22 වන ව්‍යවස්ථා සං‍ශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සං‍ශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.පසුගිය 07 වනදා මෙම පනත් කෙටුම්පත ගැසට් කරනලදි.

අධිකරණ පද්ධතියේ පවතින නඩු කටයුතු කඩිනම් කිරීම මෙන්ම ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ සේවය තවත් දීර්ඝ කාලයක් ලබා ගැනීමේ අරමුණින් මෙම සංශෝධනය සිදුකර තිබේ.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වන සං‍ශෝධනය මගින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාමයාමේ වයස් සීමාව අවුරුදු 67ක් දක්වා ඉහළදැමීම සිදුවනවා.අග්‍ර විනිශ්චකාරවරයා වයස අවුරුදු 67 සම්පුර්ණ වන දිනය හෝ ධුරයට පත්ව වසර 6ක් සම්පුර්ණ වන දිනය යන දෙකෙන් කලින් එළඹෙන දිනයේ දී විශ්‍රාම ගත යුතු බවටයි සංශෝධනයේ සඳහන් වෙයි.

අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව අවුරුදු 65 දක්වා ඉහළ දැමීම ද නව සංශෝධනයෙන් කිරීමට නියමිතයි.එමෙන්ම අභියාචනාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 19 සිට 24 දක්වා ඉහළ නැංවීම ද මෙම සංශෝධනයට ඇතුළත්.අධිකරණ සංවිධාන පනත සංශෝධනය මගින් මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 63 දක්වා ඉහළ දැමීමට නියමිතයි.

දිසා විනිසුරුවරුන්ගේ සහ මහේස්ත්‍රාත්වරුන්ගේ විශ්‍රාම යාමේ වයස අවුරුදු 62 දක්වා ඉහළ දැමිය යුතු බවයි සංශෝධන පනත් කෙටුම්පතේ දැක්වෙයි.මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 120 දක්වා ඉහළ නැංවීම ද අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට ඇතුළත්.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 වන ව්‍යවස්ථාවට අනුව මෙම කෙටුම්පත් දින 7ක කාලයක් ගැසට් පත්‍රයේ පළකර තිබූ අතර අනතුරුව අද දිනයේ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කෙරුණි.ඒ අනුවයි අදාළ පනත් කෙටුම්පත්වල පළමුවර කියවීම අද සිදු කෙරෙයි.

පළමු වර කියවීමෙන් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121ක් වන ව්‍යවස්ථාව ප්‍රකාරව අදාළ සංශෝධනයන්හි ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකිරීම සඳහා ඕනෑම සංවිධානයකට හෝ පුරවැසියෙකුට දින 14ක කාලයක් හිමිවෙයි.එම කාලය සැප්තැම්බර් පළමුවනදායින් අවසන් වනු ඇති.අදාළ පෙත්සම් සලකා බලා ශ්‍රේෂ්ඨාධිකරණයට සිය තීන්දුව කතානායකවරයා වෙත දැනුම්දීමට සාමාන්‍යයෙන් දින 21ක කාලයක් හිමිවෙයි.ඒ අනුව සැප්තැම්බර් 22 වනදා පමණ වන විට එම තීන්දුව ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරෙයි.

පාර්ලිමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමෙන් අනතුරුව කෙටුම්පත පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතාගේ සභාපතීත්වයෙන් යුත් රාජ්‍ය පාලනය , යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමුකිරීමට නියමිතයි.ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන තීන්දුව , එහි සඳහන් නියමයන් සහ සීමාවන්ට යටත්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ 2/3ක විශේෂ බහුතර ඡන්දයකින් සම්මත විය යුතුයි.අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත සාමාන්‍ය පනත් කෙටුම්පතක් වන බැවින් එය සරල බහුතරයකින් සම්මත කර ගැනීමේ හැකියාව පවතියි.

කාලීන පුවත්