වසර 54 කට පසු පළමු වතාවට මිනිසුන් රැගත් යානයක් සඳ ආසන්නයට ගෙන ගිය ආටෙමිස් 2 මෙහෙයුම ශ්‍රී ලංකා වේලාවෙන් 11 වැනි සෙනසුරාදා උදෑසන 5.37 ට පමණ ඉතා සාර්ථක අයුරින් නිමාවට පත් විය. ඒ, මෙම සඳ ගමනට එක් වූ රීඩ් වයිස්මාන්, ක්‍රිස්ටිනා කුක්, වික්ටර් ග්ලෝවර් සහ ජෙරමි හැන්සන් යන අජටාකාශගාමීන් සිව් දෙනා රැගත් ඔරායන් යානය ඇමරිකාවේ කැලිෆෝනියා වෙරළාසන්නයේ පැසිෆික් සාගරයට පතිත වීමත් සමග ය.
අභ්‍යවකාශයේ සිට ඇදී ආ යානය ශ්‍රී ලංකා වේලාවෙන් එදින උදෑසන 5.23 ට පමණ පෘථිවි වායුගෝලයට ඇතුල් වූයේ පැයට කි.මී. 38,000 ක පමණ අධික වේගයකිනි. නමුත් එයින් සුළු වේලාවක් ගතවෙද්දී එහි වේගය පැ.කි.මී 20 ක් පමණ දක්වා ක්ෂණිකව අඩු කෙරිණි. ඒ යෝධ පැරෂුට තුනක ද ආධාරයෙනි.
යානය සාගරයට පතිත වීමෙන් පසු පැරෂුට එයින් විසන්ධි කරනු ලැබිණි.
යානයේ සිටි අජටාකාශගාමීන් ඉවතට ගැනීමේ කටයුතු සඳහා ඒ ආසන්නයේ ඇමරිකානු නාවුක හමුදාවට අයත් ජෝන් පී. මූර්තා නැමැති නෞකාව යොදවා තිබිණි. එහි රැඳී සිටි කිමිදුම්කරුවන් හෙලිකොප්ටරවල ද ආධාරයෙන් අජටාකාශගාමීන් යානයෙන් ඉවතට ගෙන නෞකාව වෙත ගෙන එනු ලැබිණි.

නෞකාව තුළ දී ඔවුන් මූලික වෛද්‍ය පරීක්ෂණයකට බඳුන් කරන ලදී. ඔවුන් සිව් දෙනා ගොඩබිම වෙත ගෙන එන ලද්දේ එයින් පසුව යි. අනතුරුව අජටාකාශගාමීන් ගියේ නාසා ආයතනයට අයත් ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යි. එය පිහිටා තිබෙන්නේ ටෙක්සාස් ප්‍රාන්තයේ හූස්ටන් ප්‍රදේශයේ යි.
මෙහි දී ඔවුන් වෙනුවෙන් නිල පිලිගැනීමේ උත්සවයක් පවත්වන ලදී. එමෙන්ම ඔවුන්ට තම පවුල්වල සමීපතමයන් හමුවීම සඳහා ද මෙහි දී අවස්ථාව ලැබිණි.
අජටාකාශගාමීන් අභ්‍යවකාශයේ කාලය ගත කරන්නේ අඩු ගුරුත්වාකර්ෂණයක් යටතේ යි. පෘථිවියට පැමිණි පසු ඔවුන් නැවත මෙහි ගුරුත්වාකර්ෂණයට හැඩගැසිය යුතුය. මෙම හැඩගැසීම හොඳින් සිදුවෙනවා ද යන්න සොයා බැලීම සඳහා වන පරීෂාවන් ආදියට ද මෙම ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දී අජටාකාශගාමීන් මුහුණ දෙනු ඇත.
එමෙන්ම ආටෙමිස් 2 චාරිකාවේ දී ලබාගත් නිරීක්ෂණ ආදිය දීර්ඝ වශයෙන් නාසා විශේෂඥයන් සමග බෙදා ගැනීම ද මෙහි දී සිදුවන බව සඳහන් වේ.
මෙම සටහන ලියන අවස්ථාව වනවිට වාර්තා වූයේ රීඩ්, ක්‍රිස්ටිනා, වික්ටර්, ජෙරමි යන සිව් දෙනාම මනා සෞඛ්‍ය තත්වයෙන් සහ ඉතා සතුටින් පසුවන බව යි. යානය සාගරයට පතිත වීමෙන් පසු මුලුන්ම කතා කළ කණ්ඩායම් නායක රීඩ් වයිස්මාන් ද මේ බව සනාථ කර තිබිණි. “මොන තරම් නම් අපූරු ගමනක් ද?” ඔහු මහත් උද්දාමයෙන් යුතුව එසේ පවසා තිබෙනු ද දැකිය හැකි විය.
මෙම සටහන ලියන අවස්ථාව වනවිට වාර්තා වූයේ රීඩ්, ක්‍රිස්ටිනා, වික්ටර්, ජෙරමි යන සිව් දෙනාම මනා සෞඛ්‍ය තත්වයෙන් සහ ඉතා සතුටින් පසුවන බව යි. යානය සාගරයට පතිත වීමෙන් පසු මුලුන්ම කතා කළ කණ්ඩායම් නායක රීඩ් වයිස්මාන් ද මේ බව සනාථ කර තිබිණි. “මොන තරම් නම් අපූරු ගමනක් ද?” ඔහු මහත් උද්දාමයෙන් යුතුව එසේ පවසා තිබෙනු ද දැකිය හැකි විය.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආටෙමිස් 2 අජටාකාශගාමීන් උණුසුම් ලෙස පිලිගනිමින් පෝස්ටුවක් පළ කර තිබිණි. ඔවුන් සඳ ආසන්නයෙන් ගමන් කරමින් සිටියදී එක් අවස්ථාවක ජනාධිපතිවරයා ඔවුන් සමග දුරකතන සංවාදයක නිරත වූයේය. පෘථිවියට සේන්දු වූ පසු ධවල මන්දිරයට පැමිණෙන මෙන් ද ඔහු අජටාකාශගාමීන්ට ඇරයුම් කළේය. තමා සාමාන්‍යයෙන් සමරු අත්සන් ඉල්ලන්නේ කලාතුරකින් බවත්, නමුත් ආටෙමිස් 2 කණ්ඩායමේ සමරු අත්සන් තමාට අවශ්‍ය බවත් ට්‍රම්ප් තවදුරටත් ඔවුන් සමග කියා තිබිණි.
ආටෙමිස් 2 මෙහෙයුමෙන් පසු ඊළඟට දියත් වීමට නියමිත ආටෙමිස් මෙහෙයුම් සහ ඒවායේ අරමුණු මොනවාද? මේ පිලිබඳව ද මේ අවස්ථාවේ අවධානය යොමු කිරීම වැදගත් වේ.
නාසා ආයතනයේ ආටෙමිස් වැඩසටහනේ මීළඟ මෙහෙයුම වන ආටෙමිස් 3 මුලින් සැලසුම් කර තිබුණේ අජටාකාශගාමීන් දෙදෙනෙකු සඳ මත ගොඩ බසින තවත් ඓතිහාසික මෙහෙයුමක් ලෙසිනි. වසර 54 කට පසු පළමු වරට මිනිසුන් සඳ මත පා තැබීමට නියමිතව තිබුණේ එම මෙහෙයුමේදී යි. නමුත් මෙයට ටික දිනකට පෙර මෙම සැලසුමෙ හි යම් වෙනසක් කිරීමට නාසා ආයතනය පියවර ගත්තේය.
මෙම වෙනස පිලිබඳ ඔවුන් ප්‍රකාශයට පත් කර තිබුණේ පසුගිය පෙබරවාරි මාසයේ යි.
අලුත් සැලසුමට අනුව අජටාකාශගාමීන් සඳ මත ගොඩ බසිනු ඇත්තේ ආටෙමිස් 3 මෙහෙයුමේ දී නොව ආටෙමිස් 4 මෙහෙයුමේදී යි. එය දියත් කෙරෙනු ඇත්තේ 2028 වසරේ ය.

ආටෙමිස් 3 මෙහෙයුම දැන් පෘථිවිය වටා පමණක් ගමන් කරන මෙහෙයුමක් වනු ඇත. කෙසේ නමුත් මෙයට ද අජටාකාශගාමින් සිව් දෙනෙකු සහභාගි වීමට නියමිත බව සඳහන් වේ. මෙම ආටෙමිස් 3 මෙහෙයුමේදී ආටෙමිස් 4 මෙහෙයුම සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය ඉතා වැදගත් අත් හදාබැලීම් කිහිපයක්ම සිදු කිරීමට නියමිතය.
ආටෙමිස් 4 මෙහෙයුමේදීත් (අටෙමිස් 2 මෙහෙයුමේ දී මෙන්ම) අජටාකාශගාමීන් සඳ ආසන්නයට ගමන් කරන්නේ ඔරායන් නැමැති මාදිලියට අයත් යානයකිනි. නමුත් අජටාකාශගාමීන් සඳ මත ගොඩබසින්නේ වෙනත් විශේෂ යානයක් භාවිත කරමිනි. මෙම යානා දෙක පෘථිවියෙන් පිටත් වන්නේ වෙන වෙනම ය. සඳ ආසන්නයේ දී යානා දෙක එකිනෙක සම්බන්ධ වීමක් සිදු වෙයි. සඳ මත ගොඩ බසින අජටාකාශගාමීහු එයින් පසු දෙවැනි විශේෂ යානය වෙත මාරුවෙති. මෙම ක්‍රියාවලිය ඉතා අසීරු, අභියෝගාත්මක ක්‍රියාවලියක් ලෙස සැලකේ.
ආටෙමිස් 3 මෙහෙයුමේ දී සිදුවන ප්‍රධානම කටයුත්තක් වනුයේ මෙම ක්‍රියාවලිය, එනම් යානා දෙක එකිනෙක සම්බන්ධ වීමේ සහ අජටාකාශගාමීන් මාරුවීමේ ක්‍රියාවලිය අත් හදාබැලීම යි. නමුත් එය සිදුවන්නේ ආටෙමිස් 4 මෙහෙයුමේ දී සිදුවීමට නියමිත ආකාරයෙන් සඳ ආසන්නයේ දී නොව පෘථිවිය ආසන්න අභ්‍යවකාශයේදී ය. මෙවැනි අභියෝගාත්මක කටයුත්තක් පෘථිවිය ආසන්නයේ දී අත් හදාබැලීම වඩාත් ආරක්ෂාකාරී ය.
ආටෙමිස් 3 මෙහෙයුමේ දී සිදුවන ප්‍රධානම කටයුත්තක් වනුයේ මෙම ක්‍රියාවලිය, එනම් යානා දෙක එකිනෙක සම්බන්ධ වීමේ සහ අජටාකාශගාමීන් මාරුවීමේ ක්‍රියාවලිය අත් හදාබැලීම යි. නමුත් එය සිදුවන්නේ ආටෙමිස් 4 මෙහෙයුමේ දී සිදුවීමට නියමිත ආකාරයෙන් සඳ ආසන්නයේ දී නොව පෘථිවිය ආසන්න අභ්‍යවකාශයේදී ය. මෙවැනි අභියෝගාත්මක කටයුත්තක් පෘථිවිය ආසන්නයේ දී අත් හදාබැලීම වඩාත් ආරක්ෂාකාරී ය.

ආටෙමිස් 3 මෙහෙයුම 2027 වසරේ මැද භාගයේත්, ආටෙමිස් 4 මෙහෙයුම 2028 වසරේත් දියත් කිරීමට නියමිතව තිබේ.
ඉතිහාසයේ පළමු වතාවට කාන්තාවක සඳ මත පා තැබීම ද, සුදු ජාතික නොවන අජටාකාශගාමියකු සඳ මත පා තැබීම ද මෙම මෙහෙයුමේ දී සිදුවීමට නියමිත ය.
නිහාල් පීරිස්