ශ්‍රී දළදා මාලිගාවේ අලුත් සහල් මංග­ල්‍යය හෙට

.
ශ්‍රී දළදා වහන්සේ උදෙසා වාර්ෂි­කව සිදු කෙරෙන අලුත් සහල් මංග­ල්‍යය පෞරා­ණික චාරි­ත්‍රා­නු­කූ­ලව හෙට (03) ශ්‍රී දළදා මාලි­ගා­වේදී සිදු කිරීමට නියමිත ය.අතීත සම්ප්‍රදායන් අනුව ශ්‍රී දළදා වහන්සේට මෙරට රාජ්‍යත්වය ආරෝපණය කරමින් නව වසරේ අලුත් සහ­ලින් උතුම් දළදා සමි­ඳුන් පිදීම සෑම වස­ර­කම දුරුතු පුන් පොහෝ දින පැවැ­ත්වෙන්නේ දළදා තේවාව භාර නායක ස්වාමි­න්ද්‍ර­යන් වහ­න්සේගේ සහ දිය­ව­ඩන නිල­මේ­ව­ර­යාගේ ප්‍රධා­න­ත්ව­යෙනි.ශ්‍රී දළදා මාලි­ගා­වට අයත් කෙත් වතු­ව­ලින් නෙළා­ගන්නා වී අස්වැන්නේ අග්‍ර ඵලය පල්ලේ­කැලේ පිහිටි ශ්‍රී දළදා මාලි­ගා­වට අයත් වී අටුවේ තැන්පත් කර තැබී­මෙන් පසු අලුත් සහල් මංග­ල්‍යය සඳහා අවශ්‍ය සහල් දළදා මාලි­ගාව වෙත රැගෙන එනු ලබන්නේ අලි ඇතුන් සහිත පෙර­හ­ර­කිනි.පෞරා­ණික චාරි­ත්‍රා­නු­කූ­ලව ශ්‍රී දළදා මාලි­ගාව, සිවු මහා දේවාල හා පිටි­සර දේවා­ල­ව­ලට අයත් සහල් කොටස් වෙන් කිරීම පල්ලේ­කැලේ අටු­වේදී සිදු කරනු ලබන්නේ ඊට පෙර දින ය. මෙවර අලුත් සහල් මංග­ල්‍යය සඳහා අවශ්‍ය සහල් පෙර­හ­රින් රැගෙන ඒම පසු­ගිය 30 වැනිදා සිදු කෙරිණි.මෙම පූජා චාරිත්‍රය වාර්ෂිකව නිසි පරිදි ඉටු කිරීමෙන් රටටත් ජනතාවයටත් සතුට සෞභාග්‍යය උදා වන බවට ජන සම්මතයක් පවතී.

.

කාලීන පුවත්