ශ්‍රී ලංකා නාවික හමුදාවට බඳවා ගැනීමේදී සිදුවූ බව කියන අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) විසින් ඊයේ (17) පෙරවරුවේ අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේය.කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා විසින් ලබාදුන් නියෝගයට අනුව, ඇප කොන්දේසි ලෙස රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇපකරුවන් තිදෙනෙකු ඉදිරිපත් කළ යුතු අතර, සැකකරුගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද නියම කෙරිණි.අල්ලස් කොමිසම විසින් සිදුකරන විමර්ශනයට අනුව, යෝෂිත රාජපක්ෂ මහතා 2006 වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට බඳවාගෙන ඇති අතර, එම බඳවාගැනීමේ ක්‍රියාවලියේදී අ.පො.ස. සාමාන්‍ය පෙළ සුදුසුකම් සම්බන්ධ විෂමතාවයක් පැන නැගී ඇති බවට චෝදනා එල්ල වී තිබේ. එම සුදුසුකම් පසුව යෝෂිත රාජපක්ෂ මහතාගේ සුදුසුකම්වලට ගැලපෙන පරිදි සංශෝධනය කර ඇති බව කොමිසම පවසයි.තවද, නාවික හමුදාවට බඳවා ගැනීමෙන් පසු 2007 ජනවාරි මාසයේදී එක්සත් රාජධානියේ බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයට වසර එකහමාරකට වැඩි කාලයක් පුහුණුව සඳහා පිටත්ව ගොස් ඇති අතර, ශිෂ්‍යත්වයක් මත ඇතුළත් නොවූ බැවින් ඒ සඳහා වූ සියලු වියදම් රාජ්‍ය අරමුදල් මගින් දරා ඇති බවට ද කොමිසම අනාවරණය කරගෙන ඇත.
අදාළ නඩුව ඊයේ කැඳවූ අවස්ථාවේදී, අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම ඇප නියෝගය ලබාදී ඇත.මෙම චෝදනාව සම්බන්ධයෙන් යෝෂිත රාජපක්ෂ මහතා 2016 වසරේදී ද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට කැඳවා ඇති බව වාර්තා වේ. 2015 වසරේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් එවකට ආරක්ෂක ලේකම්වරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින්, යෝෂිත රාජපක්ෂ මහතාට නාවික හමුදාවට බඳවා වීමේදී මූලික සුදුසුකම් නොතිබූ බවත්, බඳවා ගැනීමෙන් කෙටි කලකින් එක්සත් රාජධානියේ ඩාර්ට්මවුත් රාජකීය නාවික විද්‍යාලයට පුහුණුව සඳහා යවා ඇති බවත් චෝදනා කර තිබුණි.එමෙන්ම, 2016 පෙබරවාරි මාසයේදී මුදල් විශුද්ධිකරණ නඩුවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඉල්ලීම මත යෝෂිත රාජපක්ෂ මහතාව නාවික හමුදා සේවයෙන් අත්හිටුවා තිබුණි.
අල්ලස් කොමිසම විසින් දූෂණ විරෝධී පනත යටතේ මෙම විමර්ශනය ආරම්භ කර ඇති අතර, ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු යෝෂිත රාජපක්ෂ මහතාව ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණි. නඩුවේ ඉදිරි විභාග කටයුතු පසුව දැනුම් දෙන දිනක පැවැත්වීමට නියමිතය.