අමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට වොෂින්ටනය දක්වා ප්‍රාන්ත 10ක් පසු කරමින් දින 110ක් පුරා පැවැති සාම පාගමනට සමගාමීව, ‘Walk for Peace Program in Sri Lanka’ නමින් විශේෂ සාම පාගමනක් මෙරටදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා ඇති අතර, අමෙරිකානු සාම පාගමන සඳහා නායකත්වය දුන් පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්රමුඛ භික්ෂූන් වහන්සේලා දොළොස් නමක් මෙම මස 21 වන දින මෙරටට වැඩම කිරීමට නියමිතය.
මෙම සාම පාගමන අප්‍රේල් 22 වන දා සිට 28 වන දා දක්වා දින හතක් පුරා ක්‍රියාත්මක වන අතර, එහි කටයුතු ආරම්භ කෙරෙන්නේ අප්‍රේල් 21 වන දින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසදී ආශිර්වාද ලබා ගැනීමෙනි. අටමස්ථානාධිපති හිමියන් ප්රමුඛ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ලබා ගන්නා ශ්‍රී මහා බෝධි අංකුරයක් ද මෙම පාගමන සමඟ වැඩම කරවීම විශේෂත්වයකි. අප්‍රේල් 22 වන දා උදෑසන දඹුල්ල පූජා නගරයෙන් ආරම්භ වන පාගමන නාඋල, මාතලේ, මහනුවර, කඩුගන්නාව, කෑගල්ල, තෝලංගමුව, කජුගම, යක්කල, මහර සහ කැලණිය යන නගර පසු කරමින් අප්‍රේල් 28 වන දින කොළඹ නිදහස් චතුරස්රයට ළඟා වීමට නියමිතය.
වැඩසටහනේ සමාප්තිය සනිටුහන් කරමින්, වැඩම කරවන ලද ශ්‍රී මහා බෝධි අංකුරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිල වශයෙන් අමෙරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නය වෙත පිරිනැමීමට නියමිතව ඇත. ආචාර්ය පූජ්‍ය මේල්පිටියේ විමලකිත්ති හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ සහභාගිත්වයෙන් පැවැති මෙම සාකච්ඡාව පිළිබඳව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් කරුණු වාර්තා කර තිබේ.