මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ නිර්මාණය වූ බලශක්ති අර්බුදයට විකල්පයක් ලෙස රුසියාවෙන් තෙල් මිලදී ගැනීම පිළිබඳ රජයේ අවධානය යොමු වී ඇති බැවින් ඛනිජතෙල් සැපයුම් පිළිබද රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සඳහා රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් මහතා ඇතුළු දුත පිරිසක් අද (26) පෙරවරුවේ මෙරටට පැමිණ තිබේ.මෙරට රජයේ ආරාධනයකට අනුව දෙදින නිල සංචාරයක් සඳහා පැමිණි එම පිරිස ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා විසින් පිළිගෙන ඇති අතර දූත පිරිස සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අතර සාකච්ඡාවක් ද අද පැවැත්වීමට නියමිතව ඇත.මෙම සංචාරය අතුරතුරදී රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට ද නියමිත අතර එහිදී මෙරට බලශක්ති අර්බුදයෙන් මිදීම සඳහා වන එකඟතාවන් ඇති කරගැනීම සඳහා සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බවද වාර්තා වේ.