අද සිට බස් ගාස්තු ඉහලට

අද ( 06) සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා බස් ගාස්තු සංශෝධනය කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර ඇත. ඉන්ධන මිල, අමතර කොටස් මිල, ටයර්-ටියුබ් හා නඩත්තු වියදම් ඇතුළු මෙහෙයුම් පිරිවැය ඉහළ යාම පදනම් කර ගනිමින් මෙම වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සිදු කර තිබේ. නව සංශෝධනයට අනුව සමස්තයක් ලෙස බස් ගාස්තු 12%කින් ඉහළ යන අතර, ඒ අනුව මීට පෙර රුපියල් 30ක්ව පැවති අවම බස් ගාස්තුව රුපියල් 4කින් වැඩි වී රුපියල් 34ක් දක්වා ඉහළ යනු ඇත. මෙම නව ගාස්තු සංශෝධනය සියලුම පෞද්ගලික සහ ලංගම බස් රථ සඳහා එක සේ අදාළ වන අතර, සංශෝධිත ගාස්තු ලේඛනය බස් රථ තුළ ප්‍රදර්ශනය කිරීම ද බස් රථ හිමියන්ට අනිවාර්ය කර තිබේ.මෙවර සංශෝධනයේදී දුර ගමන් සේවා සඳහා සාපේක්ෂව වැඩි ගාස්තු වැඩිවීමක් සිදුවන අතර සේවා වර්ගය සහ දුර ප්‍රමාණය අනුව ගාස්තු ප්‍රතිශතයන් වෙනස් වේ. ඒ අනුව කිලෝමීටර 100ට අඩු සාමාන්‍ය සහ සුඛෝපභෝගී සේවා සඳහා 12%ක ගාස්තු වැඩිවීමක් සිදු වේ. එසේම කිලෝමීටර 100 හෝ ඊට වැඩි සාමාන්‍ය සේවා ගමනාන්ත සඳහා 20%ක ගාස්තු වැඩිවීමක් ද, එම දුර ප්‍රමාණයටම අයත් සුඛෝපභෝගී බස් සේවා සඳහා 15%ක වැඩිවීමක් ද අදාළ වනු ඇත.මෙම ගාස්තු ඉහළ දැමීම මගී ජනතාවට දැඩි බලපෑමක් එල්ල කරන අතර අවම ගාස්තුව රුපියල් 34 වීම නිසා කෙටි දුර ගමන් කරන මගීන්ට ද රුපියල් 4ක අමතර බරක් දැරීමට සිදු වේ. උදාහරණයක් ලෙස මීට පෙර රුපියල් 100ක් වූ කිලෝමීටර 100ට අඩු ගමනක් සඳහා නව ගාස්තුව රුපියල් 112ක් පමණ වන අතර, රුපියල් 500ක්ව පැවති කිලෝමීටර 200ක සාමාන්‍ය සේවා ගමනක ගාස්තුව රුපියල් 600 දක්වා ඉහළ යනු ඇත. නව ගාස්තු ක්‍රියාත්මක වීමේදී මගීන්ට සිදුවන අපහසුතා හෝ අක්‍රමිකතා සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ 1955 ක්ෂණික දුරකථන අංකය විවෘතව පවතින බව ද දැනුම් දී ඇත.

කාලීන පුවත්