මේ වන විට මාස අටක් තිස්සේ පුරප්පාඩුව පවතින ශ්‍රී ලංකාවේ විගණකාධිපති ධූරය සුදුස්සකු පත් නොකිරීමට ප්‍රධාන හේතුව ආණ්ඩුවේ වංචා දූෂණ වසා ගැනීමට බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරයි.ඔහු සඳහන් කරනුයේ ජනාධිපති වරයා ඒ තනතුරට තමුන්ගේ හිතවතකු පත් කරගන්නට දරන ලද උත්සාහය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් වැලක්වීම නිසා ඇතැම් ඇමතිවරුන් දැන් ව්‍යවස්ථා සභාව සම්බන්ධව විවේචන ඉදිරිපත් කරන්නට පවා පටන් ගෙන ඇති බවකි. ආණ්ඩුව කැබ් රථ ආනයනය කිරීම සඳහා නීති විරෝධී ලෙස ටෙන්ඩර් කැඳවීම, වරායෙන් නීති විරෝධී ලෙස කන්ටේනර් 323 ක් පිටකිරීම, බාල බෙහෙත් ආනයයනය කිරිම වැනි දූෂිත ගනුදෙනු සිදු කිරීමට ඍජුව ක්‍රියා කරන විගණකාධිපතිවරයකු සිටීම ආණ්ඩුවට බාධාවක් වන බැවින් තමන්ගේ හිතවතෙකු එම තනතුරට පත්කර ගැනීමට ආණ්ඩුවේ බලවතුන් නිර්ලජ්ජීත උත්සාහයක් දරන බවට මන්ත්‍රීවරයා වැඩිදුරටත් චෝදනා කරයි.එමෙන්ම ආණ්ඩුව විගණකාධිපති තනතුර සමඟ කරන මෙම සෙල්ලම නතර නොකළහොත් ශ්‍රී ලංකාවට විදේශාධාර සපයන රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන වන ලෝක බැංකුව, මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ආදි ආයතනවලින් ණය සහ ආධාර සැපයිිමට ද එය හානිකර ලෙස බලපාන බව නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.ඕනෑම ජාත්‍යන්තර ආයතනයක් සිය ආධාර සපයන්නේ විධිමත් විගණනයකට යටත්ව බැවින් එවැනි විගණනයක් කිරීම සඳහා විගණකාධිපතිවරයෙකු නොමැති රටකට ආධාර සැපයීමට කිසිදු රටක් හෝ සංවිධානයක් ඉදිරිපත් නොවීම බලවත් අනතුරක් බව ආණ්ඩුව දැන්වත් තේරුම් ගත යුතු යැයිද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසයි.