසයෙන්ම බලයේ සිටින ආණ්ඩුව දැඩි විවේචනයට ලක් කිරීමට සෙසු පක්ෂත්, ඊට පිළිතුරු ලෙස සුනාමියේ සිට මෙහාට සිදුවූ ස්වාභාවික ආපදාවලදී බලයේ සිටි ආණ්ඩු වල ක්‍රියාකලාපය උලුප්පමින් ප්‍රතිඋත්තර බැඳීමට ආණ්ඩුවත් ක්‍රියා කරනු නියත වශයෙන්ම දැක ගත හැකිවනු ඇත. දැනටමත් ආපදාවේ තොරතුරු ලැබී තිබියදී පූර්ව සූදානමක් නොතිබීම ගැන ආණ්ඩුව විවේචනය කිරීම ආරම්භ කර ඇත. මේ මහා විවාදයේ පැටලීමට ඉතාමත් ඕනෑකමින්, ආසාවෙන් බලා සිටින සමාජ මාධ්‍ය කුණුහරුප බලකායනුත්, ඇතැම් යූ ටියුබ් කුණුහරුප මාධ්‍යත්, දැනටම මේ ගින්න අවුලවමින් සිටින බව නිරීක්ෂණය වේ.
ජාතියක් ලෙස අප දැන් කළ යුත්තේ මේ දැන් මතුවන සාම්ප්‍රදායික කා කොටා ගැනීමේ පැටලීම නොව, හැකි ඉක්මනින් මේ මහා විපතෙන් ගොඩ විත් ජාතියේ ඉදිරි ගමන ස්ථාවර කිරීම ය. එය කයිවාරුවෙන් හෝ විවේචනයෙන් කළ හැක්කක් නොවේ. ඒ සඳහා මනා සැලසුමකින් යුතු ව කළ යුතු දේ පෙළ ගස්වා ප්රමුඛතාවයන් අනුව අදාළ සැලැස්ම කාර්යක්ෂමව ක්‍රියාත්මක කළ යුතු ය.
ජාතියක් ලෙස අප දැන් කළ යුත්තේ මේ දැන් මතුවන සාම්ප්‍රදායික කා කොටා ගැනීමේ පැටලීම නොව, හැකි ඉක්මනින් මේ මහා විපතෙන් ගොඩ විත් ජාතියේ ඉදිරි ගමන ස්ථාවර කිරීම ය. එය කයිවාරුවෙන් හෝ විවේචනයෙන් කළ හැක්කක් නොවේ. ඒ සඳහා මනා සැලසුමකින් යුතු ව කළ යුතු දේ පෙළ ගස්වා ප්රමුඛතාවයන් අනුව අදාළ සැලැස්ම කාර්යක්ෂමව ක්‍රියාත්මක කළ යුතු ය.
මෙහිදී මුලින්ම කළ යුත්තේ විදේශ ආධාර කළමනාකරණය කිරීමේ නිසි ක්‍රමවේදයක් සැකසීම ය. සුනාමිය අවස්ථාවේ රටට ලැබුණු විදේශ ආධාර සම්භාරය, ජාතික මට්ටමේ කළමනාකරණය පිළිබඳව හොඳම අත්දැකීම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මැතිණිය සතු ය. යුද්ධය අවසානයේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල දැවැන්ත යටිතල පහසුකම් සංවර්ධනය කෙටි කලක් තුළ සිදුකිරීම පිළිබඳ අත්දැකීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සතු ය. මහා අර්බුදයකින් ගොඩ ඒම සඳහා ගත යුතු කඩිනම් පියවර ගැන ලොව හොඳම අත්දැකීම සහිත රාජ්‍ය නායකයා හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ය. මේ සියලු අත්දැකීම් මේ මහා විපතෙන් ගොඩ ඒමට සක්‍රියව යොදා ගත යුතු ය.
විදේශ ආධාරක ආයතනවලින් හදිසි ප්‍රතිචාර සඳහා ලබා දෙන ආධාර මෙන්ම පුනරුත්ථාපන කටයුතුවලටත්, ජීවනෝපාය යථාවත් කිරීමටත් ආධාර ලබාගත හැකි වේ. ඒ සඳහා රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් වහා ආරම්භ කළ යුතුව ඇත. දිස්ත්‍රික් පුනරුත්ථාපන සැලසුම් කඩිනමින් සකසා ප්‍රමුඛතා අනුව ආධාරක ආයතනවලට ව්‍යාපෘති තෝරා ගැනීමට පහසුකම් සැලසිය යුතු ය. මේ ටික පෙන්වා දෙන්නේ සුනාමි ආධාර යටතේ ජීවනෝපාය සංවර්ධනයට ලැබුණු යුරෝ මිලියන 30ක අරමුදලින්, දිස්ත්‍රික්කයෙන් නිසි මඟ පෙන්වීමක් නොලද එක්සත් ජාතීන්ගේ අනුබද්ධ සංවිධානයක් හිතුමතයේ ගම්වල බහුකාර්ය ගොඩනැගිලි හා සෞඛ්‍ය මධ්‍යස්ථාන ඉදිකරමින් සිටියදී එය නතර කර, අම්පාරේ මිරිදිය ධීවර කර්මාන්තය හා පශු සම්පත් සංවර්ධනයට යොදා ගැනීමට යොමු කිරීමට මට සිදු වූ සිද්ධියක අත්දැකීම මත ය. ඒ ව්‍යාපෘතියෙන් ආරම්භ කළ මිරිදිය ධීවර යටිතල පහසුකම් අදටත් ඒ කර්මාන්තයට මහා මෙහෙවරක් ඉටු කර දෙයි. පශු සම්පත් අංශයේ ද විශාල දියුණුවක් ඉන් ඇති විය. නිසි මඟ පෙන්වීම නොලැබුණහොත් ආධාරක ආයතන තමන්ට සුදුසු යැයි සිතන දේ කර නියමිත අරමුදල වැයකර නිම කරනු ලබයි.
මේ මහා ආපදාවෙන් විනාශයට පත්වූ යටිතල පහසුකම් වන විදුලිය, ජලය, සන්නිවේදන පහසුකම්, මහාමාර්ග, දුම්රිය මාර්ග, පළාත් මාර්ග, ග්‍රාමීය මාර්ග, වාරි ඇලවල්, වැව් අමුණු, ගොඩනැගිලි ආදී සියලු දේ කඩිනමින් පුනරුත්ථාපනය විය යුතු ය. නොඑසේ නම් මේ පසුබෑම අසාධ්‍යව උඩුබැලිව වැතිරී සිට යම්තම් පොලොවේ පය තබා නැගිටීමට උත්සාහ කරමින් තිබූ රටේ ආර්ථිකය බිමටම ඇද දමනු ඇත. මෙහිදී මේ යටිතල පහසුකම් කඩිනමින් පුනරුත්ථාපනය මෙන්ම ප්රතිස්ථානගත කිරීම් ද කිරීමට සිදුවේ. මෙය මනාව සැලසුම්කර කඩිනමින් ඉටු කළ යුතු කාර්යයකි. ඒත් එක්කම ජනතාවට ජීවනෝපාය සැලසූ වගාවන්, වෙළෙඳ හෙළඳාම්, කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්ත, කඩ සාප්පු, හෝටල්, නවතැන් හල් ආදී සියල්ල හැකි ඉක්මනින් යථාවත් කළ යුතුව ඇත. මේ සඳහා මූල්‍යමය මැදිහත් වීම පමණක් නොව රාජ්‍ය ප්‍රතිපත්ති මඟින් සහනයන් සැලසීම ද කළ යුතුව ඇත. එමෙන්ම අවතැන්වූ ජනතාව සඳහා ආරක්ෂිත නිවාස ඉදි කිරීමේ කඩිනම් වැඩසටහනක් ද මේ ක්‍රියාවලියට අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතු ය.
මෙහිදී ගම් පිටින් නාය ගොස් උන්හිටි තැන් අහිමි වූවන් පමණක් නොව නාය යාමේ අවදානමට මුහුණ දී සිටින පවුල් ද ඇතුළත් සම්පූර්ණ ජනාවාස ප්රතිස්ථානගත කිරීමක් මීට අයත් විය යුතු වේ.
මේ ගම් ප්රතිස්ථානගත කිරීමේදී තමන්ගේ හුරු පුරුදු ජීවනෝපායන් සඳහා ඇවැසි පහසුකම් කෙරෙහි ද අවධානය යොමුකර කළ යුතු කාර්යයකි. සාමාන්‍යයෙන් මධ්‍ය කඳුකරයේ නැවත පදිංචි කිරීම් සඳහා ඉඩම් සපයා ගැනීමේදී වතු සමාගම් සතු ඉඩම්වලින් ඉඩම් අත්පත්කර ගැනීමට සිදු වේ. එහිදී එම සමාගම් සමඟ යුද්ධ වැදීමට රාජ්‍ය නිලධාරීන්ට සිදුවනු නියත ය. නැවත පදිංචි කිරීම් සඳහා වතුවලින් ඉඩම් නිදහස් කිරීම එක හෙළා ප්‍රතික්ෂේප කරන මේ සමාගම්, ජනාධිපතිවරයා පෞද්ගලිකව ඉල්ලුවත් දෙන්නේ ඔවුන් විසින් අත් හැරදමා ඇති වගා කළ නොහැකි නිසරු ඉඩම් මිස, පදිංචියට සුදුසු ඉඩම් නොවේ. බොහෝ විට වතු පරිපාලකයන් කරන්නේ අධිකරණයේ නඩුවක් පවරා ඉඩම් අත්පත්කර ගැනීමට බාධා කිරීමයි. මහජනතාව සඳහා ආරක්ෂිත ප්‍රදේශවල නිවාස පහසුකම් සපයා දීම කඩිනමින් කළ යුතු කාර්යයක් බැවින්, මේ සඳහා දැඩි තීරණ ගැනීමට රජයට සිදුවනු ඇත. මේ අනුව මධ්‍යම, ඌව පළාත්වල නැවත පදිංචි කිරීමේදී ආරක්ෂිත ඉඩම් සපයා ගැනීම සෑහෙන සංකීර්ණ ක්‍රියාවලියක් වනු ඇත.
එමෙන්ම රටේ ආපදා කළමනාකරණ ක්‍රියාවලිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන අන්දම පිළිබඳව අත්දැකීම් පරිශීලනය කර, එය ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය පාලන ව්‍යුහය තුළ ඇති කළ යුතු ප්‍රතිසංස්කරණ හඳුනාගෙන ඒවා සම්පූර්ණ කිරීම මෙහිදී ඉටු විය යුතු ඉතා වැදගත් කාර්යයකි. 2004 සුනාමියෙන් පසු ආපදා කළමනාකරණය වෙනුවෙන්ම වූ නීතියක් සම්මත කර, ජාතික ව්‍යසන කළමනාකරණ සභාව නම් සභාව හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ස්ථාපිත කරනු ලැබ ඇත. එමෙන්ම ජාතික තාක්ෂණික උපදේශක කමිටුවක් ද එම පනත අනුව ස්ථාපිත කළ යුතු ය. ජාතික ව්‍යසන කළමනාකරණ සභාව බෙහෙවින් නිද්‍රෝපගත ය. එහි සභාපති ජනාධිපති ය. උප සභාපති අග්‍රාමාත්‍යය. ඇමතිවරු විස්සක් සාමාජිකයෝ ය. විපක්ෂ නායකවරයා ද එහි සාමාජිකයෙකි. තවත් විපක්ෂ මන්ත්‍රීවරු පහක් සාමාජික ලෙස පත්කරගත හැකි ය. එහි ක්‍රියාකාරී හස්තය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයයි. රජයේ සියලු ආයතනවල ආපදා කළමනාකරණ සැලසුම් සැකසීම ඒ නීතිය අනුව කළ යුතුය. ඒවා සම්බන්ධීකරණය කරමින් ජාතික ආපදා කළමනාකරණ සැලැස්ම, හා ජාතික හදිසි ආපදා මෙහෙයුම් සැලැස්ම සැකසීම, පූර්ව ආපදා සැලසුම් සැකසීම මේ ආයතනයට නීතියෙන් පැවරී ඇත. මේ ආයතනය එම කාර්යයන් කර ඇතිදැයි අධීක්ෂණය කළ යුත්තේ ජාතික ව්‍යසන කළමනාකරණ සභාවයි. ව්‍යසන කළමනාකරණ සභාව අකර්මණ්‍ය නම් එහි අධීක්ෂණය යටතේ ඇති ආයතනයට සිදුව ඇති දේ සිතා ගත හැකිය.
රටේ දිස්ත්‍රික්, ප්‍රාදේශීය, ග්‍රාම පරිපාලනය ආපදා කළමනාකරණයේ ප්‍රායෝගිකව යෙදෙන ව්‍යුහයයි. මෙම රාජ්‍ය ව්‍යුහය අයත් වූයේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයටයි. ස්වදේශ කටයුතු යන විෂය ලංකාවේ පළමුවෙනි අමාත්‍ය මණ්ඩලය වන 1931 ඇති කළ රාජ්‍ය මන්ත්‍රණ සභා අමාත්‍ය මණ්ඩලයේ ද තිබුණි. එදා සිට අඛණ්ඩව පැවතුණු ස්වදේශ කටයුතු විෂය අමාත්‍ය මණ්ඩලයෙන් ප්‍රථම වරට ඉවත් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසිනි. ඔහු දිස්ත්‍රික්, ප්‍රාදේශීය හා ග්‍රාම පාලනය ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගෙන ස්වදේශ කටයුතු අහෝසි කොට දැම්මේ ය. අන්තිමේදී ඔහුටත් පණ බේරා ගැනීමට ස්වදේශයෙන් පලා ගොස් සිංගප්පූරුවේ සිට ඉල්ලා අස්වීම එවන්නට සිදුවිය. වර්තමාන ජනාධිපතිවරයා බලයට පත්වී කැබිනට් මණ්ඩලය පත්කරද්දී ස්වදේශ කටයුතු ගැන නොදැන සිටි නිසාදෝ, දිස්ත්‍රික්, ප්‍රාදේශීය හා ග්‍රාම පාලනය රාජ්‍ය පරිපාලනය යටතට පත් කළේ ය.
හදිසි විදුලිය බිඳ වැටීම් දැනුම් දීමට ඇති කෙටි දුරකථන අංකය භාවිතා කිරීමට ගිය මගේ මිතුරෙකු මේ ආපදාව මධ්‍යයේ මට කීවේ, විදුලිය නැතිව අඳුරේම කෙටි අංකය දුරකතනයේ සටහන් කර ඇමතුමට සම්බන්ධ වූ පසු පිළිතුර ලැබුණේ, අංක දහයකින් යුත් විදුලි බිලේ අංකය සටහන් කරන්න කියා බව ය. පහසුව සඳහා කෙටි දුරකථන අංකයක් සපයන විදුලි බල මණ්ඩලයට, විදුලිය නැති බව කියන්න අංක දහයකින් යුත් විදුලි බිලේ අංකය අඳුරේ මතකයෙන් “කොටන්න” බැරි බව තේරී නැත. මේ සියල්ල කියන්නට වුණේ ජාතික ආපදා කළමනාකරණ රාජ්‍ය යාන්ත්‍රණය මළකඩ කා හිරවී ඇති බව පෙන්වා දෙන්නට ය.
රජය විසින් මහජනයාට සපයන සේවාවන් සියල්ල අතීතයේ මේ පාලන පද්ධතිය හරහා මහජනතාවට සම්බන්ධ විය. පසුව රජයේ දෙපාර්තමේන්තු ක්‍රමයෙන් තාක්ෂණය යොදා ගෙන කළ මධ්‍යගත කිරීම් නිසා ඇතැම් සේවා මේ පද්ධතියෙන් ඈත්වී කොළඹටම කොටු වුණත්, අදටත් 80%ක මහජන සේවා සම්පාදනය රජය සිදු කරන්නේ මේ දිස්ත්‍රික්, ප්‍රාදේශීය හා ග්‍රාම පාලන පද්ධතිය හරහා ය. එහෙත් මේ පාලන පද්ධතිය හා ආපදා කළමනාකරණ ජාතික මට්ටම අතර සම්බන්ධතාවය ශක්තිමත් නැත. උදාහරණ ලෙස බදුල්ලේ ඈත ගමක ආපදාවෙන් විපතට පත්වුණු අයෙකු 117 දුරකථන අංකයෙන් කොළඹ ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සම්බන්ධකරගෙන සිය ගැටලුව කියූ පසු, කොළඹින් බදුල්ල ආපදා කළමනාකරණ කාර්යාලය කතා කර එම පණිවුඩය දැනුම් දී, එතනින් අදාළ ප්‍රදේශයට පණිවුඩ යවන සන්නිවේදනයක් ආපදා කළමනාකරණයේ පවතී.
හදිසි විදුලිය බිඳ වැටීම් දැනුම් දීමට ඇති කෙටි දුරකථන අංකය භාවිතා කිරීමට ගිය මගේ මිතුරෙකු මේ ආපදාව මධ්‍යයේ මට කීවේ, විදුලිය නැතිව අඳුරේම කෙටි අංකය දුරකතනයේ සටහන් කර ඇමතුමට සම්බන්ධ වූ පසු පිළිතුර ලැබුණේ, අංක දහයකින් යුත් විදුලි බිලේ අංකය සටහන් කරන්න කියා බව ය. පහසුව සඳහා කෙටි දුරකථන අංකයක් සපයන විදුලි බල මණ්ඩලයට, විදුලිය නැති බව කියන්න අංක දහයකින් යුත් විදුලි බිලේ අංකය අඳුරේ මතකයෙන් “කොටන්න” බැරි බව තේරී නැත. මේ සියල්ල කියන්නට වුණේ ජාතික ආපදා කළමනාකරණ රාජ්‍ය යාන්ත්‍රණය මළකඩ කා හිරවී ඇති බව පෙන්වා දෙන්නට ය.
දැන් රට ඉදිරියේ ඇති මහ කාර්යභාරයේදී මේ රාජ්‍ය යාන්ත්‍රණය නිසි ලෙස ක්‍රියාත්මක තත්ත්වයට ගෙන ඒමට අදාළ ප්‍රතිසංස්කරණයන් කිරීම අනිවාර්ය වේ. රාජ්‍ය යාන්ත්‍රණය මේ තත්ත්වයට පත්ව තිබීම ගැන 2005න් පසුව අද දක්වා බලයට පත්වූ සියලු ආණ්ඩු වගකිව යුතු ය. ජාතික ව්‍යසන කළමනාකරණ සභාව සෑම මාස තුනකටම වරක්වත් රැස්විය යුතු වුණත්, දැනගන්නට ඇති පරිදි 2005දී පිහිටවූ අවස්ථාවේ සිට මේ දක්වාම පවත්වා ඇත්තේ රැස්වීම් 14කි. ගතවූ අවුරුදු විස්සට අවම වශයෙන් පැවැත්විය යුතු රැස්වීම් 80 කි. ඒ වෙනුවට පවත්වා ඇතැයි දැනගන්නට ඇත්තේ රැස්වීම් 14කි. 2005 සිට මේ දක්වා පත්වූ සියලු ආණ්ඩු ආපදා කළමනාකරණයට සලකා ඇති අන්දම ඉන් හිතා ගත හැකි ය. මේ ටික ලිව්වේ මේ විෂය අරබයා කාගේ කාගේත් කිල්ලෝටවල හුණු තියෙන බව පෙන්වා එකිනෙකාට චෝදනා කර ගැනීම නවත්වන්න ය.
දැන් ඉතින් කළ යුත්තේ මේ ආපදාවෙන් රට ගොඩ ගැනීම ය. එය ආණ්ඩුවට පමණක් කළ හැක්කක් නොවේ. ඒ සඳහා සමස්ත ජනතාවම එකා මෙන් කටයුතු කළ යුතු ය. අද වන විට ආධාර එකතු කිරීමේ තරඟය පටන් ගෙන ඇත. රජයේ නිලධාරීන්ට භාර දෙන ආධාර මහජනයාට බෙදා දෙන්න ආණ්ඩුවේ මහජන නියෝජිතයෝ දඟලති. දඟලා, රණ්ඩු වී ආධාර බෙදා දෙන්නේ තමන්ගේ මුදලින් දෙන බව අඟවමිනි. ඒ කාර්යයත් ඔය විදියටම කලින් ආණ්ඩුවලත් දේශපාලකයෝ කළහ. ඒ අනුව එදා මෙදා තුර කිසි වෙනසක් නැත. අනෙක මේ කා කොටා ගැනීම ඊළඟ ආපදාව එනකම් වුණත් පවත්වා ගන්නට අපේ අයට බැරි නැත. මේ කා කොටා ගැනීම ඉහළින්ම නතර කළොත්, කළ යුතු මහා කර්තව්‍යය සාර්ථකව නිම කර ගැනීමට හැකි වනු ඇත. ඒ නිසා ආපදාවෙන් ගොඩ ඒමේ මහා සැලැස්ම ක්‍රියාත්මක කිරීම මෙහෙයවීම සඳහා ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් ජාතික මෙහෙයුම් කමිටුවක් පත් කළ යුතු ය. එහි පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් සිටිය යුතු ය. මේ කාර්යය ජාතික කාර්යයක් වන්නේ එවිට ය. මේ කාර්යයේ නිරත අමාත්‍යවරු, ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන් මේ කමිටුවට කැඳවිය යුතු ය. හිටපු ජනාධිපතිවරු පස් දෙනා මේ ජාතික කමිටුවේ උපදේශක මණ්ඩලය ලෙස පත් කළ යුතු ය. ඔවුන්ගේ වටිනා අත්දැකීම්වලින් මේ ජාතික ආපදා කමිටුව පෝෂණය ලබා ගත යුතු ය. ආපදාවෙන් ගොඩ ඒමේ එක් එක් අංශවල ජාතික දිස්ත්‍රික් සැලසුම් මේ ජාතික මෙහෙයුම් කමිටුවේ සමාලෝචනයට භාජනය කර අනුමැතිය දීම, ක්‍රියාත්මක කිරීම මෙහෙයවීම, ප්‍රගති සමාලෝචනය, අධීක්ෂණය මේ කමිටුවේ කාර්ය විය යුතු ය. මේ මහා කර්තව්‍යයට අවශ්‍ය අරමුදල් දේශීය, විදේශීය ප්‍රභවයන්ගෙන් සම්පාදනය කර ගැනීම ද මේ කමිටුවේ අනු කමිටුවකට භාර කළ හැකි ය. ආපදා කළමනාකරණ විෂයට අදාළ අමාත්‍යාංශයක් පිහිටුවා සුදුසු මන්ත්‍රීවරයෙකු එහි ඇමති ධුරයට පත් කළ යුතු ය. ඔහු විපක්ෂයෙන් වුවත් කම් නැත. මේ ජාතික මෙහෙයුම් කමිටුව මාස දෙකකට වරක්වත් රැස්වීම අනිවාර්යය කළ යුතු ය. මහජනතාව වෙනුවෙන් කෑගසන, හඬා වැටෙන, කැපවෙන සියලු දේශපාලන පක්ෂවල සාමූහික උත්සාහයක් ලෙස මේ ජාතික කමිටුව කටයුතුවලට සම්බන්ධවී රට ගොඩනැගීමට ක්‍රියා කිරීමෙන් සිය කැපවීම හා ඕනෑකම රටට පෙන්විය යුතු ය.
මේ මහා කර්තව්‍යය කරන අතර, සිය පටු දේශපාලන අරමුණු උදෙසා යටි උගුල් ඇද අනික් පාර්ශ්ව අමාරුවේ දැමීමට කටයුතු නොකිරීමට ආණ්ඩුවත්, විපක්ෂයත් එකසේ ක්‍රියා කළ යුතු ය. අඩු තරමේ අවුරුදු දෙකක් සාමකාමීව මේ කාර්යය කරගන්නට හැකිවුණොත්, ආපදාවෙන් පතුලටම වැටුණු රට ගොඩට ඇදගත හැකිවනු ඇත. මේ සඳහා වන ප්‍රඥාව අදාළ සැමට පහළ වේවායි පතමි.
සුනිල් කන්නන්ගර, කොළඹ, රත්නපුර, අම්පාර හිටපු මහ දිසාපති