මල්වතු මහනාහිමියන්ගෙන් ජනපතිට චෝදනාවක්: ත්‍රෛනිකායික මහා නාහිමි ලිපියට පිළිතුරක්වත් නැහැ

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු බව දන්වමින් ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කළ ලිපියට මෙතෙක් පිළිතුරක් ලබා දී නොමැති බවත්, ලිපිය ලැබුණු බවක්වත් දන්වා නොමැති වීම කණගාටුවට කරුණක් බවත් මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ පවසන බව වාර්තා වේ.මහා නාහිමියන් මෙම අදහස පළ කර ඇත්තේ මහනුවර මල්වතු මහා විහාරයේදී මාධ්‍යයට හෝ සම්බන්ධ පාර්ශ්වයන්ට අදහස් දක්වමිනි.මීට පෙර අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණයට සිය අකමැත්ත පළකරමින් ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇති බවට තොරතුරු අනාවරණය වූයේ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා මගිනි.ඔහු පවසා තිබුණේ මල්වතු, අස්ගිරිය, රාමඤ්ඤ හා අමරපුර නිකායන්හි මහනායක හිමිවරුන් එක්ව මෙම ලිපිය යොමු කර ඇති බව මල්වතු මහා නාහිමියන් තමන්ට පැවසූ බවයි. එම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු බවයි.රජය විසින් යෝජනා කර ඇත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැනට අභියාචනාධිකරණ විනිසුරුවරුන් සඳහා අවුරුදු 63 සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සඳහා අවුරුදු 65 ලෙස දක්වා ඇති විශ්‍රාම වයස වසර දෙක බැගින් දීර්ඝ කිරීමයි. ඒ අනුව අභියාචනාධිකරණයේ සහ මහාධිකරණවල විනිසුරුවරුන් සංඛ්‍යාව ඉහළ නැංවීම සහ අගවිනිසුරුවරයාගේ ධුර කාලය වසර 6 කට සීමා කිරීම ද මෙම සංශෝධන පනත් කෙටුම්පතට ඇතුළත් බව වාර්තා වේ.මේ අතර මෙම ලිපිය සම්බන්ධයෙන් තමන් මෙතෙක් දැනුවත් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකදී පවසා තිබිණි.කෙසේ වෙතත්, මහා සංඝරත්නයේ ඉහළම ගෞරවනීය ස්ථානයක් වන ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් විසින් එවන ලද ලිපියකට අවම වශයෙන් ලැබුණු බව දැන්වීම හෝ පිළිතුරක් ලබා නොදීම ආණ්ඩුවේ සංස්කෘතික හා ආගමික කටයුතු පිළිබඳ අවධානය සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් මතු කරන බව ආගමික හා නීති ක්ෂේත්‍රයේ පාර්ශ්ව පෙන්වා දෙති.මල්වතු මහා විහාරය ජනාධිපතිවරයා මීට පෙර කිහිප වතාවක්ම බැහැදැක ආශිර්වාද ලබාගෙන ඇති අතර, පවතින ආපදා තත්ත්වයන් පිළිබඳව ද මහානාහිමියන් දැනුවත් කර තිබිණි. එවන් පසුබිමක මෙවැනි වැදගත් ලිපියකට ප්‍රතිචාර නොදැක්වීම පිළිබඳව මහානාහිමියන්ගේ කණගාටුව පළවීම විශේෂ අවධානයට ලක්ව ඇත.

කාලීන පුවත්