තලවතුගොඩ “ස්පා” වැටලීමෙන් මතුවන පොලිසියේ හා මාධ්‍යයේ වැට පැනීම

2025 අග භාගයේ සිට 2026 ජනවාරි දක්වා කාලය තුළ තලවතුගොඩ ප්‍රදේශයේ සිදුවූ සම්බාහන මධ්‍යස්ථාන වැටලීම් මාලාව ලාංකීය සමාජය තුළ බරපතළ නීතිමය, සදාචාරාත්මක සහ සමාජයීය කතිකාවතක් නිර්මාණය කිරීමට සමත් වී ඇත. ආයුර්වේද හා සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය බවට චෝදනා ලැබූ ස්ථාන 9ක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් වටලනු ලැබූ අතර, එහිදී කාන්තාවන් 34 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 43 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. මෙම වැටලීම් හා සම්බන්ධ අපරාධ මර්දනය ඉක්මවා ගිය බරපතළම අර්බුදය නිර්මාණය වූයේ, අත්අඩංගුවට ගත් කාන්තාවන්ගේ මුහුණු, වීඩියෝ දර්ශන සහ අනන්‍යතාව ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය (Social Media) ඔස්සේ ප්‍රසිද්ධ කිරීමත් සමඟ ය. “Live Video Footage” ලෙස වයිරල් (Viral) වූ මෙම දර්ශන මඟින් සැකකාරියන් සමාජය ඉදිරියේ දැඩි අවමානයකට ලක් කෙරුණි. එමෙන්ම ඒ මඟින් ඔවුන්ගේ පවුල් සහ ඥාති මිත්‍ර සබඳතා පද්ධතිය ද මුළුමනින්ම දෙදරා යන බව ඕනෑම කෙනෙකුට පහසුවෙන් වැටහෙනු ඇත.

ශිෂ්ට සම්පන්න සමාජයක මූලික පදනම වන්නේ නීතියේ ආධිපත්‍යය (Rule of Law) සහ පුද්ගල අභිමානය සුරැකීමයි. නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන සතු ප්‍රධානතම වගකීමක් වන්නේ අපරාධ මැඩලීම මෙන්ම සැකකරුවන්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමයි. ඒ අනුව මෙම මාධ්‍ය භාවිතය සහ පොලිසියේ හැසිරීම මඟින් සැකකාර කාන්තාවන්ගේ මූලික මානව අයිතිවාසිකම් සහ පෞද්ගලිකත්වය බරපතළ ලෙස උල්ලංඝනය වී ඇති බව පෙනී යයි. මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ පොදු අයිතිවාසිකම් සුරැකීමේ සංගමය, නීතිඥවරුන් සහ ලංකා ස්පා සංගමයේ (Sri Lanka Spa Association) නියෝජිතයන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට (HRCSL) නිල වශයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එම පැමිණිල්ල මඟින් ප්‍රධාන ඉල්ලීම් ත්‍රිත්වයක් ඉදිරිපත් කර ඇති අතර, මානව හිමිකම් කොමිසම මැදිහත් වී සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන හා අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම ඉන් පළමුවැන්නයි. දෙවනුව, පොලිස්පතිවරයා වෙත පැමිණිලි කර, මාධ්‍ය වෙත මෙලෙස දර්ශන මුදාහැරීමට කටයුතු කළ සහ ඊට අනුබල දුන් අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමත්, තෙවනුව, මින් ඉදිරියට සැකකරුවන්ගේ අනන්‍යතාව සහ රූපරාමු මෙලෙස ප්‍රසිද්ධ කිරීමේ අවිචාරවත් පිළිවෙත වහාම අත්හිටුවීමට නීතිමය ප්‍රතිපත්ති සම්පාදනය කිරීමත් එම ඉල්ලීම්වලට ඇතුළත් වේ. ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ ඕනෑම අයෙකුට තමන්ගේ නිවැරදිකරණය වෙනුවෙන් පෙනී සිටීමට ඇති අයිතිය නීතිඥ සුසන්ත ගුණවර්ධනගේ තර්කයෙන් ද තහවුරු වේ. ඔහු පෙන්වා දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව වරදකරු බව අධිකරණයකින් ඔප්පු වන තෙක් ඕනෑම අයෙකු නිවැරදිකරුවකු ලෙස සැලකිය යුතු බවයි. එබැවින්, නඩු විභාගයකට පෙර සැකකරුවන් පමණක් වන මෙම කාන්තාවන්ගේ අනන්‍යතාව සමාජගත කිරීම දැඩි අපහසුතාවයට, මානසික පීඩනයට හා අවමානයට පත් කිරීමක් ලෙස හඳුනාගත හැක.

මෙම සිදුවීමේදී උල්ලංඝනය වී ඇති ප්‍රධානතම ජාත්‍යන්තර සහ දේශීය නීතිමය මූලධර්මය වන්නේ “Presumption of Innocence” හෙවත් වරදකරු බව ඔප්පු වන තුරු පුද්ගලයෙකු නිවැරදිකරු සේ සැලකීමේ මූලධර්මයයි. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(5) වගන්තිය සහ ICCPR ප්‍රඥප්තියේ 14(2) වගන්තිය මඟින් මෙම නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය තහවුරු කර තිබුණද, අධිකරණ ක්‍රියාමාර්ගයකින් වරදකරු වීමට පෙර, මාධ්‍ය මඟින් මෙම කාන්තාවන් “වැරදිකරුවන්” ලෙස සමාජය ඉදිරියේ හංවඩු ගසා ඇත. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) වගන්තිය සහ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ (UDHR) 17 වගන්තිය මඟින් සුරක්ෂිත කර ඇති පෞද්ගලිකත්වයට ඇති අයිතිය (Right to Privacy) ද මෙහිදී උල්ලංඝනය වී ඇත්තේ පුද්ගලයන්ගේ මුහුණ, අනන්‍යතාව සහ පෞද්ගලික දර්ශන අවසරයකින් තොරව ප්‍රසිද්ධ කර ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයට අනවශ්‍ය ලෙස මැදිහත් වීම නිසාය. මීට අමතරව, වධහිංසාවෙන් සහ අවමන්සහගත සැලකීම්වලින් තොර වීමේ අයිතිය තහවුරු කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වගන්තිය උල්ලංඝනය කරමින්, මාධ්‍ය සංදර්ශන මඟින් ඔවුන් දැඩි සමාජ අවමානයකට, රැකියා අහිමි වීමට සහ පවුල් පරිසරය බිඳවැටීමට ලක් කර ඇත. අවසාන වශයෙන්, ස්වාධීන අධිකරණයකින් යුක්තිය ඉටු කරවා ගැනීමේ පොදු නීතිමය අයිතිය හෙවත් සාධාරණ නඩු විභාගයක අයිතිය (Right to a Fair Trial) ද මෙහිදී අභියෝගයට ලක්ව ඇත. ඒ, අධිකරණයට පෙර මාධ්‍ය විසින් “පූර්ව-විනිශ්චයන්” ලබාදීම නිසා මහජන මතය වැරදි ලෙස හැඩගැසීම සහ විනිසුරු මඩුල්ලට වක්‍ර බලපෑම් එල්ල වීමේ අවදානමක් නිර්මාණය වීම හේතුවෙනි. සමාජ මාධ්‍යවේදීන් පෙරටු කොට ගත් මාධ්‍යවේදීන් යම් යම් සාපරාධී ක්‍රියාවන් සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවලට පූර්වගාමීව විනිශ්චයන් ලබා දීමේ අර්බුදයක මේ වන විට අප සමාජ දේහය පුරාම ඔඩු දුවා තිබේ. මෙය බරපතළ ව්‍යසනයකි.

ලංකා ස්පා සංගමයේ අධ්‍යක්ෂවරිය පෙන්වා දෙන පරිදි, මෙම ක්ෂේත්‍රයේ විධිමත් වෘත්තීය පුහුණුව ලැබූ සහ සාධාරණ ජීවනෝපායක නිරත වන බොහෝ කාන්තාවන් සිටියද, වැටලීම්වලදී පොලිසිය සහ මාධ්‍ය හැසිරෙන්නේ ඔවුන් “බරපතළ ත්‍රස්තවාදීන් හෝ අපරාධකාරයන්” ලෙස සලකමිනි. නීතිමය ක්‍රියාවලියෙන් ඔබ්බට ගිය, සමාජය විසින් පනවනු ලබන මෙම “සමාජ මාධ්‍ය දණ්ඩනය” (Social Media Lynch/Punishment) නිසා ප්‍රධාන සමාජ ප්‍රතිවිපාක තුනක් හඳුනාගත හැක. පළමුවැන්න සමාජ කලංකනය (Social Stigmatization) වන අතර, එහිදී අධිකරණ ක්‍රියාවලියකදී ඔවුන් නිවැරදිකරුවන් වී නිදහස් වුවද, සමාජය තුළ ඔවුන් සදාකාලිකවම කොන් කරනු ලබන අතර මෙම කලංකය මකා දැමීම කිසිසේත් කළ නොහැක්කකි. දෙවැන්න ආර්ථික දණ්ඩනයයි (Economic Marginalization). වෘත්තීය සහතික සහ සුදුසුකම් තිබුණද, මුහුණ සහ අනන්‍යතාව වයිරල් වීම නිසා අනාගතයේදී කිසිදු සේවා යෝජකයෙකු ඔවුන්ට රැකියා ලබාදීමට ඉදිරිපත් නොවන අතර, මෙය ඔවුන්ව තවදුරටත් ආර්ථික අගාධයකට ඇද දැමීමකි. තෙවැන්න මනෝ-සමාජයීය පීඩනයයි (Psycho-social pressure). තමන්ගේ දරුවන්, ස්වාමිපුරුෂයා, දෙමාපියන් සහ ඥාතීන් ඉදිරියේ සිදුවන අවමානය දරාගත නොහැකිව, අතීතයේදී මෙවැනි සිදුවීම්වලට මුහුණ දුන් කාන්තාවන් සියදිවි නසාගැනීම් දක්වා යොමුවූ ඛේදනීය අවස්ථා වාර්තා වී ඇත.

වත්මන් ඩිජිටල් අවකාශය තුළ සමාජ මාධ්‍ය පරිශීලකයන් බොහෝ විට හැසිරෙන්නේ ක්ෂණික තෘප්තිය සහ Views/Likes ලබාගැනීමේ අරමුණෙනි. සත්‍ය අසත්‍යතාව තහවුරු නොකළ වීඩියෝ හිතුමතේ බෙදා හරිමින් ඔවුන් සිදු කරන්නේ “Trial by Social Media” හෙවත් සමාජ මාධ්‍ය නඩු විභාගයකි. මෙය බොහෝ විට අයථා මුදල් ඉපැයීමක් ද වන අතර පුද්ගලයෙකුගේ සිත තුළ පැසවන ක්‍රෝධය, ඊර්ෂ්‍යාව හෝ නොපහන් හැඟීම් කමෙන්ටු (Comments) සහ බෙදාගැනීම් (Shares) ඔස්සේ එළිදැක්වීම මඟින් සමස්ත සමාජ පද්ධතියටම සිදුවන්නේ දැඩි සදාචාරාත්මක හානියකි.

අපරාධ නඩු විධාන සංග්‍රහය (Criminal Procedure Code) සහ පොලිස් ආඥා පනත (Police Ordinance) ප්‍රකාරව පොලිසියට වැටලීම් සිදු කිරීමට සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නීතිමය බලයක් ඇතත්, එම බලය භාවිත කළ යුත්තේ මානව හිමිකම් සුරැකෙන පරිදිය. සැකකරුවකු අත්අඩංගුවට ගැනීම වාර්තා කිරීම ප්‍රවෘත්තියක් විය හැකි මුත්, එහිදී “මහජන යහපත” (Public Interest) සහ “පුද්ගල ගරුත්වය” (Human Dignity) අතර නිවැරදි තුලනයක් පවත්වා ගැනීමට මාධ්‍ය ආයතන මෙන්ම පොලිසිය ද බැඳී සිටී. වත්මන් ඩිජිටල් අවකාශය තුළ සමාජ මාධ්‍ය පරිශීලකයන් බොහෝ විට හැසිරෙන්නේ ක්ෂණික තෘප්තිය සහ Views/Likes ලබාගැනීමේ අරමුණෙනි. සත්‍ය අසත්‍යතාව තහවුරු නොකළ වීඩියෝ හිතුමතේ බෙදා හරිමින් ඔවුන් සිදු කරන්නේ “Trial by Social Media” හෙවත් සමාජ මාධ්‍ය නඩු විභාගයකි. මෙය බොහෝ විට අයථා මුදල් ඉපැයීමක් ද වන අතර පුද්ගලයෙකුගේ සිත තුළ පැසවන ක්‍රෝධය, ඊර්ෂ්‍යාව හෝ නොපහන් හැඟීම් කමෙන්ටු (Comments) සහ බෙදාගැනීම් (Shares) ඔස්සේ එළිදැක්වීම මඟින් සමස්ත සමාජ පද්ධතියටම සිදුවන්නේ දැඩි සදාචාරාත්මක හානියකි.

පොදු අයිතිවාසිකම් සුරැකීමේ සංගමය මානව හිමිකම් කොමිසමට කළ මෙම පැමිණිල්ල හුදෙක් එක් සිදුවීමකට පමණක් සීමා වූවක් නොවන අතර එය සමස්ත සමාජයටම වැදගත් වන හේතු කිහිපයක් පවතියි. ප්‍රථමයෙන්ම, අනාගත වැටලීම්වලදී පොලිසිය සහ මාධ්‍ය ආයතන සැකකරුවන් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දැඩි ප්‍රතිපත්තිමය සහ නීතිමය මාර්ගෝපදේශයක් (Guidelines) සකස් කිරීමට මෙය මඟ පාදමින් පූර්වාදර්ශයක් සකසයි (Setting a Precedent). දෙවනුව, සමාජයේ වරප්‍රසාද නොලත්, දුප්පත් ප්‍රජාවන් සහ කාන්තාවන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී අසමාන ලෙස ඉලක්ක වීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් පහසුවෙන් පාගා දැමීම වැළැක්වීමට මෙය පවුරක් වෙමින් අවදානමට ලක්විය හැකි (Vulnerable) කණ්ඩායම් ආරක්ෂා කරයි. තෙවනුව, අවංකවත් කාර්යක්ෂමවත් තම රජකාරීන් අනලස්ව ඉටු කිරීමේ රාජකාරී සීමාවෙන් පිටතට පැන මාධ්‍ය මඟින් වීරත්වයක් ආරෝපණය කර ගැනීමට ;වඩාත් සරලව කිවහොත් සමාජය හමුවේ “පොර වල් වීමට”දඟලන ඇතැම් පොලිස් නිලධාරීන් තුළ ඇති අවිචාරවත් හැසිරීම් සහ නීතිය අතට ගැනීමේ ප්‍රවණතා පාලනය කර, රාජ්‍ය ආයතන කෙරෙහි මහජන විශ්වාසය යළි ගොඩනැගීමට ස්වාධීන පරීක්ෂණ අත්‍යවශ්‍ය කරමින් රාජ්‍ය ආයතන වගවීම (Institutional Accountability) තහවුරු කරයි. සිව්වනුව, තමන් දකින, ඇසෙන සෑම වීඩියෝවක් හෝ පුවතක්ම ඒ අයුරින්ම වැළඳ ගැනීමට පෙර, ඒ පිළිබඳව සංවිභාගශීලීව සහ විවේචනාත්මකව සිතීමේ (Critical Thinking) අවශ්‍යතාවය පුරවැසියාට වටහා දීමට මාධ්‍ය සාක්ෂරතාව (Media Literacy) ප්‍රවර්ධනය කරයි.

අපරාධ මැඩලීම සහ නීති විරෝධී ජාවාරම් නැවැත්වීම ඕනෑම රජයක වගකීමක් වන අතර, නීති විරෝධී ලෙස ගණිකා නිවාස පවත්වාගෙන යාම නීතියෙන් දඬුවම් ලැබිය යුතු වරදක් බව නිසැකය. එහෙත්, එම වරදකරුවන් නීතිය ඉදිරියට පැමිණවීමේ ක්‍රියාවලිය කිසිසේත්ම “ම්ලේච්ඡ” හෝ “අශිෂ්ට” එකක් නොවිය යුතුය. නීතිය ක්‍රියාත්මක කිරීමේ මුවාවෙන් පුද්ගල මිනිස් ගරුත්වය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතීන් පාවා දිය නොහැක. මෙම තලවතුගොඩ සිදුවීම හරහා සමාජයට පසක් කර දෙන්නේ අප සමාජයක් ලෙස ගමන් කරන්නේ “නීතියේ ආධිපත්‍යය” (Rule of Law) ඔස්සේද, නැතහොත් “මහජන පලිගැනීම සහ ම්ලේච්ඡත්වය” (Mob Justice) ඔස්සේද යන්න තෝරාගත යුතු තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇති බවයි.

අපරාධ මැඩලීම සහ නීති විරෝධී ජාවාරම් නැවැත්වීම ඕනෑම රජයක වගකීමක් වන අතර, නීති විරෝධී ලෙස ගණිකා නිවාස පවත්වාගෙන යාම නීතියෙන් දඬුවම් ලැබිය යුතු වරදක් බව නිසැකය. එහෙත්, එම වරදකරුවන් නීතිය ඉදිරියට පැමිණවීමේ ක්‍රියාවලිය කිසිසේත්ම “ම්ලේච්ඡ” හෝ “අශිෂ්ට” එකක් නොවිය යුතුය. නීතිය ක්‍රියාත්මක කිරීමේ මුවාවෙන් පුද්ගල මිනිස් ගරුත්වය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතීන් පාවා දිය නොහැක. මෙම තලවතුගොඩ සිදුවීම හරහා සමාජයට පසක් කර දෙන්නේ අප සමාජයක් ලෙස ගමන් කරන්නේ “නීතියේ ආධිපත්‍යය” (Rule of Law) ඔස්සේද, නැතහොත් “මහජන පලිගැනීම සහ ම්ලේච්ඡත්වය” (Mob Justice) ඔස්සේද යන්න තෝරාගත යුතු තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇති බවයි. “යුක්තිය ඉටු වීම පමණක් නොව, යුක්තිය ඉටු වන බව ප්‍රසිද්ධියේ පෙනෙන්ට ද තිබිය යුතුය” (Justice must not only be done, but must also be seen to be done) යන ප්‍රකට නීති මූලධර්මය මෙහිදී සිහිපත් කළ යුතුය. අධිකරණයෙන් අවසන් තීන්දුවක් ලබා දෙන තුරු ඕනෑම සැකකරුවෙකුගේ මානුෂීය ගරුත්වය ආරක්ෂා කිරීම ශිෂ්ට සම්පන්න සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක අත්‍යවශ්‍යම ලක්ෂණයකි. එබැවින් මානව හිමිකම් කොමිසමේ අපක්ෂපාතී පරීක්ෂණයක් මෙන්ම, මාධ්‍ය සහ පුරවැසියන්ගේ වගකීම් සහගත හැසිරීමක් වත්මන් ජාති ආගම් භේදයකින් තොරව සදාචාරවත් සමාජය දැඩිව අපේක්ෂා කරයි.

ෆාතිමා හලල්දීන්

එතෙර - මෙතෙර