
මේ දිනවල ශ්‍රී ලංකාවේ සමාජ කතිකාවතේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ වැවිලි සමාගම් මුවාවෙන් සිදුවන නීති විරෝධී මුදල් යෙදවීම් සහ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති තියුණු අනතුරු ඇඟවීමයි. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහජනතාවගෙන් සෘජුවම ඉල්ලා සිටින්නේ මෙවැනි වැවිලි සමාගම්වල මුදල් ආයෝජනය නොකරන ලෙසත්, දැනටමත් ආයෝජනය කර ඇති මුදල් පවා වහාම නැවත ලබා ගන්නා ලෙසත් ය. මෙය හුදු උපදෙසක් පමණක් නොව, බැංකු පනත උල්ලංඝනය කරමින් සිදුකරන නීති විරෝධී තැන්පතු ලබාගැනීම්වලට එරෙහිව පැනවූ දැඩි නීතිමය අනතුරු ඇඟවීමක් බව ඔහු පවසයි. තේක්ක, අඹ, වල්ලාපට්ටා, සඳුන් හෝ කෝපි වැනි දීර්ඝකාලීන වගාවන් මුවාවෙන් මාසිකව අධික පොලියක් සහ වගා කාලය අවසානයේ අතිවිශාල ලාභයක් ලබාදෙන බව පවසමින් සිදුකරන මෙම මුදල් එකතු කිරීම්, නීති විරෝධී පිරමීඩ හෙවත් පොන්සි (Ponzi) මාදිලියේ ජාවාරම් බව මහ බැංකුව අවධාරණය කරයි. මේ වන විටත් මෙලෙස අක්‍රමවත් ලෙස තැන්පතු ලබාගත් ආයතන 18ක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා ව්‍යාජ ප්‍රචාරණ නිකුත් කරමින් ජනතාව නොමඟ යැවීම වැළැක්වීම සඳහා එවැනි දැන්වීම් පළ කිරීමට පෙර අදාළ ආයතනවල නීත්‍යානුකූල බලපත්‍ර පරීක්ෂා කිරීම මාධ්‍ය ආයතනවල ද වගකීමක් බව මහ බැංකු නියෝජ්‍ය අධිපති කේ. ජී. පී. සිරි කුමාර පෙන්වා දී තිබේ.
කෙසේ වෙතත්, මෙම නීතිමය මැදිහත්වීම ඉක්මවන ගැඹුරු සමාජීය සහ ආර්ථික විපර්යාසයක් පිළිබඳ සාකච්ඡාවක් මෙහිදී මතු වේ. එනම්, “වැවිලි” සහ “කෘෂිකර්මය” යන පරමාදර්ශී සංකල්ප දේශීය සමාජය තුළ විකෘති වී ඇති ආකාරයයි. විධිමත් මූල්‍ය සාක්ෂරතාවක් නොමැතිකම නිසා ජනතාව නිසි පරිශ්‍රමයකින් තොරව ක්ෂණික ධනවත්භාවය පතා මෙවැනි ව්‍යාජ ආයෝජනවලට හසුවන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සැබෑ වතු වගාව හෝ කෘෂිකාර්මික නිෂ්පාදනය වෙනුවට “වැවිලි සමාගම” යන්න මුදල් පොරොන්දුවලට පමණක් සීමා වූ වචනයක් බවට පත්ව ඇත. වැවිලි ක්ෂේත්රය යනු රටක භෞතික නිෂ්පාදනය සහ අපනයන ආදායම වර්ධනය කරන ප්‍රධාන එන්ජිමකි. එහෙත් එය හුදු මූල්‍ය පිරමීඩයක් බවට පහත වැටීම මඟින් පෙන්නුම් කරන්නේ සමස්ත සමාජයේම සංවර්ධන චින්තනයේ පවතින බරපතල කඩාවැටීමයි. නමුත් කිසිවෙකුත් අප රටේ ජීවනාලිය වන කෘෂිකර්මය මෙලෙස අවභාවිත කිරීමට ඉඩ දිය යුතු නැත.

රටක සැබෑ සංවර්ධනය යනු කොන්ක්‍රීට් ගොඩනැගිලි, මහාමාර්ග හෝ යටිතල පහසුකම් ඉදිකිරීම පමණක් නොව, සමාජීය චින්තනයේ සිදුවන ගුණාත්මක විප්ලවයයි. අප තවමත් පරම්පරා ගණනාවක් තිස්සේ පැවත එන පැරණි, අක්‍රීය චින්තන රටාවන්හිම තැන්පත් වී සිටින්නේ නම්, එතැන පරිණාමයක් සිදු නොවේ. එය වසර දහස් ගණනක් තිස්සේ වෙනස් නොවී එකම ආකෘතියකට කූඩුව හදන වඩු කුරුල්ලාගේ සහජ හැසිරීමට සමාන ය. නමුත් මිනිසාගේ බුද්ධිමය පරිණාමය නිසා සියවසකට පෙර පැවති නිවසට වඩා අද නිවස තාක්ෂණයෙන් සහ පහසුකම්වලින් පූර්ණ ලෙස වෙනස් වී ඇත. අවාසනාවකට මෙන්, ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්රය තුළ මෙම බුද්ධිමය පරිණාමය නිසි ලෙස සිදු වී නැති අතර, එය තවමත් බොහෝ දෙනෙකු දකින්නේ කටුක, දුෂ්කර, උදැල්ල සහ නගුල මත පමණක් පදනම් වූ සාම්ප්‍රදායික ජීවන වෘත්තියක් ලෙස පමණි. මීට සියවස් කිහිපයකට ඉහත ජන මනසෙහි ඇඳුණු මෙම චිත්ත රූපය අදත් ගොවියා ලෙසින් පාසල් පෙළ පොත්වල පවා දක්නට ලැබීම ශෝචනීය සරදමකි.
ගොවිතැන පිළිබඳව පවතින මෙම සාම්ප්‍රදායික හා අඳුරු මිථ්‍යාව වහාම බිඳ දැමිය යුතු ය. ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය, ඊශ්‍රායලය හෝ නෙදර්ලන්තය වැනි ලෝකයේ අනෙකුත් කලාප දෙස බලන විට අද කෘෂිකර්මාන්තය යනු අතිශය දියුණු නිරවද්‍ය කෘෂිකර්මය (Precision Agriculture), ජල කළමනාකරණ සංවේදක (IoT Sensors), පාලිත හරිතාගාර, ඩ්‍රෝන තාක්ෂණය, හයිඩ්‍රොපොනික්ස් (Hydroponics) සහ කෘත්‍රිම බුද්ධිය (AI) මුසු වූ ඉහළ වෘත්තීය තාක්ෂණික ක්ෂේත්රයකි. නූතන ගොවියා යනු කායික ශ්රමයට වඩා බුද්ධිමය ශ්‍රමය යොදවන, වායුසමනය කළ පරිශ්රයක සිට තම වගා බිමේ පස, තෙතමනය සහ පෝෂණ මට්ටම පරිගණක මඟින් නිරීක්ෂණය කරමින්, ජාත්‍යන්තර වෙළඳපොළට සෘජුවම නිෂ්පාදන සැපයිය හැකි නවීන කෘෂි-ව්‍යවසායකයෙකි (Agri-Entrepreneur). එවැනි නවීන කෘෂි-ව්‍යවසායකත්වයකට අප රටේ දොරටු විවර වෙමින් පවතී. එහෙත් ඒ සම්බන්ධ නිසි සංවේදීතාවක් අප සමාජය තුළ නැත.

අපේ රටේ තරුණ පරපුර අන්තර්ජාලය සහ නවීන තොරතුරු තාක්ෂණය අතිශයින් භාවිත කළද, එම තාක්ෂණය දේශීය කෘෂිකර්මයට යොදාගැනීමට උත්සාහ නොකරන්නේ එය තමන්ට අදාළ නැතැයි යන නිෂේධනාත්මක ආකල්පය නිසා ය. නිව්ටන්ගේ හිස මතට ඇපල් ගෙඩියක් වැටීමෙන් ගුරුත්වාකර්ෂණය සොයාගත් පුවත අසා, “එවැනි සොයාගැනීම්වලට නිව්ටන් කෙනෙකු සහ ඇපල් ගසක් තිබිය යුතුය”යි සිතමින් වගකීමෙන් මිදීමට උත්සාහ කරන්නාක් මෙන්, නූතන තාක්ෂණය දියුණු රටවලට පමණක් සීමා වූවක් ලෙස සැලකීම මුළාවකි. තාක්ෂණයට ජාතික හෝ භූගෝලීය සීමා නොමැත. ඊශ්‍රායලයේ කාන්තාරයේ තක්කාලි වවන, නෙදර්ලන්තයේ වීදුරු නිවෙස් තුළ මල් වගා කරන, හෝ කේරළයේ පොල් වගාව කුඩා ගෙවතු උද්‍යාන බෝගයක් ලෙස ප්රවේණිගතව අභිජනනය කළ තාක්ෂණයන් අපේ රටට ද ඒ ආකාරයෙන්ම ආදේශ කළ හැකිය. නමුත් මේ වන විට ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය වන සුහුරු (Smart) සංකල්පය මඟින් ස්මාර්ට් ගොවිතැනකට යොමු වන නව ව්‍යවසායකයකු හෙවත් මොඩ් ගොවියකු බිහිවීම ජාතික මට්ටමින් තාමත් සිහිනයක් පමණි.
මෙම තාක්ෂණික විප්ලවයේ සැබෑ අගය රැඳී තිබෙන්නේ කෘෂිකාර්මික නිෂ්පාදනයෙන් ලැබෙන අධික ආදායම සහ එහි සමාජ-ආර්ථික බලපෑම මතය. සාම්ප්‍රදායික වගා ක්‍රමවේදයන්ට වඩා දස ගුණයකින් හෝ විසි ගුණයකින් වැඩි ආදායමක් නවීන තාක්ෂණය සහ අගය එකතු කිරීමේ (Value Addition) ක්‍රමවේද හරහා තමන්ගේම ගෙවත්තෙන් ලබාගත හැකිය. එවැනි සරුසාර කෘෂි ආර්ථිකයක් රට තුළ ගොඩනැඟුනහොත්, ගම්බද තරුණයින්ට නාගරික ඉදිකිරීම් බිම්වල අනාරක්ෂිත කුලී වැඩ කිරීමට, තරුණියන්ට දුරස්ථ ඇඟලුම් කර්මාන්තශාලාවල වෙහෙස වීමට හෝ කාන්තාවන්ට මැදපෙරදිග ගෘහ සේවයට යාමට සිදු නොවේ. තමන්ගේම ගමේ, තමන්ගේම ඉඩමේ සිට අභිමානවත් සහ ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනගා ගැනීමට ඔවුන්ට හැකියාව ලැබේ. ඒ නුදුරු අනාගතයේ දීම “ස්මාර්ට්” ගොවිතැනේ යෙදෙන “මොඩ්” ගොවීන් ගෙවිලියන් ලෙසිනි.

මෙම පරිවර්තනය සාක්ෂාත් කර ගැනීමට නම් රජයේ මැදිහත්වීමට අමතරව, පෞද්ගලික ව්‍යවසායකත්වය, නවීන තාක්ෂණික දැනුම සහ කෘෂි-තාක්ෂණික සමාගම්වල සැබෑ හවුල්කාරිත්වය අත්‍යවශ්‍ය වේ. වර්තමානයේ පවා සමහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි නවීන තාක්ෂණය භාවිත කරමින් සාර්ථකව ඉහළ ආදායම් ලබන කෘෂි ව්‍යවසායකයින් ඊට හොඳම සාක්ෂියයි. එම නිසා, මහ බැංකුව අනතුරු අඟවන ව්‍යාජ වැවිලි සමාගම්වල නීති විරෝධී පිරමීඩවල මුදල් තැන්පත් කර රැවටෙනවාට වඩා, සැබෑ කෘෂි-තාක්ෂණික ව්‍යවසායකත්වය තුළ මුදල් සහ ශ්‍රමය ආයෝජනය කිරීමට තරුණ තරුණියන් යොමු විය යුතුය. එවිට “ගොවිතැන” යනු දුක, කඳුළ සහ ණය බර සංකේතවත් කරන වචනයක් නොව, තාක්ෂණය, අපනයන ආදායම, ඉහළ ප්රතිලාභ සහ අභිමානය පෙරටු කරගත්, ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධනයේ ප්රබලතම පදනම බවට පත්වනු ඇත.
ඒ. ජී. රේණුකා දමයන්ති