කණගාටුව පළ කළාම ඔක්කොම හරිද? නතාෂාගේ කතාවට පසුවදනක්. – වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ

ප්‍රහසන ශිල්පිනී නතාෂා එදිරිසූරිය, තමන් ICCPR පනත යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීම සම්බන්ධව පවරන ලද මූලික අයිතිවාසිකම් නඩුව, ඇයව අත්අඩංගුවට ගත් හිටපු CID පරිගණක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා විසින් කණගාටුව පළ කිරීම සහ පොලිස්පතිවරයා විසින් ICCPR පනත යටතේ අත්අඩංගුවට ගැනීම පිළිබඳ මාර්ගෝපදේශනයක් නිකුත් කිරීමට පොරොන්දු වීම යන කරුණු මත සමථයකට පත්ව තිබේ. නමුත් ඇත්ත වශයෙන්ම මේ විසඳුම ප්‍රමාණවත්ද? නඩුවට වියදම් කරන්නේ ඇය බැවින් සහ ඇගේ කැමැත්ත පරිදි සමථය සිදුවීම පිළිබඳ කිසිදු ගැටලුවක් නැත.

ICCPR පනත යටතේ පමණක් නොව පොදු දේපළ පනත, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි පනත් උපයෝගී කරගනිමින් හිතාමතාම, අසද්භාවයෙන් හෝ දේශපාලන හෝ පෞද්ගලික කෝන්තර මත පුද්ගලයන් නිකරුණේ අත්අඩංගුවට ගෙන, රඳවා ගැනීමේ නියෝග යටතේ රඳවා තබා ගැනීමට හෝ රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට පොලිසිය ක්‍රියා කරන ආකාරය නිරතුරුවම දක්නට ලැබේ. පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේදී පැමිණිල්ල එම පුද්ගලයා අධිකරණය තුළදීම දැඩි ලෙස අපහාසයට පත් කරන ආකාරයත්, මූලික අයිතිවාසිකමක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (4) වගන්තිය මගින් තහවුරු කර ඇති ‘නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය’ බිඳහෙළමින් ඔහු ඒකාන්ත වශයෙන්ම වරදකරු ලෙස දක්වමින්, එම පුද්ගලයාගේ කීර්තිය හා ආත්ම ගෞරවය නැත්තටම නැති කොට ඔහුගේ ප්‍රතිරූපය නැවත සකස් කළ නොහැකි ආකාරයට විනාශ කරනු ද දක්නට ලැබේ.

නමුත් එය එසේ අවසන් විය යුතුද යන්න ගැටලුවකි.

නතාෂා පිළිබඳ නඩුව විභාග කිරීමේදී ද එවන් තත්ත්වයක් දක්නට ලැබිණි. ඇයට සිදු කළ හානිය “කණගාටුව පළ කිරීමකින්” පමණක් යථා තත්ත්වයට පත් කළ හැකිද? නිරපරාදේ බන්ධනාගාරගත කිරීම නිසා ඇති වූ කායික සහ මානසික පීඩාව එයින් සමනය කළ හැකිද?

පොලිසිය නඩු පැවරීමේදී අදාළ සිද්ධිය සම්බන්ධව පූර්ණ විමර්ශනයක් පවත්වා, තිබෙන සාක්ෂි විශ්ලේෂණය කොට ඉතා ප්‍රවේශමෙන් නඩු පැවරිය යුතු වගන්ති පිළිබඳව ඒ ගැන නිපුණතාවයක් ඇති නිලධාරීන්ගෙන් උපදෙස් ලබාගෙන චෝදනා ඉදිරිපත් කළ යුතුය. එමෙන්ම විශේෂ අවස්ථාවලදී නීතිපතිවරයා විමසා චෝදනා ඉදිරිපත් කිරීම කළ යුතුය.

මෙහිදී සැලකිල්ලට ගත යුතු වන්නේ:

එම පුද්ගලයා සිදු කළ බව කියන ක්‍රියාව කුමක්ද?

එම ක්‍රියාවට ඉතාමත් හොඳින් ගැළපෙන නීතිය කුමක්ද?

එම නීතියට අදාළව වරද ඔප්පු කිරීමට ප්‍රමාණවත් ප්‍රබල සාක්ෂි තිබේද? යන්නයි.

නීතියට අනුව ඇප ලබාදීම සාමාන්‍ය තත්ත්වය වන අතර ඇප ලබා නොදීම ව්‍යතිරේකයකි. ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණයට යම් පුද්ගලයකු ඉදිරිපත් කිරීමේදී, ඇප ලබාදිය නොහැකි “ප්‍රබල වරදක්” සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්නේ නම් – විශේෂයෙන්ම ICCPR පනත සහ පොදු දේපළ පනත යටතේ ඉදිරිපත් කරන්නේ නම් – “අනාගතයේ සාක්ෂි සොයා ගැනීමේ අරමුණින්” එසේ ඉදිරිපත් කිරීම සුදුසු වන්නේ නැත.

එසේම නඩුව අවසන් වීමට ප්‍රථම ඊට සම්බන්ධ කවර හෝ පාර්ශ්වයක් චූදිතයා වැරදිකරු බවට ප්‍රකාශ කරමින් හෝ යම් සිදුවීමක් ප්‍රශ්නගතව තිබෙන අවස්ථාවක එය ඔප්පු කිරීමට ප්‍රථම එය ඔප්පු වී ඇති බවට හෝ ඒ බව හැඟී යන ආකාරයට අධිකරණය තුළ හෝ ඉන් පිටත ප්‍රකාශ නිකුත් කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති සහ ජාත්‍යන්තරව ICCPR සම්මුතිය සහ මානව හිමිකම් විශ්ව ප්‍රකාශය මගින් ද තහවුරු කොට ඇති “සාධාරණ නඩු විභාගයක්” සඳහා ඇති මානව හිමිකම මෙන්ම මූලික අයිතිවාසිකම ද පැහැදිලිවම උල්ලංඝනය කිරීමකි.

මේ ආකාරයට හැසිරෙන අයට එරෙහිව ක්‍රියා කළ යුත්තේ අධිකරණය මගින්මය. පුද්ගලයන්ට හිංසා කිරීමට, අපහාස කිරීමට සහ ආත්ම ගෞරවය නැසීමට ක්‍රියා කරන පුද්ගලයන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු ගොනු කොට, ඒවායේ තීරණ මත “නඩු තීන්දු නීතිය” (Case Law) ශ්‍රේෂ්ඨාධිකරණය මගින් සකසා, එමගින් අධිකරණ තුළ සිදු කරන පුද්ගලයන්ගේ ආත්ම ගෞරවය හානි කිරීම මෙන්ම කායික මානසික පීඩාවන් සහ නිරපරාදේ බන්ධනාගාරගත කිරීම වැනි ක්‍රියාවන් වැළැක්වීමට මෙය අවස්ථාවක් කරගත හැකිව තිබුණා නේද? එය එසේ වූවා නම් එම සිද්ධියෙන් නතාෂා විඳි පීඩාවට මීට වඩා සාධාරණයක් ඉටු වීමට ඉඩ තිබිණි.

අධිකරණය තුළ පොලිසිය සහ නීතිපතිවරයා සිදු කරන්නේ විධායක ක්‍රියාවක් බැවින් ඔවුන්ගේ ක්‍රියාවන් සහ හැසිරීම් මූලික අයිතිවාසිකම් යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී ප්‍රශ්න කළ හැකිය.

මේ ආකාරයට හැසිරෙන අයට එරෙහිව ක්‍රියා කළ යුත්තේ අධිකරණය මගින්මය. පුද්ගලයන්ට හිංසා කිරීමට, අපහාස කිරීමට සහ ආත්ම ගෞරවය නැසීමට ක්‍රියා කරන පුද්ගලයන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු ගොනු කොට, ඒවායේ තීරණ මත “නඩු තීන්දු නීතිය” (Case Law) ශ්‍රේෂ්ඨාධිකරණය මගින් සකසා, එමගින් අධිකරණ තුළ සිදු කරන පුද්ගලයන්ගේ ආත්ම ගෞරවය හානි කිරීම මෙන්ම කායික මානසික පීඩාවන් සහ නිරපරාදේ බන්ධනාගාරගත කිරීම වැනි ක්‍රියාවන් වැළැක්වීමට මෙය අවස්ථාවක් කරගත හැකිව තිබුණා නේද? එය එසේ වූවා නම් එම සිද්ධියෙන් නතාෂා විඳි පීඩාවට මීට වඩා සාධාරණයක් ඉටු වීමට ඉඩ තිබිණි.

වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ

එතෙර - මෙතෙර