
සොහොන් යකුන් යනු අප සමාජ සම්මතයේ එන යක්ෂ වර්ගයකි. ඔවුන්ගේ නායකයා අප රටේ චිරප්රසිද්ධ මහසෝනා ය. මහසෝනා සම්බන්ධයෙන් එන, දුටුගැමුණු රජුගේ ගෝඨයිම්බර යෝධයා හා සටන් වැද පරාජයට පත් රිටිගල ජයසේන පිළිබඳ පුරාවෘත්තය පසුකාලීනව එක්වූවක් බවත්, ‘මහසෝන්’ නාමයේ මූල රූපය ‘මහ සොහොනා’ බවත් ඒ පිළිබඳ වැඩිදුර කරුණු හැදෑරීමේදී පෙනී යයි. භාරතීය ජන සංස්කෘතික ධාරාවේ මොවුන් ‘සොහොන් යකුන්’ (ශ්මශාන යක්ෂ) යනුවෙන් හැඳින්වෙන අතර මහසොහොනා එම යක් පිරිවරේ නායකයා බව නිසැක ය. ඔහු අප රටේ ජන සම්මත යක්ෂ සේනාවේ අසමසම නායකයා බව ද නොරහසකි.
මෘතදේහයක් ආදාහනය කරද්දී රාත්‍රී කාලයේදී එහි පුළුටු සුවඳට සොහොන් යකුන් රැස්වන පුවත් අපි කුඩා කාලයේ කොතෙකුත් අසා ඇත්තෙමු. නමුත් එවැනි මෘතදේහයක් ආදාහනය වන අසලක වූ ගල්ලෙනකට පුළුටු කෑම සඳහා එක්රැස් වන, යකුන් නොවන පිරිසක් පිළිබඳ අපූරු තොරතුරක් මීට වසර කිහිපයකට පෙර මට අසන්නට ලැබිණි. සාමාන්‍ය ජන සම්මතය අනුව ගල්ගෙවල් යනු යකුන්ගේ වාසස්ථාන නිසා එම තොරතුර වඩාත් වැදගත් විය. එලෙස මෘතදේහ ආදාහනය වන ස්ථානය නම් ගල්ගමුව ප්‍රාදේශීය සභාව මගින් පාලනය වන මොන්නෑකුලම ආදාහනාගාරයයි. මේ කියන ගල්ලෙන පිහිටා ඇත්තේ ද පාදෙණිය – අනුරාධපුර මාර්ගයට නුදුරින් පිහිටි ඒ ආදාහනාගාර භූමියේම ය.
ඒ අනුව, මෘතදේහයක් ආදාහනය කරද්දී රාත්‍රී කාලයේදී එහි පුළුටු සුවඳට සොහොන් යකුන් රැස්වන පුවත් අපි කුඩා කාලයේ කොතෙකුත් අසා ඇත්තෙමු. නමුත් එවැනි මෘතදේහයක් ආදාහනය වන අසලක වූ ගල්ලෙනකට පුළුටු කෑම සඳහා එක්රැස් වන, යකුන් නොවන පිරිසක් පිළිබඳ අපූරු තොරතුරක් මීට වසර කිහිපයකට පෙර මට අසන්නට ලැබිණි. සාමාන්‍ය ජන සම්මතය අනුව ගල්ගෙවල් යනු යකුන්ගේ වාසස්ථාන නිසා එම තොරතුර වඩාත් වැදගත් විය. එලෙස මෘතදේහ ආදාහනය වන ස්ථානය නම් ගල්ගමුව ප්‍රාදේශීය සභාව මගින් පාලනය වන මොන්නෑකුලම ආදාහනාගාරයයි. මේ කියන ගල්ලෙන පිහිටා ඇත්තේ ද පාදෙණිය – අනුරාධපුර මාර්ගයට නුදුරින් පිහිටි ඒ ආදාහනාගාර භූමියේම ය.
මෘතදේහයක් දැවෙන විට ඉන් නැගෙන පුළුටු ගඳට වහ වැටෙන අමනුෂ්‍යයන් ඒ වටා රැස්වනුයේ ඔවුන් දැවෙන මෘත ශරීරයේ කොටස් අනුභව කිරීමට බව ජන සම්මතයට අනුව අතිශයින් පැහැදිලි ය. එහෙත්, මේ ආදාහනාගාරයේ මෘතදේහයක් දැවෙන වේලාව බලා හිඳ, පුළුටු වර්ග ද රැගෙන අසල වූ ගල්ලෙනට පිවිසෙන්නේ අමනුෂ්‍යයන් නොව මනුෂ්‍යයන් වීම විශේෂත්වයකි.

එබැවින් එම පුවතේ ඇත්ත නැත්ත දැනගැනීමට මෙන්ම එම ආදාහනාගාරයේ මෘතදේහයක් දැවෙන වේලාවක් බලා ඒ අසලම පිහිටි ගල්ලෙනට වැදී පුළුටු බුදින්නන් සමඟ කතාබහක යෙදීමටත් මහත් කැමැත්තක් මා තුළ ඇති විය. එනිසා ඒ දිනවල දෙතුන් වතාවක්ම ගල්ගමුවට ගිය අවස්ථා කිහිපයකදීම එවක එහි ප්‍රාදේශීය සභාවේ සභාපති එච්.කේ. විමලරත්න මහතාට දුරකතනයෙන් කතා කොට ඒ සඳහා අවස්ථාවක් ඉල්ලා සිටියෙමි. නමුත් ඒ සෑම දිනයකම ඔහු අවිවේකීව සිටි බැවින් මට ඒ අවස්ථාව උදා කර ගත නොහැකි විය. නමුත් එක් ඉරු දිනක ගල්ගමුවට ගොස් සුපුරුදු විමසීම කළ මට, සිත සනසන අන්දමේ පිළිතුරක් දීමට ඔහුට හැකි විය.
“අද නම් හවස ආදාහනාගාරයට මිනියකුත් ගේනවා. හැබැයි ඉතින් ඔය පුළුටු කන කට්ටිය එයිද දන්නේ නෑ. කෝකටත් අපි ගිහින් බලමු,” හෙතෙම කීවේ සැහැල්ලුවෙනි.
“මම ඉපදිලා හැදී වැඩුණු වගේම ජීවත්වන සියනෑ කෝරළේ ඉස්සර මිනිස්සු බැරිවෙලාවත් රෑට පුළුටු කෑම හැදුවේ නෑ. දවල්ට වුණත් පුළුටු ආහාරයක් ගත්තොත් තනියම පාරක තොටක බැස්සේ නෑ. මොකද පුළුටු කියන්නේ යක්ෂයන්ගේ ආහාරයක් හැටියට ප්‍රසිද්ධ හින්දා. ඒ වගේ තත්ත්වයක් යටතේ මිනියක් ආදාහනය වෙන තැනක ඉඳගෙන පුළුටු කනවා කියන්නේ ඉතින් කෙළින්ම යකෙකුගෙන් මැරුම් කන්න බලාගෙන කරන වැඩක් වෙන්න ඕනෑ. අවේලාවේ පුළුටු කාපු මිනිස්සු යකා ගහලා එකපාරම මැරිලා වැටුණු කතා වගේම යක්කු ඔළුවට ඇවිත් පිස්සුවෙන් වගේ ඒ මේ අත දුවපු කතාත් මම ඕනෑ තරම් අහලා තියෙනවා. ඒ හින්දම තමයි මේ ගැන විශේෂයෙන් හොයන්න හිතුවේ,” මම කීවෙමි.
එදින පස්වරුවේ මා ඔහු ද සමඟින් ගල්ගමුව ආදාහනාගාරය වෙත යන විටත් එම මෘතදේහය රැගත් අවමඟුල් පෙරහැර ළඟා වෙමින් තිබූ අතර, ආදාහනාගාර සේවක මහතුන් දෙදෙනා ඒ වන විටත් එය පිළිගෙන තම රාජකාරිය ඉටු කිරීමට සැදී පැහැදී සිටින බවක් පෙනෙන්නට තිබුණි.
“කවුරු හරි අර පැත්තට ගියාද?” විමලරත්න සභාපතිතුමා එක් සේවක මහතෙකුගෙන් එක් දිශාවක් පෙන්වා ඇසීය. “කොල්ලෝ දෙතුන් දෙනෙක් යනවා දැක්කා,” සේවක මහතාගේ පිළිතුර එය විය. “එහෙමනම් මහත්තයම ගිහින් බලන්න. මම යන එක හරි නැහැ. එතකොට උන් කලබල වේවි,” සභාපතිවරයා කීවේ සැහැල්ලුවෙනි.
ඒ අනුව මම එම ආදාහනාගාරය අද්දරම වන ලැහැබක් තුළින් වැටී තිබුණු පියගැටපෙළ ඔස්සේ මදක් ඉහළට ගිය පසු, තරමක් අඳුරු එම ගල්ලෙන මැද්දේ තනා තිබූ ගල් මේසයක් වටා වාඩි වී සිටි තරුණයන් තිදෙනෙකු දක්නට ලැබිණි. මගේ පැමිණීම කෙරෙහි ඔවුන් දැඩි සේ විමසිලිමත් වනු දුටු මම ද, “නෑ… නෑ මම මේ නිකම් ගොඩවැදුණේ. මෙතන ආදාහනේට ආපු ගමන්,” යැයි සුහදශීලී ලෙසින් කීවෙමි.

මෘතදේහයක් ආදාහනය වන අවස්ථාවන්හි මෙම ගල්ලෙන තුළ බැදුම්, පිළිස්සුම් ආදී පුළුටු ආහාරයට ගැනීමට පිරිස් රැස්වන කතාව සම්පූර්ණයෙන් සත්‍යයකි. ඒ ගල් මේසය මත බදින ලද මස්, මාළු මෙන්ම බිත්තර බැදුම් ආදී වශයෙන් වන එකී පුළුටු වර්ග සහිත ලන්ච් ෂීට් කිහිපයක් දිග හැර තිබූ අතර, එම මේසය මත මත්පැන් බෝතලයක් හා එය මුසු කෙරෙන තවත් පාන වර්ග දෙකක් ද විය.
“ඉස්සර නම් අපි බයයි මේ වගේ තැන්වල මෙහෙම දේවල් කන්න, මේවට යක්කු ඇදෙයි කියලා බයට,” මම ඔවුන් කෙරෙහි වැඩි අවධානයකින් තොරව ගල්ලෙනේ වටපිට සිරි නරඹමින් කීවෙමි.
“අපිට වැඩිය යක්කු කොහෙද මහත්තයා මෙහේ…” ඒ අතරේ එම තිදෙනාගෙන් එක් අයෙකු පවසනු ඇසිණි. “හැබැයි ඉතින් මෙතන වෙන තැන්වලට වඩා විවේකයිනේ,” මම ඔවුන් පිළිබඳ තැකීමක් නොමැති බවක් අඟවමින් ඇසීමි. “විවේකෙටත් වැඩිය දැන් ඉස්සර වගේ එළිමහන් තැන්වල මෙහෙම සෙට් වෙන්න බෑනේ. එක එක හාල්පාරුවෝ ප්ලග් වෙන්න එනවනේ. එහෙම වුණොත් අපි ගන්න තුට්ටු දෙක මේකටවත් මදි,” ඒ තරුණයන් අතුරින් තව අයෙක් කීය. “මටත් ඔය අත්දැකීම තියෙනවා. එක අතකට උන්ට වඩා යක්කුත් හොඳයි කියලා හිතෙනවා ඒ වෙලාවට,” මම සිනාසෙමින් කීවෙමි. “යක්කු හොඳයි තමයි දැන් ඉන්න ….ක්කුන්ට වඩා,” එහි සිටි තවත් අයෙකු එසේ කීවේ එහි “ය” යන්න වෙනුවට වෙන අකුරක් ආදේශ කරමිනි. ඒ සමඟම මට වටහා ගත හැකි වූයේ ඔවුන්ගෙන් දෙදෙනකු හෝ තිදෙනකු කළ වාසිදායක බ්‍රෝකර් වැඩකින් පසු මෙලෙස සව්දිය පිරීම පිණිස මෙම ‘යක් රජදහන’ තෝරාගෙන ඇති බවයි.
“ඔතන ස්වභාවික ගල් ආරුක්කුවක් තිබුණු හින්දා අපි කල්පනා කළා මේ ආදාහනාගාරයට එන අයට විවේක ස්ථානයක් හදන්න. අනික ඔය ගල් ගුහාව කාටවත් පේන්නෙ නැති හින්දා අවසන් ගෞරව දක්වන්න බාධාවකුත් නෙවෙයි. කොහොමත් මෙතන ආදාහන කටයුතු වලට එන අයගෙන් කොටසක් ඒ වැඩේ ඉවර වෙලා තැන් තැන්වලට ගිහින් සෙට් වෙනවනේ. ඉතින් අපි කල්පනා කළා ඒ අයට මෙතැනදී දුක තුනී කර ගන්න අවස්ථාවක් දෙන්න,” ඒ වන විට දැවෙමින් තිබූ මෘතදේහයෙන් නික්මෙන කළු දුම ආදාහනාගාරයේ මුදුනත නලයෙන් වේගවත්ව පිටවන අතරේ විමලරත්න සභාපතිවරයා පැවසීය.

“හැබැයි ඉතින් අපි කියලා තියෙන්නේ ඔතන ආවාට කමක් නෑ, වීදුරු බිඳලා දාන්න එපා, ලන්ච් ෂීට්, පොලිතින්, ප්ලාස්ටික් දාලා යන්න එපා කියලා විතරයි. ඒ වගේම අපරාදේ කියන්න, ඕකට පුළුටු කන්න එන කිසිම කෙනෙක් එහෙම කරන්නේ නැහැ. ඒ මිනිස්සුන්ව අතහැරලා ඇවිත් යක්කුන්ව ආශ්‍රය කරන අයගේ හොඳකම හින්දා ද මන්දා,” අවසානයේ ඔහු කීවේ සිනාසෙමිනි.
“හැබැයි ඉතින් අපි කියලා තියෙන්නේ ඔතන ආවාට කමක් නෑ, වීදුරු බිඳලා දාන්න එපා, ලන්ච් ෂීට්, පොලිතින්, ප්ලාස්ටික් දාලා යන්න එපා කියලා විතරයි. ඒ වගේම අපරාදේ කියන්න, ඕකට පුළුටු කන්න එන කිසිම කෙනෙක් එහෙම කරන්නේ නැහැ. ඒ මිනිස්සුන්ව අතහැරලා ඇවිත් යක්කුන්ව ආශ්‍රය කරන අයගේ හොඳකම හින්දා ද මන්දා,” අවසානයේ ඔහු කීවේ සිනාසෙමිනි.
තිලක් සේනාසිංහ