මහා භාණ්ඩාගාරයට අයත් ඩොලර් මිලියන 2.5ක මුදලක් අවභාවිත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටියදී අභිරහස් ලෙස මියගිය මුදල් අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්ත මහතාගේ මරණය සැක සහිත බවට ඔහුගේ බිරිඳ විසින් පොලිසියට පැමිණිලි කර ඇති බව හිටපු අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමු කරන ලද ලිපිය මගින් ද මෙම මරණය සම්බන්ධයෙන් බිරිඳ සැක පළ කර ඇති බව තහවුරු වන බව ඒ මහතා අනාවරණය කළේය. සහකාර අධ්‍යක්ෂවරයාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය:
“මහා භාණ්ඩාගාරයේ සිදුවූ මෙම මූල්‍ය වංචාව පිළිබඳව මුලින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේ රංග නිශාන්ත මහතායි. එවැනි පසුබිමක ඔහු අභිරහස් ලෙස මියයාම පරීක්ෂණ ඉදිරියට ගෙනයෑමට බරපතළ බාධාවක්. මෙම මරණය සම්බන්ධ කරුණු දෙස බැලීමේදී ඕනෑම අයෙකුට සාධාරණ සැකයක් මතු වෙනවා.”
විධිමත් සාක්ෂි විභාගයක් හෝ පරීක්ෂණ ප්‍රතිඵල ලැබීමට පෙර මෙම මරණය පිළිබඳ පරීක්ෂණ මණ්ඩලය නිගමනවලට පැමිණියේ කෙසේදැයි ගම්මන්පිල මහතා මෙහිදී ප්‍රශ්න කළේය. පරිපූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට ප්‍රථමයෙන්ම, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙය සියදිවි හානිකර ගැනීමක් ලෙස ප්‍රකාශ කිරීම දැඩි ගැටලු සහගත බවත්, ඒ හරහා මරණයේ සැකය රජය දෙසට යොමු වන බවත් ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.