ඉබෝලා වයිරසය ලංකාවටත් එයි ද?

ඉබෝලා වයිරසය ලංකාවටත් එයි ද?
තවත් වසංගත බියක් නිසා මේ වනවිට ලෝකයේ යම් තිගැස්මක් ඇති වෙමින් තිබෙන ආකාරයක් දැකිය හැකි වේ. මේ තත්වය ඇතිව තිබෙන්නේ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ සහ උගැන්ඩාවේ භයානක ඉබෝලා වයිරස ප්‍රභේදයක් පැතිරෙන්නට පටන් ගැනීමත් සමග ය. මේ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය ජාත්‍යන්තර මට්ටමේ මහජන සෞඛ්‍ය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරන ලද අතර ඒ නිසා මේ පිලිබඳ නොසන්සුන්තාව තවත් වැඩි වී ඇති ආකාරයක් දැකිය හැකි වේ.

අප්‍රිකානු කලාපයේ පිහිටි කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය සහ උගැන්ඩාව යන රටවල පැතිරෙමින් ඇත්තේ ඉබෝලා වයිරසයේ වඩාත් භයානක ප්‍රභේදයක් බව සඳහන් වේ. එය හැඳින්වෙන්නේ බුන්දිබුගියෝ යන නමිනි. එයට තවමත් ප්‍රතිකාරයක් හෝ එන්නතක් සොයාගෙන නොමැති වීම විශේෂත්වයකි.වයිරසය ඉහත කී රටවල, විශේෂයෙන් කොංගෝවේ වේගයෙන් පැතිරෙමින් ඇති බව වාර්තා වේ. මේ නිසා අප්‍රිකානු කලාපයටම ලොකු තර්ජනයක් එල්ල වී ඇති ආකාරයක් දැකිය හැකියි.

අප්‍රිකානු කලාපයේ පිහිටි කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය සහ උගැන්ඩාව යන රටවල පැතිරෙමින් ඇත්තේ ඉබෝලා වයිරසයේ වඩාත් භයානක ප්‍රභේදයක් බව සඳහන් වේ. එය හැඳින්වෙන්නේ බුන්දිබුගියෝ යන නමිනි. එයට තවමත් ප්‍රතිකාරයක් හෝ එන්නතක් සොයාගෙන නොමැති වීම විශේෂත්වයකි.

වයිරසය ඉහත කී රටවල, විශේෂයෙන් කොංගෝවේ වේගයෙන් පැතිරෙමින් ඇති බව වාර්තා වේ. මේ නිසා අප්‍රිකානු කලාපයටම ලොකු තර්ජනයක් එල්ල වී ඇති ආකාරයක් දැකිය හැකියි.

මෙම සටහන ලියන අවස්ථාව වනවිට ඉබොලා වයිරසය නිසා සිදු වූ බවට සැක කරන මරණ සහ තහවුරු කරන ලද මරණ 205 කට ආසන්න සංඛ්‍යාවක් ගැන කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයෙන් වාර්තා වී තිබිණි.

වයිරස ව්‍යාප්තිය හඳුනා ගැනීමට ප්‍රමාද වීම ද සෞඛ්‍ය අංශ තුළ යම් කණස්සල්ලක් ඇති කර තිබේ. මේ නිසා මේ වනවිට වයිරසය ඉහත කී රටවල කෙතරම් පුළුල්ව ව්‍යාප්ත වී ඇත් ද යන්න නිශ්චිතව කීමට අපහසු තත්වයක් ඇති වී තිබෙන බව ද සඳහන් ය. දැනට රෝගීන් ලෙස සැක කරන 750 කට ආසන්න ගණනක් හඳුනා ගෙන ඇතත් සෞඛ්‍ය අංශ පවසන්නේ සැබෑ සංඛ්‍යාව ඊට වඩා බෙහෙවින් වැඩි විය හැකි බවයි. කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ බොහෝ රෝහල් රෝගීන්ගෙන් පිරී ඇති බව ද මාධ්‍ය වාර්තා කරයි.

බුන්දිබුගියෝ නැමැති ඉබෝලා ප්‍රභේදයේ මරණ අනුපාතය ද ඉහළ අගයක් ගනියි. මෙයද බොහෝ දෙනා තැතිගන්වන කාරණයක් වී තිබේ. එහි මරණ අනුපාතය 25%-50% අතර අගයක් ගන්නා බව පැවසේ. එයින් අදහස් වන්නේ මෙම ප්‍රභේදය ආසාදනය වන සෑම 100 දෙනෙකුගෙන්ම 25-50 අතර සංඛ්‍යාවක් මරණයට පත් වීමට ඉඩ ඇති බව යි.

මෙයට පෙර මෙම ප්‍රභේදය පුළුල් වශයෙන් පැතිරී තිබුණේ අවස්ථා දෙකක පමණි. 2007 වසරේ උගැන්ඩාවේ මෙය පැතිරී තිබූ අතර එම අවස්ථාවේ මරණ අනුපාතය 32%-40% අතර අගයක් ගෙන තිබිණි.

ඊළඟට එය 2012 වසරේ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ පැතිරී තිබිණි. එම අවස්ථාවේ 34% කට ආසන්න මරණ අනුපාතයක් පැවති බව සඳහන් ය.

කොවිඩ් වසංගතය දරුණුම මට්ටමේ තිබියදී පවා එහි මරණ අනුපාතය 10%-15% ඉක්මවූයේ නැත.

කොංගෝවේ සහ උගැන්ඩාවේ පැතිරෙන ඉබෝලා වයිරස ප්‍රභේදය නිසා කොවිඩ් වසංගතය තරමේ ගෝලීය වසංගත තර්ජනයක් තවම මතු වී නැති බවක් ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර තිබේ. එම සංවිධානය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇත්තේ වයිරසයෙන් එවැනි ගෝලීය තර්ජනයක් මතු වීම කල්වේලා ඇතුව වලක්වා ගැනීමට බව පෙනේ.

මෙවැනි හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීම නිසා ඒ ගැන යොමුවන අවධානය වැඩි වන අතර එය මර්ධනය කිරීම සඳහා අරමුදල් යෙදවීම වැනි කටයුතු ද වේගවත් වෙයි. එමෙන්ම රටවල් තම රටවලට වයිරසය ඇතුල් වීම වැලැක්වීම සඳහා දැඩි පියවර ගැනීමට ද මේ නිසා පෙළඹෙයි.

ශ්‍රී ලංකාව ද ඉබෝලාවෙන් ආරක්ෂා වීම සඳහා මේ වනවිටත් පියවර ගනිමින් සිටින ආකාරය දැකිය හැකි වේ.
මෙයට අදාලව ගෙන ඇති ක්‍රියාමාර්ග පිලිබඳව පසුගිය දා සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර තිබිණි. ප්‍රධාන ක්‍රියාමාර්ග පහක් සම්බන්ධයෙන් එහි සඳහන් වේ:

01. ගුවන්තොටුපළ ආශ්‍රිතව රෝගීන් හඳුනා ගැනීමේ ආවේක්ෂණ (Surveillance) සහ නිරීක්ෂණ කටයුතු දැඩි කිරීම

02. රෝගියෙකු ලෙස සැක කරන කෙනෙකු ගැන වාර්තා වුවහොත් ඔහු/ ඇය හුදෙකලා කර ප්‍රතිකාර ලබාදීම සඳහා ජාතික බෝවන රෝග විද්‍යායතනය (NIID / IDH) සූදානම් කර තැබීම

03. රෝගීන් හඳුනා ගැනීමේ විශේෂිත රසායනාගාර පරීක්ෂණ කටයුතු සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනය සූදානම් කිරීම.

04. රට තුළ රෝග ආවේක්ෂණ පද්ධතිය ශක්තිමත් කරන අතර ලෝකයේ ඉබෝලා වෛරස් ව්‍යාප්තිය නිරන්තරයෙන් අධ්‍යයනය කිරීම.

05. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සමග මෙයට අදාලව සමීප සහයෝගීතාවක් හා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාම.

කෙසේ නමුත්, ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාව හඳුන්වා ඇත්තේ ඉබෝලා අවදානම අඩු රටක් ලෙසිනි.

ඉබෝලා වයිරසය ද වවුලන් වැනි සතුන්ගෙන් මිනිසුන් අතරට ආ වයිරසයකි. එය මුලින්ම හඳුනා ගැනුණේ 1976 වසරේ මධ්‍යම අප්‍රිකානු කලාපයෙනි. මෙම වයිරසය කෙනෙකුගෙන් තව කෙනෙකුට බෝ වෙන්නේ කෙළ, මළ මුත්‍රා, දහදිය, ශුක්‍රාණු, රුධිරය ආදී තරල හරහා ය. ආසාදිතයකුගේ මෙම තරල තව කෙනෙකුගේ ශරීරගත වීමෙන් වයිරසය ආසාදනය වෙයි. මෙය කොවිඩ් වයිරසය මෙන් සුළඟින් බෝ වන්නක් නොවන බව සඳහන් වේ. ඒ නිසා එහි ව්‍යාප්තිය පාලනය කිරීම තරමක් පහසු ය.

රෝගය දරුණු තත්වයට පත් වූ විට වකුගඩු, අක්මාව වැනි අවයවවල ක්‍රියාකාරීත්වය අඩපණ වන අතර අභ්‍යන්තර සහ බාහිර රුධිර වහනයන් ද සිදු වේ. විදුරු මස්වලින්, නාසයෙන් ලේ ගැලීම සිදුවිය හැකි බව පැවසේ. එමෙන්ම ලේ වමනය කිරීම, මළ සහ මුත්‍රා සමග ලේ පිටවීම ද සිදුවිය හැකි බව සඳහන් වේ.

වයිරසය ආසාදනය වී දින 2-21 ක් අතර කාලයක් තුළ රෝග ලක්ෂණ පහල විය හැකි බව සඳහන් ය. තද උණ, හිසරදය, දැඩි විඩාපත් බව, මාංශපේශි සහ හන්දිපත් වේදනාව, උගුරේ වේදනාව මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වේ.

රෝගය දරුණු තත්වයට පත් වූ විට වකුගඩු, අක්මාව වැනි අවයවවල ක්‍රියාකාරීත්වය අඩපණ වන අතර අභ්‍යන්තර සහ බාහිර රුධිර වහනයන් ද සිදු වේ. විදුරු මස්වලින්, නාසයෙන් ලේ ගැලීම සිදුවිය හැකි බව පැවසේ. එමෙන්ම ලේ වමනය කිරීම, මළ සහ මුත්‍රා සමග ලේ පිටවීම ද සිදුවිය හැකි බව සඳහන් වේ.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර