යුද හමුදාවේ විසි දෙනෙකුට දුම්රිය රියදුරු පුහුණුව ලබා දෙනවාට වෘත්තීය සමිති එරෙහි වෙනවා

යුද හමුදාවේ විසි දෙනෙකුට දුම්රිය රියදුරු පුහුණුව ලබා නොදීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇතැම් වෘත්තීය සමිති කටයුතු කිරීම ගැන තමන් කණගාටුවට පත්වන බව ප්‍රවාහන, මහාමාර්ග, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ(18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ ය.හදිසි තත්ත්වයක් ඇතිවුවොත් යුද හමුදාවේ පිරිස්වලට දුම්රිය රියදුරු පුහුණුව ලබාදීම කාලෝචිත බවත් එය වරදවා තේරුම් ගෙන මෙය වෘත්තිය සමිතිවල ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමට යැයි සිතා එයට විරෝධය පළ කිරීම අනුමත කිරීමට නොහැකි බවද අමාත්‍යවරයා සඳහන් කරයි.මෝටර් වාහන පනත යටතේ නියෝගයක් අද පාර්ලිමේන්තුවේ විවාදයට එක් කරමි​න් අමාත්‍යවරයා මේ බව පැවසීය.
“අපේ රටේ දිනකට දුම්රිය වාර 280ක් පමණ සිදුවෙනවා. හමුදාවේ විස්සක් පුහුණු කරන්නේ දුම්රිය රියදුරුකමට ගන්න නෙවි. මේක අසාධාරණ වර්ඡනයක් තමයි දියත් කරන්න හැදුවේ. ඒක ගැන අපි කණගාටු වෙනවා.පසුගිය කාලයේ සුළි කුණාටුවට දුම්රිය පාලම් කැඩුණා. මේ පාලම් සේරම හදන්නේ යුද හමුදාව මගින්. ඒ නිසා යුද හමුදාව ඉතා විශාල සහයෝගයක් ලබා දෙනවා. ඉතින් යුද හමුදාවේ සහාය එවැනි අවස්ථාවලදී ගන්නවා නම් හදිසි අවස්ථාවකදී යුද හමුදාවේ සහාය ලබාගන්න දුම්රිය රියදුරු පුහුණුව විසිදෙනෙකුට ලබාදීම අසාධාරණ නැහැ නේද? ඒක නිසා මේ තත්වයක් තේරුම් ගන්න ඕන. එතකොට සාමාන්‍ය පෙළ දරුවන් බිල්ලට යොදාගෙන තමයි ඊයේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය දියත් කරන්න සූදානම් වුණේ.”යනුවෙන් ද ඇමති වරයා කීය.හදිසි තත්වයන් යටතේ සේවයේ යෙදවීම පිණිස යුද හමුදා පිරිස් දුම්රිය රියැදුරන් වශයෙන් පුහුණු කරවීම සඳහා ඉකුත් රජයන් කටයුතු කිරීමේ දී ද දුම්රිය වෘත්තීය සමිති ඊට දැඩි විරුද්ධත්වයක් පළ කළ අතර එවක ජනතා විමුක්ති පෙරමුණ ද ඊට ක්‍රියාකාරී සහායක් පළ කළ බව ප්‍රකට කරුණකි.

කාලීන පුවත්