
ඓතිහාසික කන්ද උඩරට මහනුවර අස්ගිරිය නිජබිම කොටගත් ජසින්තා ඩයස් සමරනායක, සොයුරු සොයුරියන් දසදෙනෙකුගෙන් යුත් පවුලේ මද්දුමියයි. ඇගේ පියා දුම්රිය රියදුරකු වූ අතර මව ගෘහණියකි. මවත් පියාත් මහනුවර වැසියන් වුවත් “යකඩ යකා” හසුරුවන පියාගේ රැකියාව නිසා එම පවුලට ප්‍රධාන දුම්රිය ස්ථාන සහිත දිවයින පුරාම සැරිසරන්නට සිදු විය. ඒ අනුව ජසින්තාට අධ්‍යාපනයේ අත්පොත් තැබෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ බොල්ලත ධර්මපාල විදුහලෙනි. පසුව නාරංගොඩපාලුව බටුවත්ත කනිටු විදුහල, බටුවත්ත මහා විදුහල පසු කරමින් හයවැනි ශ්‍රේණියෙන් පසු උසස් පෙළ සමත්වන තෙක් ඇගේ තක්සලාව වනුයේ දිවයිනේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය සිංහල මධ්‍ය මහා විද්‍යාලයයි. කුඩා කල සිට ජසින්තාගේ මනැසේ රැඳී තිබූ සිහිනය නිළියක වීමය. මව කිසිවක් නොකී නමුත් පියා ඊට තරයේම විරුද්ධ වූ නිසා ඇගේ ඒ නිළි සිහිනය උපන්ගෙයිම මියගොස් තිබිණි.
උසස් පෙළ සමත්වීමෙන් පසු ත්‍රිකුණාමලය තරුණ සේවා සභාවේ යතුරුලියන්නියක ලෙස ද, තිස්ස විදුහල සහ අභයපුර කනිටු විදුහලෙහි ගුරුවරියක ලෙසද සේවය කළ ජසින්තා, පසුව සිය පවුලද සමඟ අගනුවරට සේන්දු වූ අතර එහිදී ඇය පෞද්ගලික සමාගමක ගිණුම් ලිපිකාරිනියක ලෙස පුරා දස වසරක් සේවය කළාය. ඒ වන විට ළමා වියේදී මියගිය නිළි සිහිනය වෙනුවට කිවිඳියක වීමේ සිහිනයක් ඇගේ සිත තුළ රෝපණය වී මල්ඵල ගැන්වී තිබුණේ ඇය ද නොදැනුවත්වමය. ඒ සඳහා රැජින, කුමරි, නවලිය, ඉරිදා දිවයින, සිරිකත, තරුණි ආදී පුවත්පත් ඇගේ ප්‍රතිභාව මත පදනම් වූ කවි කතා පළ කරමින් ඇයට දිරිය දී තිබේ. පසුව වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවරයකු වන සිය සැමියා හමුවීමෙන් පසු ඔහු හා අති`නත ගත් ජසින්තා පතිනියක වූවාය. ජසින්තා දියණියකගේ හා පුතෙකුගේ මවක වන අතර, මේ වන විට ඇය විවාහක පුතුගෙන් හා ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය ලබන දියණියගෙන් දුරස්ව නිවසේ විවේකීව කල් ගෙවන්නීය. ගෙවතු වගාව, චිත්‍ර ඇඳීම, කවි කතා ලිවීම සහ කියවීම විනෝදාංශ කොටගත් ජසින්තා, තමන් සමීපයේ වෙසෙන සුරතල් බලු පැටවාද මහත් සෙනෙහසින් සිහිපත් කරනුයේ සිය දරු දෙදෙනාගේ ළමා වියේ සොඳුරු මතකද ජීවිතයට මහත් ආස්වාදයක් ගෙන දෙන බව පවසමිනි. කුරුල්ලන්, ලේනුන් වැනි සතුන් සහ ගස්වැල් සහිත පරිසරය තම ජීවිතය සජීවීකරණය කරන බවත්, සිය කවි සිතුවිලි පුබුදාලීමට ඉන් මහත් පිටිවහලක් ලැබෙන බවත් ඇය පවසන්නීය. තමන් සතු කවි කමෙන් අමුතු පෙරළි කිරීමට වඩා සාම්ප්‍රදායික කවි පදනම් කරගනිමින් ඉන් අමුතු හැඩතල නිර්මාණය කිරීම ජසින්තාගේ අරමුණ බවට ඇගේ මෙම “පිට ගම් ගිය නෑණාට” කවි පෙළ කදිම නිදසුනකි.

පිටගම් ගිය නෑනාට
මළ හිරු බසින ගොම්මන් හුදෙකලාවේ
හන්තානේ දෙසින් හඬනා බටනලාවේ
මානා පදඳුරු දැවී ගිය තැනි තලාවේ
මගෙ හිතකොහේදෝ ඈතක ගියාවේ
සදකැන් ගලන ඒ සුන්දර හන්තානේ
පෙරදා රෑක අපි දෙන්නා ආවානේ
බැඳ ගත් අත්වැල එදා අප හද සන්තානේ
කෙලෙසින්දෝ බින්ඳෙ මගෙ පෙම්බර නෑනේ
මංගල සීනු හඩවා නුඹ යනදාට
නවදැලි හේනෙ දුටු ජනපදකලණිය සේම
ඔබ ගැන මතක පිසලන්නද මම කෝම
රබරෝසියා මලකි නුඹ සුළගේ ගිය පාව
අතගත් හිමි සමග දවසක හැන්දෑවේ
දූ දරු පිරිවරාගෙන ගමරට එන වේලේ
මතකයෙ බිදක් ඉතිරිව තිබුණොතින් අප බාලේ
දැකලා යන්න ආවත් කම් නැහැ නෑනේ
වැල්ලේ පිපෙන බිම්මල වාසනාවන්
ගොල්ලේ පිපෙන පන්මල වාසනාවන්
නෙළුම්මලට පිණිබිදු වාසනාවන්
ජාතිත් මගේ නෑනා වාසනාවන්.
ජසින්තා ඩයස් සමරනායක.