ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ කළ වෙඩික්කරුට ජීවිතාන්තය තෙක් සිර දඬුවම්


2024 වසරේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීම සඳහා උත්සාහයන් දෙකක් දැරිණි. ඒ වනවිට ඔහු සිටියේ එම වසරේ නොවැම්බර් මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ ජනාධිපතිවරණය සඳහා ප්‍රචාරණ කටයුතුවල නිරත වෙමිනි. මේ අතරින් එක් සිද්ධියක් සිදුවූයේ 2024 ජුලි මාසයේ යි. අනෙක් සිද්ධිය වූයේ සැප්තැම්බර් මාසයේ ය.

සැප්තැම්බර් මාසයේ සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය දිනවල නැවතත් මාධ්‍ය තුළ අවධානයක් යොමු විය. ඒ, එවර ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ කළ පුද්ගලයාට දඬුවම් නියම කිරීම පසුගිය 04 වැනි දින සිදු වූ බැවිනි.

ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටියේ රයන් රූත් නැමැති 59 හැවිරිදි පුද්ගලයෙකි. ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට ෆ්ලොරීඩා ප්‍රාන්තයේ දිස්ත්‍රික් අධිකරණයක් පියවර ගත්තේය. මෙම සිර දඬුවම ලබා දී ඇත්තේ අතරමැද දී සමාවක් ලබා ගැනීමට නොහැකි වන ආකාරයෙන් බව ද සඳහන් වේ.

ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටියේ රයන් රූත් නැමැති 59 හැවිරිදි පුද්ගලයෙකි. ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමට ෆ්ලොරීඩා ප්‍රාන්තයේ දිස්ත්‍රික් අධිකරණයක් පියවර ගත්තේය. මෙම සිර දඬුවම ලබා දී ඇත්තේ අතරමැද දී සමාවක් ලබා ගැනීමට නොහැකි වන ආකාරයෙන් බව ද සඳහන් වේ.

2024 වසරේ රයන් රූත් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ කළත් ඔහු 2016 පැවති ජනාධිපතිවරණයේ දී ඡන්දය දී තිබුණේ ට්‍රම්ප්ට ය. එම ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප් හිලරි ක්ලින්ටන් පරාජයට පත් කරමින් පළමු වරට ජනාධිපති ධුරයට පත් විය.
ට්‍රම්ප් පිලිබඳ වූ විශ්වාසය පසුව බිඳ වැටුණු නිසා රූත් ඔහු ඝාතනය කිරීමට තීරණය කර තිබුණේ නැවත ජනාධිපති ධුරයට පත් වීම වැලැක්වීමට යි.

2024 සැප්තැම්බර් 15 වැනි දින ට්‍රම්ප් වෙඩි තබා ඝාතනය කිරීමට රූත් උත්සාහ කර තිබුණේ ෆ්ලොරීඩා හි පිහිටි ට්‍රම්ප් ගේ නිවහන ආසන්නයේ වූ ගොල්ෆ් පිටියක තවත් මිතුරෙකු සමග ගොල්ෆ් ක්‍රීඩා කරමින් සිටියදී ය. මෙම ගොල්ෆ් ක්‍රීඩා පිටිය ට්‍රම්ප්ටම අයත් එකකි.

එදා ඔහු ක්‍රීඩා කරමින් සිටියේ ස්ටීව් විට්කොෆ් සමග යි. මේ වනවිට විට්කොෆ් මැද පෙරදිග කලාපය පිලිබඳ ඇමරිකානු විශේෂ නියෝජිතයා ලෙස කටයුතු කරයි. පසුගිය කාලයේ ගාසා යුද්ධයට අදාළව සාම සැලැස්මක් ඇති කරගැනීම වැනි කටයුතුවලදී ද විට්කොෆ් විශාල කාර්යභාරයක් ඉටු කළේය.

සිද්ධිය සිදු වූ දින දහවල් කාලයේ ට්‍රම්ප් සහ විට්කොෆ් ක්‍රීඩා කරමින් සිටිය දී ට්‍රම්ප්ගේ ආරක්ෂක නිලධාරියෙක් අමුතු දෙයක් දුටුවේය. එනම් ට්‍රම්ප් සිටි ස්ථානයට නුදුරින් වූ පඳුරක් තුළින් එළියට ඇදී ඇති තුවක්කු බටයක කොටසකි. වහාම ක්‍රියාත්මක වූ රොබට් ෆර්කානෝ නැමැති ආරක්ෂක නිලධාරියා එම පඳුර දෙසට වෙඩි තැබුවේය. එම අවස්ථාවේ එහි සිටි රූත් සිය ගිනි අවියත් අතහැර දමා එතැනින් දිව ගොස් තිබිණි. පසුව ඔහු මෝටර් රියක නැගී පලා ගොස් තිබූ අතර ඔහු හඹා ගිය ආරක්ෂක නිලධාරීන්ට රූත් අල්ලා ගැනීමට හැකි විය.

මෙහි දී මෙම නිලධාරීන්ට බෙහෙවින් උදව් වී තිබුණේ රූත් පලා යනු දුටු, ඒ අසළ සිටි පුද්ගලයකු ලබා දුන් තොරතුරකි. ඔහු රූත් නැගී ගිය මෝටර් රියේ ඡායාරූපයක් සහ වීඩියෝවක් ආරක්ෂක නිලධාරීන්ට ලබා දී තිබිණි.

ට්‍රම්ප් ඝාතනය කිරීම සඳහා රූත් මාස ගණනක සිට සැලසුම් කර තිබූ බව විමර්ශණවල දී හෙළි විය. ඔහු එදින ගොල්ෆ් පිටියට පැමිණ තිබුණේ අලුයම 2 ට පමණ ය. ආරක්ෂක නිලධාරියාට ඔහු දැක ගන්නට ලැබී තිබුණේ ඊට පැය 12 කට පමණ පසු දහවල් 1.30 ට පමණ යි.

රූත් සැඟව සිටි ස්ථානය බොහෝ අවස්ථාවල පැපරාසි ඡායාරූප ශිල්පීන් ට්‍රම්ප්ගේ ඡායාරූප ගැනීම සඳහා සැඟවී සිටින ස්ථානයක් බව සඳහන් විය.

එම ස්ථානයේ තිබී රූත්ගේ ගිනි අවියට අමතරව තවත් දෑ කිහිපයක් නිලධාරීන්ට සොයා ගන්නට ලැබිණි. ට්‍රම්ප් යාමට සිටි ස්ථාන කිහිපයක් ගැන සඳහන් ලැයිස්තුවක් ද ඒ අතර තිබූ බැව් සඳහන් ය.

යම් හෙයකින් රොබට් ෆර්කානෝ නැමැති ආරක්ෂක නිලධාරියාට ගිනි අවියේ බටය දැකගන්නට නොලැබුණේ නම් ලොකු සිද්ධියක් වීමට ඉඩ තිබිණි. රූත් රැඳී සිටි ස්ථානය සහ ට්‍රම්ප් සිටි ස්ථානය අතර තිබී ඇත්තේ යාර 400 ක පමණ දුරකි.

රයන් රූත්ට දඬුවම් නියම කෙරුණේ පසුගිය 4 වැනි දින වුවත් ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට ඔහු වැරදිකරු බවට අධිකරණය තීන්දු කළේ පසුගිය වසරේ සැප්තැම්බර් 23 වැනි දින යි. ජනාධිපති අපේක්ෂකයකු ඝාතනය කිරීමට උත්සාහ කිරීම ඇතුළු චෝදනා පහකට ඔහු වරදකරු විය. ගිනි අවි සම්බන්ධ චෝදනා ද ඒ අතර වූයේය.

රූත් වැරදිකරු බවට අධිකරණය තීන්දුව දුන් අවස්ථාවේ අධිකරණය තුළදීම ඔහු තමාට හානි කරගන්නට උත්සාහ දරා තිබිණි. ඔහු පෑනක් උදුරාගෙන එයින් ගෙලට ඇන ගන්නට උත්සාහ කළ බැව් වාර්තා විය. නමුත් අධිකරණය තුළ සිටි ආරක්ෂක නිලධාරීන්ට එය වලක්වා ගැනීමට හැකි වී තිබිණි.

සිර දඬුවම් නියම කරමින් පසුගිය දා අධිකරණය දුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ගොනු කරන බව රූත් ගේ නීතිඥයා ප්‍රකාශ කර තිබේ.

රූත් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ දැරීමේ සිද්ධියට මාස කිහිපයකට කලින් ද එවැනි සිද්ධියක් සිදු වූයේය. 2024 ජුලි මාසයේ එය සිදු වූයේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ යි.

වෙඩි පහරින් ට්‍රම්ප් ගේ දිවි බේරුණේ අනූ නවයෙනි. නමුත් ඔහුගේ එක් කනකට තුවාල සිදු වූ අතර රැළියට සහභාගි වී සිටි පුද්ගලයෙක් මරණයට පත් වූයේය. එය ඉතා අවාසනාවන්ත සිදුවීමක් විය.එදින ට්‍රම්ප්ට වෙඩි තබා තිබුණේ තෝමස් මැතිව් කෲක්ස් නැමැති 20 හැවිරිදි තරුණයෙකි. වෙඩි තබා සුළු වේලාවකට පසු ඔහු ද ආරක්ෂක නිලධාරීන් ගේ වෙඩි පහරින් මරණයට පත් විය.

ජුලි 13 වැනි දින ට්‍රම්ප් එහි බට්ලර් නැමැති ප්‍රදේශයේ එලිමහන් ස්ථානයක ප්‍රචාරක රැළියක් අමතමින් සිටිය දී ඒ ආසන්නයේ වහළක් මත සැඟවී සිටි තුවක්කුකරුවෙක් ඔහු වෙත වෙඩි තැබුවේය.

වෙඩි පහරින් ට්‍රම්ප් ගේ දිවි බේරුණේ අනූ නවයෙනි. නමුත් ඔහුගේ එක් කනකට තුවාල සිදු වූ අතර රැළියට සහභාගි වී සිටි පුද්ගලයෙක් මරණයට පත් වූයේය. එය ඉතා අවාසනාවන්ත සිදුවීමක් විය.

එදින ට්‍රම්ප්ට වෙඩි තබා තිබුණේ තෝමස් මැතිව් කෲක්ස් නැමැති 20 හැවිරිදි තරුණයෙකි. වෙඩි තබා සුළු වේලාවකට පසු ඔහු ද ආරක්ෂක නිලධාරීන් ගේ වෙඩි පහරින් මරණයට පත් විය.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර